අනියම් සබඳතා නිසා වැඩි හරියක්ම ඝාතනයට ලක්වන්නේ කාන්තාවන්ය. විවාහක බිරිය අතින් හෝ අනියම් බිරියන් අතින් සැමියන් හෝ හොර සැමියන් ඝාතනයට ලක්වන අවස්ථා ඉතාමත් විරලය. එහෙත් අනියම් සබඳතාවල ප්‍රතිඵලයක් ලෙස වළපල්ලට ගිය පිරිමින් සංඛ්‍යාව නම් බොහෝය.
ඉකුත්දා පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීහුද අනියම් සබඳතාවක ප්‍රතිඵලයක් ලෙසින් සිදුකළ අමානුෂික මිනිස් ඝාතනයක සුලමුල හෙළි කර ගත්හ. ඒ ඊට සම්බන්ධ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් තිදෙනකුද අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුවය.
මෙම සිදුවීමේදී ඝාතනයට ලක්වන්නේ මැදවච්චිය, තුලික්කඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි මධුෂාන් බුද්ධික නමැත්තාය.
මරා දැමුණු මධුෂාන් බුද්ධික මැදවච්චිය පොලිස් වසමේ පදිංචිකරුවකු වූ බැවින් පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කළ මූලික විමර්ශනයෙන් පසුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙත භාර දෙනු ලැබීය. ඒ අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණගේ උපදෙස් මතය. ඒ අනුව සිදුකළ වැඩිදුර විමර්ශනයේදී හෙළිවන්නේ ඇඟ ලොමුදැහැ ගන්වන කතාවකි. එය එකිනෙක පෙළ ගැසෙන්නේ මෙලෙසය.
දිනුෂා විවාහක එක්දරු මවකි. ඇය විසි දෙහැවිරිදි වියේ පසුවූවාය. මැදවච්චිය, වල්පොළ පදිංචි ඇය සැමියාගෙන්ද වෙන්ව සිටින්නීය. තිබූ ආර්ථික අපහසුතා නිසා වැඩිපුර මුදලක් උපයා ගැනීම සඳහා ඇය අනුරාධපුර නගරයේ පිහිටි ‘ස්පා’ ආයතනයක සේවයට ගියාය. කලක් මෙලෙස සේවය කළ ඇයට මධුෂාන් මුණගැසෙන්නේ ඔය අතරය. ඒ සම්බාහනයක් සඳහා ඇය රැඳී සිටි ස්පා ආයතනයට ගිය විටකදීය. දෙදෙනා අතර ඇති වූ කතාබහ දුරදිග ගියේ මධුෂාන්ද ඇය පදිංචි ගමට නුදුරු ප්‍රදේශයක පදිංචිව සිටීම නිසාය. මධුෂාන් පදිංචිව සිටියේ මැදවච්චිය, කුලික්කඩ ගමේය. තිස් අට හැවිරිදි ඔහුද විවාහකයෙකි.
පළමු දවසේම එකිනෙකා දැනහැඳිනගත් ඔවුහු පසුකාලීනවද මෙකී සබඳතාව දිගටම පවත්වාගෙන ගියහ. දෙදෙනා අතර ඇති වූ කතාබහ අනියම් සබඳතාවක් දක්වා දුරදිග ගියේ ඒ නිසාය. එහි ප්‍රතිඵලයක් ලෙස ස්පා ආයතනයෙන් පිටතදීත් මධුෂාන් සිය අනියම් පෙම්වතිය හමුවී අඹු-සැමි ඇසුරක්ද පැවැත්වීය. ඊට දිනුෂාගෙන්ද අකැමැත්තක් නොවීය. මධුෂාන් මැදවච්චිය ගමේම පදිංචිකරුවෙක් වූ නිසා දිනුෂාගේ යටි සිතේ කිසියම් සැකයක්ද තිබුණාය.
ඒ මධුෂාන් ඇය කරන රැකියාව ගැන ගමේ අයට කියාවි යන බිය නිසාය. ඒ බව දත් මධුෂාන්ද ඇය ඔහු වෙතට නතුකර ගත්තේය. ඇගේ සිරුරේ නිරුවත් පින්තූර පවා මධුෂාන් සිය ජංගම දුරකථනයට ඇතුළු කරගත්තේය. මධුෂාන්ට ඇති බිය නිසා ඊට විරුද්ධ වීමට දිනුෂාට හැකිවූයේ නැත. කල්යත්ම දිනුෂාට සිය අනියම් පෙම්වතා ටිකෙන් ටික එපා විය. තියෙන කරදර නිසා මධුෂාන් ‘ස්පා’ ආයතනයට පැමිණීම පවා ඇයට මහත් හිසරදයක් විය. මේ නිසා ඇය අවුලෙන් අවුලට පත්වූවාය. මධුෂාන් සතුව ඇති ඇගේ නිරුවත් පින්තූර හිතවතුන්ට පෙන්වා ඇය මුදලට විකිණීමට මධුෂාන් ක්‍රියා කිරීම ඊට හේතුව වූයේය. ඇය ඊට එතරම් කැමැත්තක් නොදැක්වුවත් මධුෂාන්ට ඇති බියත් ඔහු සන්තකයේ නිරුවත් පින්තූර තිබීමත් නිසා ඇයට කරකියාගත හැකි දෙයක් නොවීය. මින් උපරිම ප්‍රයෝජන ගත් මධුෂාන් ඇයව සිය මිතුරන්ට විකුණමින් මුදලක්ද උපයා ගත්තේය.
කසුන්ද මධුෂාන්ගේ මිතුරෙකි. ඔහුද එතරම් හොඳ චරිතයක් ඇත්තකු නොවේ. කොම්පියුටර් ගේම්වලින් අතමිට සරු කර ගත් ඔහු සිය මිතුරන් කිහිපදෙනකු සමඟ ලෝලුගස්වැව ප්‍රදේශයේ කුලී නිවෙසක පදිංචිව සිටියේය.
“උඹට ඕන නම් මම මේකිව සෙට් කරලා දෙන්නම්. හැබැයි අඩු මුදලට බැහැ”
මධුෂාන් දිනක් සිය ජංගම දුරකථනයේ ඇති දිනුෂාගේ නිරුවත් පින්තූර කසුන්ට පෙන්වමින් එලෙස කීවේය. දිනුෂා දුටු කසුන් ඇගේ රූපයට වශී වී මධුෂාන්ගේ ඩීල් එකට එක පයින් කැමැති විය.
“මේ මගේ හොඳ යාළුවෙක්. තමුසේ ඌත් එක්ක ඉන්නවා…”
මධුෂාන් සිය අනියම් පෙම්වතියට එසේ කීවද ඇය එකහෙළාම ඊට අකැමැත්ත පළ කළාය. එහෙත් මධුෂාන්ගේ බලවත් පෙරැත්තය මත ඇයට ඊට එකඟ වන්නට සිදුවිය. අවසානයේ ඇය කසුන් සමඟද අඹු-සැමියන් සේ හෝටල් කාමරයක නතර වූවාය. කෙසේ වෙතත් එදා පටන් කසුන්ද ඇයට පෙම් කරන්නට පටන් ගත්තේය. ඊට දිනුෂාද අකැමැති නොවූවාය. එහි ප්‍රතිඵලයක් ලෙස මධුෂාන්ට හොරෙන් මේ දෙදෙනාද වෙනත් හෝටල්වල කාලය ගත කළහ.
“මම මේ ඔයාට කියන්නමයි කියලා හිටියේ. මධුෂාන්ගෙන් මට හරිම කරදරයි. ඌ මාව තවත් අයට විකුණන්න හදනවා. මම ඒකට කැමැති නැහැ. මට ඕනෑ ඔයාව විතරයි. අනේ මාව මේ මිනිහගෙන් බේරලා දෙන්න. එතකොට අපි දෙන්නට හැමදාම මෙහෙම ඉන්න පුළුවන්.”
දිනුෂා සිය අලුත් පෙම්වතා වූ කසුන්ට හඬා වැළපෙමින් කියන්නට වූවාය. ඇය නිතර නිතර මධුෂාන්ගෙන් සිදුවන කරදර කසුන්ට පැවසීම නිසා කසුන්ටද සිය මිතුරා වූ මධුෂාන් ගැන තරහක් ඇති විය.
“ඉන්නකො මම මොනවා හරි ඌට කරන්නම්.“
කසුන් සිය පෙම්වතියට පොරොන්දු විය. ඇය දිග හුස්මක් පිට කරමින් කසුන්ව තරයේ වැලඳ ගත්තාය. ඒ ඔහුට ඇති ආදරය විදහාපාමිනි. කසුන් ඒ වන විටත් ඇගේ ආදරයෙන් මුසපත්ව සිටියේය.
ලෝලුගස්වැව නවාතැන්පළේ කසුන් සමඟ තවත් මිතුරෝ දෙදෙනෙක්ද වූහ. පැතුම් ඉන් එක් අයෙකි. අනෙකා විනෝද්ය. විනෝද් එහි රැඳී සිටියේ කාන්තාවක්ද සමඟය. ඇය ඔහුගේ අනියම් පෙම්වතියක් වූවාය. ඇය මේ වන විට ගැබිනියකි. රුපියල් විසිදහසක මාසික කුලියකට ඔවුහු මෙම නිවෙසේ රැඳී සිටියහ.
කසුන් එදා ලෝලුගස්වැව නවාතැනට පැමිණියේ ලොකු අවුලකින් බව සෙසු මිතුරන්ට වැටහිණි.
“ඇයි බං මොකක්ද ප්‍රශ්නෙ…”
මිතුරන් කසුන්ගෙන් විමසුවේය. බැරිම තැන කසුන් ඔවුනට ඇත්ත කතාව කීවේය.
“ඒකි කියනවා මුගෙන් හරි කරදරයිලු. ඒකිව එක එකාට විකුණනවලු. ඒකිගෙ හෙළුවැලි පින්තූර පෙන්න පෙන්නා ඒකිව ‘බ්ලැක්මේල්’ කරනවලු. පව් බං අහිංසක කෙල්ල. මූට මොනවා හරි කරන්න ඕන බං ඒකිව බේරගන්න.”
“ඒකිව උඹට සෙට් කළෙත් ඔය මධුෂානයම නේද?”
“ඔව්… ඔව්…”
“හරි… අපි ඕකව ගෙනැල්ලා බය කරමු.”
මිතුරෝද කසුන්ගේ සිත සනසමින් එලෙස කීහ. ඒ අනුව සැලසුම් සකස් කෙරිණි. ඒ මධුෂාන්ට මත්පැන් සාදයකට ආරාධනා කරමින් නවාතැන්පළට ගෙන්වාගෙන ඔහුව බියගන්වා දිනුෂාට කරදර නොකරන ලෙස බලකිරීමටය.
ඒ අනුව පසු දිනෙක කසුන්ගෙන් මධුෂාන්ට ඇරැයුමක් ලැබිණි.
කසුන්ගේ ඉල්ලීම මධුෂාන් එක පයින් පිළිගත්තේය. ඒ අනුව ඔහු කසුන් හමුවීමේ අදහසින් අනුරාධපුරයට ඒමට පොරොන්දු විය. ඒ වන විට කසුන් සහ ඔහුගේ මිතුරන් මධුශාන්ට කළ යුතු දේ තීරණය කර තිබිණි. ඔවුන් අනුරාධපුර ප්‍රදේශයේ ‘රෙන්ට කා සර්විස්’ ආයතනයට ගොස් වාහනයක්ද කුලියට ගත්තේය. ඒ එක් දවසක් සඳහාය.
ඒ ඉකුත් මාර්තු මස 20 වැනිදාය.
කසුන් සහ පැතුම් අනුරාධපුරයේ බන්ධනාගාර පාරේ ජර්මන් පාලම අසලට එම වාහනයෙන්ම ගොස් මධුෂාන්ව රියට නංවා ගත්හ. වාහනය පැදවූයේ කසුන්ය.
“අපි අපේ ගෙදරටම ගිහින් සෙට්වෙමු” එසේ කී කසුන් රථය, ලෝලුගස්වැව සිය කුලී නිවෙසට ඇතුළු කළේය. සියල්ලෝම වාහනයෙන් බසිද්දී පැතුම් ගොස් නිවෙසේ ගේට්ටුව වසා දැම්මේය. එය මධුෂාන් තුළ සැකයක් ඇතිකරලීමට සමත්විය.
“පොඩ්ඩක් ඉඳපන් මගේ යහළුවෙක් ඉන්නවා. මේ ඉස්සරහ ගෙදර. මම පොඩ්ඩක් ඌත් එක්ක කතා කරලා එන්නම්.”
මධුෂාන් එසේ පවසමින් වසා තිබූ ගේට්ටුව විවර කර ඉන් පිටතට ගියේය.
“කවුද බං මූ දන්න එකෙක් මේ හරියේ ඉන්නේ..?”
එසේ කී කසුන් ගේට්ටුවෙන් පිටත බලද්දී මධුෂාන් ඒ අවට නිවෙසක් අසල රැඳෙමින් කිසියම් පුද්ගලයකු සමඟ කතාබස් කරන අයුරු දුටුවේය. මින් කසුන් මඳක් බිය විය.
“මේ අද වැඩේ කරන්න ඕන නැහැ. මූ අර ගෙදර මිනිහවත් දන්නවා. මූට මොනවා හරි කළොත් ඒ මිනිහා පොලිසියට විස්තරේ කියයි. අදට වැඩේ අතහැරල දාමු.”
ඒ සමඟම මධුෂාන්ද නිවෙසට පැමිණියේය.
“මේ අද සෙට් වෙන්න බැහැ. මාව ගෙදර ගිහින් දාපන්…”
මධුෂාන් කසුන්ට එලෙස කීවේ තිබූ සැකය නිසාමය. කසුන්ද සිය මිතුරා නිවෙසට ඇරලවීමට එකඟ විය. කසුන් යළිත් රිය අසුනට ගොඩවිය. මධුෂාන්, පැතුම් මෙන්ම කසුන්ගේ අනෙක් මිතුරා වූ විනෝද්ද රථයට නැඟගත්හ. රථය යාපන හන්දියෙන් රඹෑව මැදවච්චිය පාරේ ඉදිරියට ධාවනය විය. ඒත් කසුන් සිටියේ කිසියම් කලකිරීමකිනි. ඒ මධුෂාන්ට පාඩමක් ඉගැන්වීමට නොහැකි වූ නිසාය. කසුන් රථය පැදවූයේ මධුෂාන්ට කුමක් හෝ දෙයක් කළ යුතු බව හිතේ තබාගෙනය.
“ඒයි, අපි බෝතලයක් අරන් ගහමු” කසුන් යළි යෝජනාවක් ගෙනාවේය. ඊට සෙසු අයද කැමැති වූහ. යාපනය, වැලිඔය හන්දිය අසල පිහිටි මත්පැන් හලක් අසල රිය නතර වූයේ ඉන් පසුය. කසුන් රියෙන් බැස ගොස් අරක්කු බෝතලයක් මිලදී ගත්තේය. මත්පැන්හලට නුදුරුව වාහනය නතර කළ පිරිස බෝතලය රිසි සේ බෙදා ගනිමින් රස බලන්න වූහ.
“තව බියර් එකක්වත් ගහමු. මට නම් මදි වගේ.”
මධුෂාන් සිය මිතුරන්ට කීවේය. එකෙකු ගොස් බීර බෝතල් දෙකක්ම ගෙනාවේය. යළි සාදය ඇරැඹිණි. සියල්ලෝම පදමට රත් වී සිටියහ. ඒ සමඟම කසුන් ලබාදෙන ඉඟියත් සමඟ විනෝද් සිය අත තිබූ බියර් බෝතලය ඔසවා මධුෂාන්ගේ හිසට පහරක් එල්ල කළේය. මධුෂාන් එකවරම හිස අල්ලා ගනිද්දී තවත් බෝතල් පහරක් ඔහුගේ හිස මත පතිත විය. එයින් බෝතලයද කැඩී ගිය අතර මධුෂාන් වාඩි ගෙන සිටි බෝක්කුවෙන් පහළට ඇදවැටුණේය. ඔහුගේ හිසෙන් ගලා ගිය රුධිරයෙන් මුහුණද නැහැවී ගියේය.
“ඕකව උස්සල දාගමු කාර් එකට” කසුන් කීවේය.
රථය යළි ලෝලුගස්වැව කුලී නිවෙස වෙත ධාවනය කෙරිණි. මධුෂාන් කතාබහක් නැත. ඔහුගේ හිසෙන් ගලා එන රුධිරය නතර වී නොතිබිණි. රථයේ තිබූ ඇඳ ඇතිරිල්ලක් අතට ගත් එකෙකු ඉන් මධුෂාන්ගේ හිස වෙලා දැමීය. ඔහුව ඔසවාගෙන නාන කාමරයට රැගෙන ගිය පිරිස හිසෙන් ගලාගිය රුධිරය සෝදන්නට වූහ.
“මූ මැරෙයිද දන්නේ නැහැ.”
කසුන් මිතුරන්ට කීවේය.
“ගෙදර බෙහෙත් වගයක් තියෙනවා. මුගේ ඔළුවට දාමු.”
“හරි උඹ බෙහෙත් ටික ඔළුවට දාපන්. මමයි පැතුමුයි ගිහින් කාර් එක භාර දීලා එන්නම්…”
එලෙස විනෝද්ට පැවසූ කසුන්, පැතුම් සමඟ රථයෙන් අනුරාධපුර නගරය බලා පිටත්ව ගියහ. ඒ කුලී පදනම මත ලබාගත් රථය එම ආයතනයට භාර දීම සඳහාය. ඒ ගමන යන අතරතුර කසුන්ගේ දුරකථනය නාදවිය.
“ඒයි… අරූ මැරිලා… ඉක්මනට වරෙන් මොනවා හරි කරපන්…”
විනෝද්ගෙන් ලැබුණු එම ඇමතුමත් සමඟ කසුන්ද බිය විය.
“ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද?”
කුලී රථ ආයතනයේ හිමිකරු කසුන්ගෙන් විමසන්නට විය.
“ඔව්… මගේ යාළුවගේ වයිෆ්ට බබා හම්බවෙන්න අමාරු වෙලා ඉස්පිරිතාලෙට ගෙනියන්න එන්නලු. මම හෙට – කාර් එක ගෙනත් දෙන්නම්. වැඩිපුර ගාණත් කියන්න.”
කුලී රථ හිමිකරුට බොරු බේගලයක් ඇද බෑ කසුන් සිය මිතුරා වූ පැතුම්ද සමඟ නැවත සිය නවාතැනට ගියහ.
“ඇයි මොකද…?”
“මූ හුස්ම ගන්නේ නැහැ. මූ මැරිලා…”
“දැන් මොකද කරන්නේ…?”
“මෙතැන මූ තියාගෙන හිටියොත් අපි සේරම මාට්ටු වෙයි. මොනව හරි කරන දෙයක් ඉක්මනට කරපන්…”
“එහෙනම් මූව අරගෙන ඔයාමඩුව පැත්තට ගිහින් දාමු. ඒ පැත්තේ අලි ඉන්න නිසා කවුරුත් ඒ පැත්තට යන්නෙත් නැහැනේ.”
“හරි… හරි… එහෙම කරමු.”
සියල්ලෝම මධුෂාන්ට කළ යුතු දේ තීරණය කළහ. ඉන් අනතුරුව කසුන් යළි රියට ගොඩවිය. ඒ පැතුම්ද සමඟය. රිය නතර වූයේ ඉන්ධන පිරවුම්හලක් අසලය. පැතුම් රථයේ තිබූ බූලියට පෙට්රල් පුරවා ගත්තේය. අනතුරුව ඔවුන් ගියේ ටයර් විකුණන තැනකටය. පාවිච්චියට ගත නොහැකි අබලන් ටයර් දෙකක්ද එතැනින් මිලට ගත් ඔවුහු යළි ලෝලුගස්වැව කුලී නිවෙසට පැමිණියහ. ඉන් අනතුරුව මියගොස් සිටි මධුෂාන් ඔසවා රියේ ඩිකියට දමාගත්හ. ඒ මුළු සිරුරම ඇඳ ඇතිරිල්ලකින් වෙළීමෙන් පසුවය. කසුන්, පැතුම්, විනෝද් පමණක් නොව විනෝද්ගේ අනියම් බිරියද රියට ගොඩවූහ.
වේලාව රාත්‍රි අටට ආසන්නය. මුළු පළාතම අඳුරෙන් වැසී ගොසිනි. පාරද පාළුය. රිය පැදවූයේ කසුන්මය. රථය කිලෝමීටර් 35ක් පමණ පසුකර ගියේය. විලච්චිය දෙසින් ඔයාමඩුවට රථය පිවිසියේය. ඔයාමඩුවෙන් දුනුමඬලාව රක්ෂිතයට රිය ඇතුළු විය. ඉමක් කොනක් නොපෙනෙන රක්ෂිතය තුළට රථය ඇතුළු කළ මොවුන් ඩිකියේ සඟවා තිබූ මධුෂාන්ගේ මළ සිරුර ඔසවාගෙන ගොස් රක්ෂිතය තුළට විසි කළේය. වනඅලින්ගෙන් ගහන දුනුමඬලාව රක්ෂිතයේ මිනිස් පුලුටක් හෝ නොවීය. කිසිවකු එම රක්ෂිතයට ඇතුළු වන්නට දක්වන්නේ මහත් බියකි. ඒ රක්ෂිතය වනඅලින්ගෙන් ගහන නිසාය.
රක්ෂිතය තුළට විසි කළ මධුෂාන්ගේ සිරුර මතට පෙට්රල් වත්කිරීමෙන් පසු කසුන් ඊට ගිනි තැබීය. ගින්න මහහඬක් නඟමින් ඇවිළෙන්නට විය.
“හරි… අපි යමු…”
සියල්ලෝම රථයට නැඟගත්හ. තවත් පැයක කාලය ගතවෙද්දී සියල්ලෝම නවාතැන්පොළට පැමිණියහ. එදා අලුයම වනතුරුම කසුන් සිටියේ නිදි වර්ජිතවය. ඔහුට මධුෂාන්ව මැවි මැවී පෙනුණේය.
පසුදාට පහන් විය. සියල්ලෝම සිටියේ තුෂ්ණිම්භූතවය.
“පැතුම්, මට නින්ද යන්නේ නැහැ බං. අපි පොඩ්ඩක් ගිහින් අරූගෙ මිනිය පිච්චිලාද කියලා බලලා එමුද…”
කසුන් පැතුම්ට කීවේය.
“දැන් එහෙ යන්න ඕන නැහැ බං… ඒක බලන්න ගිහින් අපි මාට්ටු වෙයි.”
“නැහැ බං අපි ගිහින් බලලා එමු.
මට නින්ද යන්නෙ නැහැ බං. මිනිය හරියට පිච්චිලා තිබුණේ නැත්නම් අපි සේරම ඉවරයි.”
කසුන්ගේ බලවත් ඉල්ලීම මත පැතුම්ද රියට ගොඩවිය. ඔවුහු යළි ඔයාමඩුව හරහා දුනුමඬලාව රක්ෂිතයට ඇතුළු වූහ. මධුෂාන්ගේ සිරුර හරිහැටි පිලිස්සී තිබුණේ නැත.
“ඒකනේ මම කිව්වේ. මේක පිච්චිලා නැහැනේ.”
යළි මධුෂාන්ගේ සිරුරට ගිනි තැබූ කසුන් පෙරළා ලෝලුගස්වැව නිවෙසට පැමිණියේය. එහෙත් ඔහුගේ යටි හිත නිතරම ඔහුට වද දෙන්නට විය. ඒ මධුෂාන්ගේ සිරුර කිසිවකු විසින් හඳුනාගනු ඇති බවට ඇති වූ සැකය නිසාය. ඒ නිසා පසුදාද මධුෂාන්ගේ සිරුර දැකබලා ගැනීමට කසුන්ට ඕනෑ විය. ඔහු පැතුම්ද රියට නංවාගෙන නැවැතත් දුනුමඬලාව රක්ෂිතයට යන්නේ ඉන් පසුය. එහෙත් එදින රක්ෂිතය තුළ මධුෂාන්ගේ පිලිස්සී ගිය සිරුර නොවීය.
“කෝ බං මෙතැනනේ තිබුණේ. කවුරු හරි මේක අරන් ගියාවත්ද?”
රක්ෂිතය හැම තැනම බැලුවද මධුෂාන්ගේ සිරුරේ කොටස්වත් දක්නට නොවීම මිතුරන්ට දැඩි ගැටලුවක් ගෙනදුන්නේය. ඔවුහු පෙරළා නිවෙසට පැමිණ විනෝද්ට සහ ඔහුගේ අනියම් බිරියටද මේ බව කීහ.
“අපි ඕකා වෙනුවෙන් දානයක් දෙමු”
කසුන් යෝජනාවක් ගෙනාවේය. සෙස්සෝද ඊට එකඟ වූහ. මැදවච්චිය ප්‍රදේශයේ විහාරස්ථානයකින් වැඩම කළ ස්වාමීන් වහන්සේලා හත් නමක් වෙනුවෙන් ලෝලුගස්වැව නිවෙසේ සාංඝික දානයක්ද පවත්වා මරා දැමූ මිතුරාට පින් පැමිණවීමටද මොවුහු කටයුතු කළහ. ඒ තිබූ බිය සහ සැක නිසාය.
කාලය ගෙවී ගියේය. සති දෙකක් තුනක් ගතවිය. කාගේත් සිත්වලින් මධුෂාන්ගේ මරණය අමතක වී ගියේය.
විනෝද් දිනක් නාත්තණ්ඩිය ප්‍රදේශයේ මිතුරකුගේ නිවෙසට ගියේ ඔය අතරය. නිවෙසේ මත්පැන් සාදයක් පැවතිණි. ඉන් පදමට රත්වූ විනෝද් සිත තුළ සඟවාගෙන සිටි මධුෂාන්ගේ මරණයේ රහස සිය මිතුරා ඉදිරියේ දිගහරින්නට විය.
සාදයට පැමිණ සිටි පිරිස අතර පොලිස් සැරයන්වරයකු සිටියේය. විනෝද්ගේ මිතුරා මේ බව හීන්සැරේ මිතුරු සැරයන්වරයාට කීවේය. සැරයන්වරයා පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ රාජකාරි කරන්නකු විය. සාදය නිමවීමෙන් පසු සැරයන්වරයා මේ බව තම ප්‍රධානියාට පවසා ඔහුගේ උපදෙස් මත ගොස් විනෝද් අත්අඩංගුවට ගත්තේය. ඒ මධුෂාන් මරා දමා මාසයකට පසුවය.
නිලධාරීන් විනෝද්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නට විය. වැඩිදුරටත් රහස සඟවාගෙන සිටීමට විනෝද්ට නොහැකි විය. විනෝද් සිදුවූ සියල්ල එකක් නෑර හෙළිකිරීමෙන් පසු නිලධාරීන් විනෝද්ගේ මිතුරන් වූ කසුන් සහ පැතුම් මෙන්ම ආධාර අනුබල දීමේ වරදට විනෝද්ගේ අනියම් පෙම්වතියද අත්අඩංගුවට ගත්තේය.
මධුෂාන් මරා දමා තිබුණේ, අනුරාධපුර පොලිස් කොට්ඨාසයට අයත් ලෝලුගස්වැව ප්‍රදේශයේ වූ බැවින් අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරිය ඉදිරි විමර්ශන සඳහා අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙත භාර දෙනු ලැබුවේ ඉන්පසුවය.
අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණගේ උපදෙස් මත එම ඒකකයේ ස්ථානාධිපති නුවන් වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායම ඉදිරි විමර්ශන භාර ගනිමින් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමෙන් පසු ඔවුන්වද රැගෙන දුනුමඬලාව රක්ෂිතයට ගියහ. ඒ මධුෂාන් පිලිස්සූ තැන සොයාගෙනය.
පිලිස්සූ තැන සිරුරේ කොටස් නොවූයේ එම කොටස් වන සතුන් විසින් ඇදගෙන ගොස් තිබූ නිසා බව නිලධාරීන්ට ඒත්තු ගියේය. පසුව රක්ෂිතය පුරා කළ සෝදිසියේදී මධුෂාන්ගේ පිලිස්සී ගිය හිස්කබල සහ ඇටකටු කිහිපයක්ද පිලිස්සී ගිය ටයර්වල කම්බිද නිලධාරීන්ට සොයා ගැනීමට හැකි විය. මධුෂාන්ගේ ජංගම දුරකථනයද වැවක දමා තිබියදී සොයා ගැනිණි.
සැකකරුවන් තිදෙනා සහ සැකකාරිය අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
දිනූෂා මනංකල්පිත නමකි.
උපුටා ගැනීම - මව්බිම