සිය ශරීරයේ පච්ච කෙටීම සඳහා රුපියල් 5000 ක් මවගෙන් ඉල්ලා එය නොදුන් නිසා ඇයට පහරදී නිවසේ බඩු මුට්‌ටු කඩා විනාශ කළ 18 වියැති තරුණයකු නොච්චියාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වෙනවා.
නොච්චියාගම ප්‍රාදේශීය සභා පාරේ පදිංචි මවක් විසින් පොලිසියට කළ පැමිණිල්ලක් අනුව අත්අඩංගුවට ගත් 18 වියෑති පුතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු තඹුත්තේගම වැඩබලන මහෙස්‌ත්‍රාත් චන්ද්‍රසිරි රාජපක්‍ෂ මහතා විසින් අගෝස්‌තු 02 දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන තිබේ.
මේ දිනවල නොච්චියාගම ප්‍රදේශයේ පැවැත්වෙන සංගීත සංදර්ශන භූමියේ ඇති වෙළෙඳ කුටියක පච්ච (ටැටූ) කෙටීමේ ස්‌ථානයක මුළු ශරීරයේම මෙම පච්ච කෙටීම සඳහා රුපියල් 12000 ක් අය කරන අතර එපමණ මුදලක් තමා ළඟ නොමැති නිසා ශරීරයේ කොටසක පමණක් මෙම පච්ච කෙටීමට සිතා ඒ සඳහා රුපියල් පන්දාහක් දෙන ලෙස මවට බල කර ඇත.
පච්ච කෙටීමට තබා එදිනෙදා ජීවිතය ගෙන යාමේ ඇති දුෂ්කරතා ගැන කියමින් තමන් ළඟ මුදල් නොමැති බව මව පවසා ඇත. ඉන් කෝපයට පත් තරුණයා විසින් මවට පහරදී ඇත. පසුව නිවසේ භාණ්‌ඩ කඩා දමා රුපියල් 31800 ක අලාභයක් සිදුකර ඇත.