“පසුගිය සිකුරාදා උදෑසන නවයට විතර වැලිවේරියේ සිට වාහන තුනකින් තමයි අපි බදුරලිය හෝටලයට ආවේ...
එනවිට 10 පහු වෙලා තිබුණා. අපි සිකුරාදා ඇවිත් රෑ නැවතිලා සෙනසුරාදා හවස යන්න තමයි හෝටලය වෙන් කර තිබුණෙ...
ඇවිත් ටික වෙලාවකින් දරුවන් සෙල්ලම් කරන්න පටන් ගත්තා... දරුවො පස් දෙනෙක් හිටිය... මේ අය සෙල්ලම් කරමින් ඊට පස්සේ හෝටලයේ දිය තටාකයට බැහැලා නාන්න තමයි ආස කළේ.."
ඒ මේ අනතුරෙන් දිවි අහිමි වූ චූටි දියණියගේ පියා හඬ අවදි කළ ආකාරයයි...
පුංචි දියණියගේ හදිසි වියෝවෙන් මුළු ඇඹරළුව ගම්මානයම එකම ශෝකාකූල බවින් පුරවන පුවතක් වෙලා...
සිය ආදරණීය දෙමවුපියන්ට පමණක් නොව අසල්වාසීන්ගේ ද සිත දිනා සිටි ඔනේෂිගේ වියෝව තවමත් හැමදෙනාටම සිහිනයක් බඳුයි... මෙලොව කිසිම තාත්තා කෙනෙකුට අම්මා කෙනෙකුට මෙවන් දුකක් නොවේවා යන්න අවමංගල නිවසට පැමිණ හැමදෙනාගේ ම ප්‍රාර්ථනය වුණේ අන්න ඒ නිසාම වෙන්න ඇති...
සුරංනාවියක් මෙන් සැරසී උඩුකුරුව නිදන පුංචි ඔනේෂි ඊයේ 19 සවස වැලිවේරිය පොදු සුසාන භූමියේ දී පොළොව ගැබට ගියේ අම්මා තාත්තා සහ තම ආදරණීය එකම අක්කාගෙන් සදහටම සමු අරගෙනයි...
ගම්පහ වැලිවේරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇඹරළුව ග්‍රාම නිලධාරී වසමේ පදිංචි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවය කරන පුබුදු මධුසංඛ ගනේපොල සහ සහ පෞද්ගලික සරසවියක සේවයේ නියුතු ඉමන්ති නදීෂානි දරුවන් දෙදෙනකුගේ මව්පිය යුවළක්.. අට හැවිරිදි ඔවුන්ගේ වැඩිමල් දියණිය පෞද්ගලික පාසලක තුන්වන ශ්‍රේණිය ඉගෙනුම ලැබුන අතර, ඔවුන්ගේ බාල දියණිය වූ 6 හැවිරිදි ඔනේෂි ගනේපොල දියණිය තවමත් එක වසරේ ඉගෙනුම ලබනවා..
තම පවුලේ හිතවතුන් පිරිසක් සමග නිවාඩුවක් ගත කිරීමට කළුතර දිස්ත්‍රික්කයේ සුන්දර බදුරලිය ඉලුක්පොත ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයකට පැමිණි අවස්ථාවේදී එම දිය තටාකෙ දිය නාමින් සිටි අවස්ථාවේදී දියේ ගිලී මිය ගිය තම ආදරණීය සිඟිති දියණියගේ වියෝව දරාගත නොහැකිව එම ආදරණීය දෙමව්පියන් තවමත් සිටින්නේ හැඬූ කඳුලෙන්..
තම ආදරණීය බාල දියණියගේ හදිසි වියෝවෙන් දැඩි ලෙස කම්පනයට සහ ශෝකයට පත්ව සිටින පුබුදු මධුසංඛ ගනේපොල මහතාගේ එම වදන් හැමදෙනාගේම දෙනෙත්වලට කඳුළු එක් කරන දර්ශනයක් වුණා...
" මගේ රත්තරන් නැතුව මාත් අම්මත්, අක්කත් දැන් කොහොමද ඉන්නේ. දෙවියනි, ඇයි අපිට මෙහෙම වෙන්නේ? අනේ දෙයියනේ ඇත්තෙන්ම මේක මට තාමත් සිහිනයක්. අපිට කොයි තරම් මිල මුදල් වත්පොහොසත්කම් තිබුණත් දෛවයට මේ කිසි දෙයක් නවත්වන්න බැරි වුණා. හැමෝගෙම ආරක්ෂාව මැද අපි ඉස්සරහ හිටිය දුව කොහොමද පූල් එකට වැටුනෙ කියලා තාම කාටවත් හිතාගන්නත් බෑ.. ඒක දන්නේ උඩ ඉන්න දෙයියො විතරයි..."
මේ විලාපයෙන් පසුව ඔහු සිදුවූ දේ හරියටම කියන්න ගත්තේ මෙන්න මෙහෙමයි..."
"කුඩා දරුවන් පස්දෙනා පිහිනුම් තටාකයේ දරුවන් සඳහා වෙන් කර ඇති නොගැඹුරු ප්‍රදේශයට තමයි අපි දැම්මේ. දරුවන්ව පූල් එකට බස්සලා අපි ඇහැ ගහගෙනම සිටියා. අම්මලා තුන්දෙනෙක් සිටියා තාත්තලත් සිටියා. එතන කිසිම අනාරක්ෂිත බවක් තිබුණෙත් නැහැ. අපි දරුවෝ දිහා බලාගෙනමයි සිටියේ. මෙහෙම නානකොට තමයි මම දැක්කේ දරුවන් පස් දෙනාගෙන් එක දරුවෙක් අඩු බව. මම ඉතා ඉක්මනින් කෑගහලා හොයන්න පටන් ගත්තා. ඒ හොයනකොට තමයි දැක්කෙ මගේ පුංචි දියණිය ගැඹුරු ජල තටාක පතුලේ ඉන්නවා.
මම ඉක්මනින්ම දියට ගිහිල්ලා දරුවා ගොඩට ගත්තා. අපිත් එක්ක චාරිකාව සඳහා වෛද්‍ය යුවළක් එක්ව සිටිය නිසා එයාලා ඉතා ඉක්මනින් දරුවාට ප්‍රථමාධාර ලබා දුන්නා. ඒත් එක්කම අපි විසින් ඉතාම ඉක්මනින් ආසන්නයේ තිබුණු බදුරලිය රෝහලට දරුවා ගෙන ගියත් බදුරලිය රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය එක්ක වහා උපරිමයෙන් මූලික ප්‍රතිකාර කළත් තත්ත්වය බරපතළ නිසා කළුතර නාගොඩ රෝහලට යොමු කරන්ට තීරණය කළා”
කොහොම වුණත් මේ සිද්ධියෙන් පස්සේ දරුවාව බදුරලිය රෝහලේ ගිලන් රථයෙන් නාගොඩ මහ රෝහල වෙත ඉතාම කඩිනමින් යොමු කෙරුණත්, එහෙත් ජීවිතයත් මරණයත් අතර සිටි පුංචි ඔනේෂි නාගොඩ රෝහලට ඇතුළත් කර ටික වේලාවකින් මෙලොවින් සමුගෙන ගියා..
මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය කළුතර නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය එස්. එස්. අත්තනායක මහතා විසින් පවත්වනු ලැබූ අතර ඉදිරිපත් වූ සාක්ෂි සහ සාධක මත දියේ ගිලීමෙන් සිදු වූ හදිසි මරණයක් බවට නාගොඩ මහරෝහලේ හදිසි මරණ පරීක්ෂක එස්. ඒ. කුමසාරු මහතා නිගමනය කළා...