දුමින්ද පෙරේරා තම මෝටර් රථය විකුණා ගැනීම සඳහා මෙරට වාහන මිලදී ගැනීම සහ විකිණීම සඳහා ප්‍රසිද්ධම වෙබ් අඩවියක දැන්වීමක් පළ කළේය.
ඒ දැනට සති දෙකකට පමණ ඉහතදීය. එම දැන්වීම පළවීමෙන් පසු ඔහුට සතර දෙසින් දුරකථන ඇමතුම් ලැබුණේය. එහෙත් ඔහු පළ කළ මුදලට මෝටර් රථය මිලදී ගැනීමට ඇමතුම් ලබා දුන් කිසිවකුත් කැමැති වූයේ නැත. මුදල් හදිස්සියක් නොතිබුණු නිසා ඔහු තවදුරටත් බලා සිටියේ තමා පළ කළ මුදලටම මෝටර් රථය විකුණා ගැනීමටයි.
දිනය පසුගිය අට වැනිදාය. වේලාව සවස හය පසුවී තිබුණි. දුමින්දට දුරකථන ඇමතුමක් ලැබුණි. ඇමතුම ලබාදුන් පුද්ගලයා දුමින්ද සමග ඉතා මිත්‍රශීලීව කතාබස් කළේ මෙලෙසින්ය.
“මම පියල්. කතා කරන්නේ අම්පාරේ ඉඳලා. ඔය දුමින්ද නේද.”
“ඔව්. දුමින්ද තමයි කතා කරන්නේ.”
“කාර් එකක් විකුණන්න දාලා තිබුණා නේද?”
“ඔව්”
“තවම තියෙනවද ඒක.”
“ඕව් තියෙනවා.”
“පිංතුරවලින් පේන විදිහට කාර් එකනම් හොඳට පාවිච්චි කරලා තියෙනවා වගේ. දාලා තියෙන ඩීටේල්ස් එහෙම හරි නේද?”
“ඔව් ඒ සියලු විස්තර හරි.”
“ඇයි ඉතින් මේ කාර් එක විකුණන්නෙ.”
“අපේ ගෙදර කාර් දෙකක් තියෙනවා ඒකයි එකක් විකුණන්න තීරණය කළේ.”
“එහෙමද? ඇත්තටම මම කාර් එක ගන්නෙ අපේ නෝනට. එයා පින්තූර දැකලා කාර් එකට ගොඩක් කැමති වුණා.”
“ආ එහෙමද? මේ කාර් එක අපි හොඳට පාවිච්චි කළා. සර්විස් රෙපෙයාර් සේරම කළේ කොම්පැනි දාලා ඒවායේ රෙකෝඩ් බුක් පවා තියෙනවා.”
“ඒක තමයි කාර් එක ගන්න මම කැමති වුණේ. ගාන පිළිබඳ ප්‍රශ්නයක් නැහැ.”
“ඒක හොඳයි ඇත්තටම මම දාලා තියෙන මිල වෙනස් කරන්න කැමති නැහැ. මිල ටිකක් අඩුවෙන් ඉල්ලලා කෝල් ගොඩක් ආවා. ඒත් මං කැමැති වුණේ නැහැ ඒගණන්වලට විකුණන්න. මොකද අද කාලේ වාහනවල ගණන් දන්නවනේ.”
“මිල පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නැහැ. මම කැමතියි ඒ මුදලට මිලදී ගන්න. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා.”
“ඒ මොකක්ද?”
“ඔයා අදම ඇඩ් එක අයින් කරගන්නකො.”
“ඒ මොකද ?”
“නැහැ ඇඩ් එක දැකලා වෙන කවුරුහරි ඉල්ලුවොතින්.”
“ඒක නම් කරන්න බැහැ. මොකද ඔයා කාර් එක ගන්නවා කිව්වට ඇඩ්වාන්ස් එකක්වත් ගෙවල නැහැනේ.”
“නැහැ මම ඇත්තටම කාර් එක ගන්නවා. හෙට වුණත් එන්න පුළුවන්. ඒත් මට ඔෆිස් එකේ නිවාඩු ගන්න බැහැ. සෙනසුරාදට අපි මේ ගනුදෙනුව ඉවර කරලා දාමු.”
“එහෙම මට කාවවත් විශ්වාස කරන්න බැහැ.”
“හරි හරි මම හෙට රුපියල් පනස් දාහක ඇඩ්වාන්ස් එකක් දාන්නම්.”
“එහෙම ඇඩ්වාන්ස් එකක් දෙනවා නම් මම හෙට ඇඩ් එක අයින් කරගන්නම්. ”
“හරි මම හෙට දහය වෙනකොට ඒ මුදල ඇඩ්වාන්ස් එකක් විදියට දාන්නම්. ඔයාගේ ගිණුම් අංකය මට දෙන්න.”
“හරි මම දෙන්නම්.”
“පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම ඔන්ලයින් තමයි සල්ලි දාන්නේ. ඒක නිසා ඔයාගේ ගිණුම් අංකයට අමතරව අයිඩින්ටි කාඩ් එකේ ඉඳන් විස්තර ටිකක් මට ඕනා.”
“හරි මම හෙට උදේට සේරම විස්තර දෙන්නම්.”
“හරි එහෙනම් මම තියන්නම්. හැබැයි තව දෙයක් කවුරු ඉල්ලුවත් කාර් එකනම් දෙන්න එපා හෙට දහය වෙනකොට මම සල්ලි දානවා.”
“හරි එහෙනම් මම ඔයා කියන වචනේ විශ්වාස කරන්නම්.”
දෙදෙනා අතර සංවාදය එලෙසින් අවසන් විය. දුමින්ද තම බිරිඳට පැවසුවේ තමා පැවසූ මිලට මෝටර් රථය මිලදී ගැනීම සඳහා අම්පාර ප්‍රදේශයේ පුද්ගලයෙක් කැමති වූ බවත් ඔහු හෙට රුපියල් පනස්දාහක අත්තිකාරම් මුදලක් ගෙවන බවත්ය.
පසුදින උදාවිය. පියල් දුරකථන ඇමතුමක් ලබාගෙන දුමින්දගේ බැංකු ගිණුම් සහ තවත් තොරතුරු කිහිපයක් ලබා ගත්තේය. අවසානයේ ඔහු පැවසුවේ දහය පමණ වන විට අත්තිකාරම් මුදල ගිණුමට බැර කරන බවයි.
දහය පසු වී විනාඩි කිහිපයක් ගත වූ පසු පියල් යළි දුරකථන ඇමතුමක් ලබාගෙන දුමින්දගෙන් මෙලෙස විමසුවෙය.
“මම ඔයාට සල්ලි දැම්මා. ෆෝන් එකට එස්එම්එස් එකක් ආවද?”
“තවම ආවෙ නැහැ.”
“වෙන්න බෑනේ මම සල්ලි දැම්මානෙ. එහෙනම් බලන්න බෑන්ක් එකෙන් වෙන මොකක් හරි එස්. එම්. එස්. එකක් ඇවිල්ලද කියලා.”
“මොනවද අංක වගයක් ඇවිල්ලා තියෙනවා.”
“එහෙමද? ඒ සිකුරුටි කෝඩ් එක වෙන්නැති. ඒක මට දෙන්න.”
“ඇයි ඒක ඔයාට මම දෙන්නේ.”
“නැහැ නැහැ වරදවා හිතන්න එපා. මම මගේ එකවුන්ට් එකට සිකුරුටි එකක් දාලා තියෙන්නෙ. ඔය අංක ටික මම එන්ටර් කළාට පස්සේ තමයි ඔයාගේ එකවුන්ට් එකට සල්ලි වැටෙන්නේ. දන්නවනේ අද කාලේ කාවවත් විස්වාස කරන්න බැහැනේ. එක නිසා අපි පරිස්සම් වෙන එක හොඳයිනේ. ”
“ඔව් ඒකනම් හොඳයි. මටත් සමාජයේ අත්දැකීම් ගොඩක් තියෙනවා ඔය වගේ. ඒක නිසා මම දැන් ගොඩක් පරිස්සමෙන් ජීවත් වෙන්නේ. ”
“ඒක තමයි හොඳම විදිහ. මට අර ආපු අංක ටික දෙන්න. ඊට පස්සේ ඔයාගෙ එකවුන්ට් එකට සල්ලි වැටෙයි. ”
“හරි ඉන්න මම කියන්නම්.”ඒ අනුව දුමින්ද තම ජංගම දුරකථනයට ලැබුණු රහස් අංක පියල්ට පැවසුවේය. ඔහු ඒ සියල්ල පැහැදිලිව සටහන්කර ගෙන අවශ්‍ය වුණොත් නැවත කතා කරන්නම් කියා දුරකථනය විසන්ධි කළේය.
පැය භාගයක් පමණ ගත විය. සුනිමල්ගේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් ලැබුණි. එයින් කියැවුණේ ඔහුගේ ගිණුමෙන් ලක්ෂ පහක මුදලක් අඩු වී ඇති බවයි. දෙපාරක් තුන් පාරක් නොව හය හත් වටාවක් ඔහු එම කෙටි පණිවුඩය දෙස බැලුවේය.
අවසානයේ ඔහු පුදුමයෙන් පුදුමයට පත්විය. ඒ තම ගිණුමෙන් එතරම් මුදලක් එක්වරම අඩු වුයේ කෙසේද යන්න පිළිබඳව සිතා ගැනීමට නොහැකිවයි. “බැංකුවට වත් වැරදිලා ද?” ඔහුට ඒලෙසත් සිතුණි.
“හරියටම වුණ දේ ගැන බලා ගන්න බැංකුවට ඇමතුමක් දීල බලන්න ඕනා.” ඒ අනුව ඔහු තම බැංකු ශාඛාවට දුරකථන ඇමතුමක් ලබාගෙන මෙලෙස විමසුවෙය.
“මම දුමින්ද කතා කරන්නේ. මේ ……… බැංකුවෙන්ද කතා කරන්නේ.”
“ඔව් සර් ඒ බැංකුවෙන් තමයි සර්ට මොකක් සම්බන්ධයෙන් ද තොරතුරු දැනගන්න ඕනා.”
“මට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ.”
“අපේ බැංකුවෙන්ද?”
“ඔව්, මගේ එකවුන්ට් එකෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් අඩුවෙලා කියලා එස්.එම්.එස්. එකක් ආවා. එහෙත් අද මම එකවුන්ට් එකෙන් රුපියලක්වත් ගත්තෙ නැහැ.”
“එහෙම වෙන්න බෑහැ සර්. සල්ලි නොගෙන සල්ලි අඩු වුණා කියලා එස්. එම්. එස්. එකක් කවදාවත් එන්නේ නෑහැ.”
“ඒක තමයි මටත් පුදුම.”
“හරි අපි ගිණුම පරික්ෂා කරලා බලමු. මට සර්ගෙ ගිණුම් අංකය දෙන්න.”
දුමින්ද ගිණුම් අංකය එම බැංකු නිලධාරියාට ලබා දුන්නේය. නිලධාරියා ගිණුම් අංකය පරික්ෂා කර බලා පැවැසුවේ ඔන්ලයින් හරහා ලක්ෂ පහක මුදලක් එම ගිණුමෙන් වෙනත් ගිණුමකට බැර කර ඇති බවයි. එය ඇසීමත් සමග ඔහුගේ ඉහමොළ රත්විය. එක්වරම ඔහුගේ මතකයට නැගුනේ මෝටර් රථය මිලදී ගැනීමට ඇමතුම ලබාදුන් පුද්ගලයා ගැනයි. ඔහු තමාව රවටා වංචාවක් සිදුකර ඇති බව දුමින්ද තේරුම් ගත්තේය.
පසුව සිදුවූ සියලු විස්තර බැංකු නිලධාරියාට පැවසුවේය. එය ඇසූ බැංකු නිලධාරීයා පැවසුවේ ඒ පිළිබඳව නීත්‍යනුකූල පියවරක් ගැනීමට ඔවුන්ට ඉඩකඩ නොමැති බවයි. එහෙත් මෙම සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිලි කරන ලෙසට ඔහු උපදෙස් ලබා දුන්නේය.
දුමින්ද අදාළ පොලිස් ස්ථානයට ගොස් මේ පිළිබඳ පැමිණිල්ලක්ද දැමුවේය. එහෙත් මේ වන තුරුත් සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකි විය. ඒ ඔහු එතරම් සූක්ෂම අයුරින් මුදල් ලබා ගෙන ඇති නිසාය.
මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර සොයා බැලීමේදී අනාවරණය වූයේ මෙම සැකකරු විසින් ඉතාමත් සූක්ෂම අයුරින් දුමින්දගේ සියලුම ගිණුම් තොරතුරු ලබාගෙන අන්තර්ජාලය හරහා මුදල් හුවමාරු කර ගැනීමේ ගිණුමක් සකසා ගෙන එම ගිණුම හරහා තම ගිණුමකට මුදල් මාරු කරගෙන ඇති බවයි.
මෙය එක් සිද්ධියක් පමණි. තව මෙවැනි සිදුවීම් රැසක් ගැන අපට තොරතුරු ලැබී තිබුණි. එමනිසා අන්තර්ජාලය හරහා මෙවැනි ගනුදෙනු කිරීමේදී ඔබත් ප්‍රවේසම්වන්න. ඒ මන්දයත් මෙවැනි වංචනික පුද්ගලයන් සමාජයේ බහුලව සිටින බැවිනි.
ගයාන් සමරසිංහ