බොරැල්ල ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකින් ඇද වැටී බරපතල තුවාල ලැබූ 16 හැවිරිදි පාසල් සිසුවෙකු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.
පොලිසිය පැවසුවේ ඔහු සිය මිතුරන් සමග නිවසේ මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි අවස්ථාවේ මව පැමිණීමත් සමග කලබල වී ජනේලයකින් පළායාමට උත්සාහ කළ අවස්ථාවේ මෙම අනතුරට මුහුණ පා ඇති බවයි.
කොළඹ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන එම සිසුවා මව නිවසේ නොසිටි අවස්ථාවේ මිතුරන් කිහිපදෙනෙකු නිවසට ගෙන්වාගෙන තිබුණා.
අනතුරුව ඔහු මිතුරන් සමග නිවස තුළ මත්ද්‍රව්‍ය පානය කරමින් සිට ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
එම අවස්ථාවේ සිසුවාගේ මව හදිසියේ නිවසට පැමිණීමත් සමඟ කලබල වූ ඔවුන් සැඟවීමට උත්සාහ කර ඇති අතර එහිදී මෙම සිසුවා ජනේලය ඔස්සේ නිවසින් පිටතට පැමිණ බිත්තිය ආධාරයෙන් පහළට ඒමට උත්සාහ කිරීමේදී තුන්වන මහල අසලින් ඇද වැටී තිබෙනවා.
ඇදවැටීමෙන් බරපතල තුවාල ලැබූ සිසුවා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර මේ වන විට ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන බොරැල්ල පොලීසිය මගින් ක්‍රියාත්මකයි.