අදාළ සිසුවා පොලිසිය වෙත පාපොච්චාරණය කර ඇත්තේ තමන් කළ මුදල් සොරකමක් ඇයට හසුවීම හේතුවෙන් පොල් උලකින් හිසට ඇන මෙම ඝාතනය කළ බවටයි.
මොරටුමුල්ල පොලිස් වසමේ ඉදිබැද්ද ප්‍රදේශයේ පිහිටි නිවසක පදිංචි වී සිටි තිලකා නාලනී ප්‍රනාන්දු නම් අවු 84 ක් වූ කාන්තාව ඇගේ නිවස තුළදීම තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබුණේ පසුගිය 29 වැනිදායි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් 17 හැවිරිදි සිසුවෙක් මොරටුමුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර ඔහු ජාත්‍යන්තර පාසලක සිසුවෙක් බව පොලිසිය පැවසුවා. සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වුණේ ඔහු පසුගිය 27 වනදා එම කාන්තාවගේ නිවසට ගොස් තිබූ බවයි. ඇගේ නිවසේ රූපවාහිනියේ වැඩසටහනක් නැවත බැලීමට සඳහා සකස් කර දෙන්නැයි කළ ඉල්ලීමක් අනුව තමන් එහි ගිය බව සිසුවා පවසා තිබෙනවා.
එම අවස්ථාවේ ඇගේ මුදල් පසුම්බියේ රුපියල් පන්දහසේ නෝට්ටු කිහිපයක් තමන් දුටු බවත්, එම මුදල් සොරකම් කිරීමේ අරමුණෙන් ඊට පසු දින යළි නිවසට ගිය බවත් සිසුවා පවසා තිබුණා. එහිදී බීමට වතුර වීදුරුවක් ඉල්ලූ අවස්ථාවේ කාන්තාව මුළුතැන්ගෙට ගොස් තිබූ අතර, එහිදී සිසුවා කාමරයකට ඇතුළු වී මුදල් පසුම්බියෙන් පන් දහසේ නෝට්ටු කිහිපයක් ගෙන තිබූ අතර, එය කාන්තාව විසින් දැක තිබෙනවා.
ඔහුගේ මව්පියන්ට මෙම සොරකම සම්බන්ධයෙන් දැනුවත් කරන බව කාන්තාව පැවසීමත් සමඟ ඉන් කලබලයට පත්වූ සිසුවා මුදල් රැගෙන පළා යාමට උත්සාහ කර තිබුණා. එහිදී කාන්තාව ඔහුව අල්ලාගෙන තිබූ අතර සිසුවා එහිදී ඇයව තල්ලු කර තිබෙනවා.
තල්ලු කිරීමත් සමග බිත්තියක වැදිම හේතුවෙන් ඇගේ හිසෙන් ලේ ගැලීමක් සිදුවූ බවත්, එහිදී තමන් නිවසේ පිටුපස තිබූ පොල් උලක් ගෙන පැමිණ ඇයගේ හිසට පහරදුන් බවටත් සිසුවා පාපොච්ඡාරණය කර තිබෙනවා. පසුව මුදල් සහ කාන්තාවට අයත් ජංගම දුරකථනය ද රැගෙන පලා ගොස් ඇති සිසුවා ජංගම දුරකථනය මොරටුව ප්‍රදේශයේ අලෙවි සැලකට විකුණා මුදල් ද ලබාගෙන ඇතැයි පොලිසිය පැවසුවා. සොරකම් කළ රුපියල් 9000ක මුදලින් සිසුවා කාය වර්ධනයට භාවිත කරන පෝෂණ අතිරේක පිටි වර්ගයක් ලබාගෙන තිබෙනවා. කාන්තාව අදාළ මුදල් එකතු කර තබාගෙන ඇත්තේ අද දින පැවැත්වීමට නියමිතව තිබූ ලේ දන්දීමේ වැඩසටහනක් සඳහායි. අත්අඩංගුවට ගත් සිසුවා මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර කිරීමෙන් අනතුරුව මේ මස 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා.