කොස් ඇටවල ගුණ, ඔබ දන්නවාද.?
කොස් සහ කොස් ඇට මානව පරිණාමයේ අනාදිමත් කාලයක සිට මිනිසුන් ආහාරයට ගත් ආහාරයකි.
. ගම්වල ජනතාව කොස් ඇට වෑංජන ලෙසත්, අතුරුපස ලෙසත්, ආහාරයට ගැනීමට පුරුදුව සිටියහ.
. තම්බපු කොස් ඇට හෝ බැදපු කොස් ඇට, අප දැන් රට කජු කන ආකාරයට කෑමට ගැනීම මේ මෑතක් වන තෙක්ම ගම්වල දකින්නට පිළිවන් විය. කළු පොල් මාළුව අපේ පැරැණියන්ගේ සුප ශාස්ත්රයේ අපුරු සොයාගැනීමකි.
. කොස් ඇට ආහාරය සඳහා සකස් කරගැනීමට වැඩි වේලාවක් වෙහෙස විය යුතු වන නිසා දැන් බොහෝ දෙනා ඒ සඳහා රුචි නොවෙති. කෙසේ වෙතත් තව පරම්පරාවකින් හෝ දෙකකින් ලංකාවෙන් අභාවයට යෑමට නියමිතව තිබෙන කොස් ඇට පිළිබඳ යථාවත් වන නව දැනම අප මවිත කරවන සුලුය.
. කොස් ඇටවල සියයට 60ක් 70ක් විතර ඇත්තේ පිෂ්ටය යි. පිෂ්ටය තරබාරුව ඇති කිරීමට හේතු වන බවත් එය සීනිවලට සමාන නිසා දියවැඩියා රෝගයට හේතු වන බවත් ප්‍රසිද්ධ කාරණාවන්ය. නමුත් සියලුම පිෂ්ටය එක හා සමාන නොවේ.
. කොස් ඇටවල ඇති පිෂ්ටයෙන් සියයට 30ක් පමණ සෑදී ඇත්තේ අප ලබාගන්නා සාමාන්‍ය කාබෝහයිඩ්‍රේට්වලට වඩා සෞඛ්‍ය සම්පන්න වන ප්‍රතිරෝධී පිෂ්ටයෙනි. මේ ප්‍රතිරෝධි පිෂ්ටය යනු පෝෂණ විද්‍යාවට මෑතක දී එක් වූ පෝෂ්‍ය පදාර්ථ විශේෂයකි.
. ආහාරමය කෙඳි යනු මොනවාද?
ආහාරමය කෙඳි යනු අප ලබාගන්නා ශාකමය ආහාරවල තිබෙන තන්තු වර්ගයන් ය. ඒවා සෑදී ඇත්තේ කාබෝහයිඩ්රේට්වලිනි. නූතන පෝෂණවේදී පැහැදිලි කිරීම්වලට අනුව, කෙඳි වර්ග දෙකක් තිබේ. ඒවා නම්, දියවෙන කෙඳි, නොඑසේ නම් ද්‍රාව්‍ය කෙඳි සහ දිය නොවන කෙඳි වශයෙනි. ද්‍රාව්‍ය තන්තු යනු ජලයේ දියවෙන තන්තුය. අප ඒවා අඩංගු ආහාර අනුභව කරන විට, ඒවා ආහාර මාර්ග පද්ධතියේ දී කැඩී බිඳී යයි. එම වර්ගයේ තන්තුවලට ඔබේ රුධිරයේ සීනි සහ කොලෙස්ටරෝල් නියාමනය කළ හැකිය.
දිය නොවන තන්තු එසේ ආහාර මාර්ග පද්ධතිය තුළ දී කැඩී බිඳී ජලයේ දිය වෙන්නේ නැත. ඒවා ඔබේ ආහාර මාර්ග පද්ධතිය ඔස්සේ ගමන් කරයි. එම දිය නොවන තන්තු ඔබේ ආහාර මාර්ග පද්ධතිය ඔස්සේ ගමන් කරන විට ආහාර ජීර්ණ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කෙරෙයි. එම තන්තු වර්ග දෙකම බඩවැල්වල මනා ක්‍රියාකාරිත්වයට සහ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අත්‍යවශ්‍ය වෙයි.
ද්‍රාව්‍ය හා දිය නොවන තන්තු වැදගත් වුවද, ඔබේ ආහාර මාර්ග පද්ධතියේ නීරෝගීභාවයට සහ සමස්ත ශරීරයේ නිරෝගීභාවය සඳහා ඉවහල්වන වෙනත් පෝෂ්‍ය පදාර්ථ ද තිබේ. ප්‍රතිරෝධක පිෂ්ටය යනු, තවමත් ලෝකයා ඒ හැටි නොදන්නා තන්තු වර්ගයකි. විශේෂයෙන් ඒවා අඩු දුස්රාවී , ඇලෙන සුලුභාවයෙන් අඩු තන්තු වර්ගයකි. එම වර්ගයේ තන්තු කුඩා අන්ත්රය මඟින් ජීර්ණය කළ නොහැකි අතර, ඒවා ඔබේ ආන්ත්‍ර මාර්ගය ඔස්සේ ගමන් කරන විට සෙමින් ඒකරාශි වෙමින් සැකසේ.
. කොස් ඇට එකී ආහාරමය තන්තු සහ ප්‍රතිරෝධී පිෂ්ටයෙන් පොහොසත් ආහාරයකි.
. ප්‍රතිරෝධක පිෂ්ටය සහ කොස් ඇටවල ප්රතිලාභ
කොස් ඇටවල අඩංගු ප්‍රතිරෝධී පිෂ්ටය සහිත ආහාර ඔබ පරිභෝජනය කරන විට, ඔබේ බඩවැල් තුළ වාසය කරන බැක්ටීරියා මඟින් මහා අන්ත්රය තුළ දී එම පිෂ්ටය පැසවීමේ ක්‍රියාවලියට ලක් කෙරෙයි. ප්‍රතිරෝධී පිෂ්ටය පැසවන විට, ඒවා කෙටි දාම මේද අම්ල (Short-chain fatty acids) නිපදවයි. එම කෙටි දාම මේද අම්ල මඟින් ඔබේ බඩවැලේ රුධිර ප්‍රවාහය උත්තේජනය කිරීමටත් මහා බඩවැලේ පිළිකා ඇති වීමේ අවදානම අඩු කිරීමටත් ඉවහල් වන බව සොයාගෙන ඇත.
ආහාරමය තන්තු සහ ප්‍රතිරෝධක පිෂ්ටය අපගේ මහා අන්ත්රය තුළ දී හිතකර ක්ෂුද්රජීව ක්‍රියාකාරිත්වය හේතු කොට ගෙන කෙටි දාම මේද අම්ල නිපදවන බව සොයාගැනීම පෝෂණ විද්‍යාවේ නව පිටුවකි. එම කෙටි දාම මේද අම්ල පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයන් ප්‍රකාශ කරන්නේ ඒවා දියවැඩියා රෝගය වැළැක්වීම හා හෘද රෝග වැළැක්වීම, තරබාරුව වැළැක්වීම , අක්මාවේ නිසි ක්‍රියාකාරිත්වයට ද ඉවහල් වන සුවිශේෂී පෝෂණ සංඝටකය බව ය.
කොස් ඇටවල ද්‍රාව්‍ය සහ අද්‍රාව්‍ය කෙඳි යන වර්ග දෙකම යහමින් අඩංගු වේ. පෙර කී ප්‍රතිරෝධී පිෂ්ටය වැඩි ප්‍රමාණයක් තිබේ. ද්‍රාව්‍ය හා අද්‍රාව්‍ය තන්තු හා සසඳන විට ප්‍රතිරෝධී පිෂ්ටය සඳහා අඩු ප්රසිද්ධයක් ලැබී තිබුණ ද, එම කාබෝහයිඩ්රේට් වර්ග තුනම ප්රීබයොටික්ස් ලෙස ක්‍රියා කරයි. ඉන් අදහස් කරන්නේ මෙම පෝෂ්‍ය පදාර්ථ තුනම ඔබේ බඩවැල් තුළ වාසය කරන හිතකර ක්ෂුද්‍ර ජීවීන්ගේ පැවැත්ම සහ සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කරන බවය.
ආහාර මාර්ග පද්ධතිය තුළ වෙසෙන හිතකර ක්ෂුද්රජීවීන්, කුඩා බඩවැලේ සහ මහා බඩවැලේ හිතකර පැවැත්ම සඳහා පමණක් ඉවහල් වන්නේ නැත. ඔබේ බඩවැල් ඔබේ මොළයට කෙළින්ම සම්බන්ධ වන්නේ කශේරුකා ස්නායුව ඔස්සේ ය. එයින් අදහස් වන්නේ, ආහාරමය කෙඳි සහ ප්‍රතිරෝධී පිෂ්ටය බහුල සෞඛ්‍ය සම්පන්න ආහාර පරිභෝජනය කිරීමෙන්, ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට මෙන්ම, ශරීර බර පාලනය කිරීමට, හදවත් සහ දියවැඩියා රෝග අවදානම අඩු කිරීමට හා අක්මාවේ විෂ හරණ ක්‍රියාවලිය දියුණු කිරීමටත්, මධ්‍යම ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය යහපත් ලෙස පවත්වා ගෙන යෑමටත් ඉවහල් වන බව ය. සරලව කිවහොත්, කොස් ඇට වැනි තන්තු සහ ප්‍රතිරෝධි පිෂ්ටයෙන් පොහොසත් ආහාර මොළයේ යහපත් ක්‍රියාකාරිත්වය සඳහා වෙසෙසින් ඉවහල් වන බවය.
කොස් ඇට සම්බන්ධයෙන්වන මෙකී නව පෝෂණ විද්‍යාත්මක කාරණාවට අමතරව, මෙහි ඉතා වටිනා පෝෂ්‍ය පදාර්ථ රාශියක් ද තිබේ.
කොස් ඇට ග්‍රෑම් සියයක. ප්‍රෝටීන් ග්‍රෑම් 7ක් පමණ ද, මැග්නීසියම් අපට දවසකට අවශ්‍ය වන ප්‍රමාණයෙන් සියයට 13ක් ද, පොස්පරස් සියයට 9ක් ද, විටමින් බී 1 සියයට 18ක් ද, විටමින් බී 6 සියයට 10ක් ද, යකඩ සියයට 9ක් ද, පොටෑසියම් සියයට 5 ක් ද, තඹ සියයට 8ක් ද අඩංගුය.
ඊට අමතරව, කොස් ඇට ෆෝලික් අම්ලය, නියැසින්, රයිබොෆ්ලෙමින් ඇතුළු බී කාණ්ඩයේ සියලුම විටමින් වර්ගවලින් පොහොසත් ආහාරයක් වන අතර, රතු රුධිරාණු නිෂ්පාදනයට, මොළයේ යහපත් ක්‍රියාකාරිත්වයට, හෘද රෝග වැළැක්වීමට, පිළිකා වැළැක්වීමට මෙන්ම ගර්භණී සමයෙදී ඉතාම වැදගත් විටමිනයක් වන විටමින් බී 6 (පිරඩොක්සින්) යහමින් කොස් ඇටවල අඩංගුය. මෙහි පෝෂණ පැටිකිරිය පිළිබඳ කර ඇති අධ්‍යයනයන්වලට අනුව, කොස් මදුළුවල තිබෙනවාට වඩා ප්‍රෝටීන, කැල්සියම්, මැග්නීසියම්, පොස්පරස් වැනි ඛණිජ ලවණත්, තයමින් සහ රිබොප්ලෙවින් යන බී විටමින් වර්ගත් කොස් ඇටවල අඩංගු වේ. මීට අමතරව පිළිකා සහ බෝ නොවන රෝග වළක්වන ප්රතිඔක්ෂකාරක පොලිෆීනෝලික සංඝටකද යහමින් තිබෙන ආහාරයක් බව අවධාරණය කළ යුතුවය. .
කොස් ඇටවල පෙර කී ප්‍රතිරෝධි පිෂ්ටය සහ තන්තු, ආහාර මාර්ග පද්ධතියේ අපර කොටස තුළ දී ක්ෂ්රද්රජීවීමය පැසවීමේ ක්‍රියාවලියට ලක් වන නිසා සාමාන්‍ය ප්‍රමාණයට වඩා වාතය නිපදවෙයි. “කොස් ඇට වැඩිපුර කෑ විට බඩේ හුළං හැදෙනවා” යැයි පෙර සිටි උදවිය කීවේ ඒ නිසාය. එම කාරණාව හැර කොස් ඇට ආහාරයට ගැනීමේ වෙනත් අතුරු ආබාධ පිළිබඳ වාර්තා වී නැත.
කොස් ඇටවල තතු විත්ති එසේ වුවද, අද කාලේ බොහෝ දෙනෙකුට කොස්ඇට සෝයා මීට් තරම් පොෂ් නැත. මස් බෝල තරන්නම් කොහෙමටත් ස්මාර්ට් නැත. කිරි පිටි තරම් ගුණයක් ද නැත. ඒ දැන් කාලේ ඇත්තන්ට කොස් ඇට දැනෙන විදිහය. නගරවල ඇත්තන් කොස් ඇට නොකෑවට ගම්වල ඇත්තන් තාමත් කොස්, වැළ වරකා, කොස් ඇට යහමින් අනුභව කරනවා යැයි ඔබ සිතනු ඇත. එහෙත් අවාසනාව එසේ සිදු නොවීමය. රට පුරා කොස් ගස් පල්ලේ කොස් ඇට පැළ වෙද්දී, අපේ රටේ ගමේ, ගොඩේ, සිදාදියේ ඇත්තෝ ජම්බෝ රට කජු, ආමන්ඩ් ඇට පිට රටවලින් ගෙනැවිත් කති.
උපුටා ගැනීම -සිළුමිණ පුවත් පතින්