කළුබෝවිල ශික්ෂණ රෝහලේදී අලුත උපන් නිවුන් බිළිදුන් දෙදෙනෙකු මියයාමේ සිදුවීමක් සම්බන්ධයෙන් මව්පියන් රෝහල් පාලනාධිකාරියට චෝදනා කරනවා.
කෙසේ වෙතත්, එම රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සාගරිකා කිරිවන්දෙණිය කියා සිටියේ එම බිළිඳුන් මියයාම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය දැනුවත් කර ඇති අතර, අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක්ද සිදුකිරීමට නියමිත බවයි.
කැස්බෑව - හෝන්නත්තර ප්‍රදේශයේ පදිංචි අකිලා බොනිෆස් දරු ප්‍රසූතිය සදහා පසුගිය 08 වැනිදා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර පසුගිය 09 වනදා නිවුන් දරුවන් ප්‍රසුත කර තිබුණා.
අනතුරුව අඩු බරින් යුක්ත වීම හේතුවෙන් බිළිඳුන් දෙදෙනා නොමේරු ළදරු ඒකකයට ඇතුලත් කර ඇති අතර ඉන් දින 10කට පසු පසුගිය 18 වනදා පිරිමි දරුවා මියගොස් තිබෙනවා.
බිළිඳාගේ මරණය විෂබීජයක් ශරිරගතවීමක් හේතුවෙන් බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබුණද පසුව අනාවරණය වී ඇත්තේ ශ්වසන අපසුතාවයක් හේතුවෙන් පිරිමි දරුවා මියගොස් ඇති බවයි.
අනතුරුව ඊයේ උදෑසන අනෙක් බිළිඳිය බැලීම සඳහා නොමේරු ළදරු ඒකකය වෙත ගිය මවට දැනගන්නට ලැබී ඇත්තේ එම බිළිඳියද මියගොස් ඇති බවයි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් මියගිය බිළිඳුන්ගේ ඥාතීන් විසින් කළුබෝවිල රෝහල් පාලනාධිකාරිය වෙත සහ කොහුවල පොලිස් ස්ථානයට පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා. මෙම මරණ සිදුවුයේ රෝහල් කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල හේතුවෙන් බවයි දෙමව්පියන් චෝදනා කරන්නේ.