පොලිසිය ඇතුලෙම සෙට් එකක් වැඩේ කළාදැයි සැක
පසුගිය දින කිහිපයේ රටේ පුවත් මැවූ සිද්ධියක් වූයේ ලග්ගල පොලිසියේ ගිනි අවි සොරා ගැනීමයි. මේ සම්බන්ධයෙන් තවමත් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතුරුදන් වූ ගිනි අවි නැවත හමුවූයේ අසල පන්සලක තිබියදීයි.
කෙසේ නමුත් මෙම ගිනි අවි සොරා ගැනීමට එම පොලිසියේම නිලධාරීන් කණ්‌ඩායමක් සම්බන්ධ බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු අනාවරණය කරගෙන ඇති බවට වාර්තා වෙනවා.
ඒ අනුව පොලිස් සැරයන්වරයකු සහ කොස්‌තාපල්වරයකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ භාරයට ගෙන ඊයේ (17 වැනිදා) සවස් වනවිටත් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් තිබුණු බවයි එම වාර්තාවන්ගේ වැඩි දුරටත් දැක්වෙන්නේ.
පසුගිය 14 වැනිදා අලුයම පොලිස් ස්‌ථානයේ අවි ගබඩාවේ තිබූ ටී 56 ගිනි අවියක් සහ රිවෝල්වර 05 ක් සොරා ගෙන තිබූ අතර ඒවා සොයා මෙහෙයුම් දියත් කිරීමත් සමඟ එම ගිනි අවි සියල්ලම වැල්ලේවෙල, සඳගල විහාරස්‌ථාන භූමියේ ජල ටැංකියක් අසල දමා තිබියදී 16 වැනිදා හමුවී තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කණ්‌ඩායම් පරීක්‍ෂණ ආරම්භ කිරීමත් සමඟ සොරාගත් ගිනි අවි විහාරස්‌ථාන භූමියේ දමා යන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලදී ලග්ගල පොලිස් ස්‌ථානය තුළ නීත්‍යනුකූල නොවන ආකාරයෙන් රාජකාරී කළ පිරිසක් සිට ඇති බවට තොරතුරු ලැබී ඇත. ඒ අයට එරෙහිව වැඩ බලන පොලිස් ස්‌ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන අයෙක් කටයුතු කර ඇතැයිද හෙළිකරගෙන ඇති බවට වාර්තා වේ.