මෙරට සිදුවන වෙඩි තැබීම් සහ මිනිස් ඝාතන බොහොමයක් සිදුවන්නේ විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මෙහෙයවීම මතය.
මෙම අපරාධකරුවන් බොහොමයක්ම රැඳී සිටින්නේ ඩුබායි රාජ්‍යයේය. එරට සිට සිය ගෝලබාලයන් යොදාගෙන මෙරට මෙහෙය වූ මිනිස් ඝාතන රැසක්ම පසුගිය සති කිහිපය තුළ දිවයිනේ නන් දෙසින් වාර්තා විය.
මෙහි ආසන්නම සිදුවීම ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ වාර්තා වූයේ අවිස්සාවේල්ල පොලිස් වසමෙනි. ඒ නාඳුනන තුවක්කුකරුවන් විසින් පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කිරීමය. මේ සම්බන්ධයෙන් විමර්ශන ඇරඹූ නිලධාරීන් මේ වනවිට අනාවරණය කරගෙන ඇත්තේ එම ද්විත්ව ඝාතනයද මෙහෙයවා ඇත්තේ ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින සංවිධානාත්මක අපරාධකරුවකු විසින් බවය.
ඉකුත් 20 වැනිදා රාත්‍රි කාලයේ අවිස්සාවේල්ල පොලිස් වසමේ ඉහළ තල්දූව ගුරුපස්ගොඩ වංගුව අසලදී ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි පුද්ගලයන් සිවුදෙනකුට නාඳුනන තුවක්කුකරුවන් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කරන ලදී.
වෙඩි තැබීමත් සමඟ ත්‍රිරෝද රිය පාලනය කර ගත නොහැකිව පෙරළීගොස් බැම්මක වැදී නතර වූ අතර තුවක්කුකරුවෝ යළි එහි සිටි පුද්ගලයන්ට වෙඩි තබා ඔවුන් පැමිණි යතුරුපැදියෙන්ම පලායන්නට වූහ. ත්‍රීවීලරය පෙරළීයෑමත් සමඟ වෙඩි වැදුණු පුද්ගලයකු මළගෙදර සිටි හිතවතකුට දුරකථනයෙන් කතා කොට මේ බව දන්වා ඇති අතර පසුව එහි සිටි පිරිසක් පැමිණ වෙඩි වැදුණු සිවුදෙනා රෝහල්ගත කර තිබේ.
අවිස්සාවේල්ල, තල්දුව ප්‍රදේශයේ අවමංගල්‍ය ගෙදරකට සහභාගි වී නැවත කෑගල්ල දෙසට යමින් සිටියදී මොවුන් වෙඩි ප්‍රහාරයට ලක්වී තිබිණි. ඝාතකයා මෙම වෙඩි ප්‍රහාරය සඳහා ටී පනස්හය වර්ගයේ ගිනි අවියක් උපයෝගි කරගෙන තිබූ අතර වෙඩි ප්‍රහාරය සඳහා උණ්ඩ 20කට අධික ප්‍රමාණයක් පාවිච්චි කර තිබිණි. ත්‍රිරෝද රථයට වෙඩි ප්‍රහාර 10ක් පමණ එල්ල වී තිබූ අතර මේ නිසා අවිස්සාවේල්ල – කෑගල්ල මාර්ගය ඉහළ තල්දූව ප්‍රදේශයෙන් පැය 4ක කාලයක් වසා දැමිණි. සිද්ධිය වූ ස්ථානයට පැමිණි අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් ජනක ප්‍රසන්න සමරසිංහ මහතා විසින් මහෙස්ත්‍රාත් පරීක්ෂණ සිදුකරන ලදී.
වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයන් දෙදෙනකු රෝහලට ඇතුළු කරන විටත් මරණයට පත්ව සිටි අතර තවත් දෙදෙනකු තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කරන ලදී. වෙඩි ප්‍රහාරයෙන් මරුමුවට පත්වූයේ තල්දූව පරණ දුම්රියපොළ පාරේ පදිංචි කොට්ටාල බද්ද විදානලාගේ ධනුෂ්ක ප්‍රේමලාල් (38) සහ තල්දූව දංගල්ල පාරේ පදිංචි මේන ගීගනගේ ඉසංක චානක මධුෂාන් (27) නමැත්තන්ය. තුවාල ලත් දෙදෙනාගෙන් එක් අයකුගේ තත්ත්වය බරපතළ විය. අනෙකාගේ පාදයට වෙඩි වැදී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹුණේ සීතාවක කොට්ඨාසය භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි චන්දන ජයසිරි කොඩිතුවක්කු මහතාගේ උපදෙස් මතය. සිද්ධියට සම්බන්ධ විමර්ශන සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක්ම යෙදවුණු අතර මූලික විමර්ශනයේදී අනාවරණය වූයේ මෙම වෙඩි තැබීම ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන මන්නා රමේෂ් නමැත්තා විසින් මෙහෙයවා ඇති බවකි.
එමෙන්ම මෙම වෙඩි ප්‍රහාරයේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ අවන්ත නමැති පුද්ගලයකු බවටද නිලධාරීන් හෙළි කරගෙන තිබිණ. මෙම ප්‍රහාරය මීට මාස හය හතකට පෙර සිදුවූ කිසියම් පහරදීමකට එල්ල වූ ප්‍රතිප්‍රහාරයක් බවද නිලධාරීන්ගේ සැකය වී තිබේ. වෙඩි ප්‍රහාරයට ගොදුරු වූ අවන්ත නමැත්තා මීට පෙරද නාඳුනන තුවක්කුකරුවන්ගේ වෙඩි ප්‍රහාරයකට ගොදුරු වූ අතර එදාද ඔහුගේ ජීවිතය බේරී ගියේ අනූනවයෙනි. මෙවරද ඔහු ඉලක්ක කර වෙඩි ප්‍රහාරය එල්ල වුවද මෙවරද ඔහුගේ පාදයකට වෙඩි වැදීම නිසා ඔහුට ජීවිතය බේරාගැනීමට හැකි වී තිබේ. මීට පෙර සිදුවූ පහරදීමකදී ඊට එරෙහිව අවන්ත මහ හඬක් නැඟීමද මෙම වෙඩි තැබීමට එක් හේතුවකි. මන්නා රමේෂ් මිනිස් ඝාතනය සහ අපරාධ රැසකට චෝදනා ලැබ සිටින පුද්ගලයෙකි. ඔහු මේ වනවිට සිටින්නේ ඩුබායි රාජ්‍යයේ බව පොලිසිය කියයි.
මීට මාස හතකට පමණ පෙර මන්නා රමේෂ් මෙරට රැඳී සිටියදී කිසියම් පිරිසක් සමඟ ඇති වූ ගැටුමකදී ඔහුට සහ ඔහුගේ වැඩිමහල් සොහොයුරාට පහරදීමක් සිදුකර තිබූ අතර එම පහර කෑමෙන් රමේෂ්ගේ සොහොයුරා තවමත් සිටින්නේ දැඩි අසාධ්‍ය තත්ත්වයෙනි. මෙය රමේෂ්ට ඉහිලුම් නොදෙන්නක් වූ අතර සොහොයුරාට එලෙස පහර දුන් පිරිසගෙන් පළිගැනීමට මන්නා රමේෂ් තීරණය කළේ කොයි මොහොතේ හෝ පහරදුන් පිරිසට ඊට රිටර්න් එක ලබාදීමේ එකම අරමුණකිනි.
සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලිසිය විමර්ශන ඇරඹුවද එම විමර්ශන පිළිබඳ මන්නා රමේෂ් කිසිදු සෑහීමකට පත් නොවීය. ඒ අතරතුර මන්නා රමේෂ්ගෙන් වැඩිමහල් සොහොයුරාට පහරදුන් පිරිසට මරණීය තර්ජනද එල්ල වී තිබිණි.
“මගේ අයියට ගහපු හැම එකාගෙන්ම මම පළිගන්නවා. උන්ට පරිස්සමින් ඉන්න කියපන්…”මන්නා රමේෂ් එලෙස තර්ජනය කිරීමත් සමඟ සොහොයුරාට පහරදුන් පිරිස කිසියම් බියකින් පසු වූ අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ අවිස්සාවේල්ල පොලිසියට අල්ලාගත හැකි වූයේ පහරදීමට පැමිණි පුද්ගලයන් තිදෙනකු පමණි.
පහරදීම සඳහා පුද්ගලයන් 12 දෙනකු සහභාගි වුවද, අවිස්සාවේල්ල පොලිසියේ අත්අඩංගුවට ගැනීම පිළිබඳ මන්නා රමේෂ් කිසිදු පැහැදීමට පත් නොවෙද්දී පහරදීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන පැට්ටා නමැත්තකු ඇහැලියගොඩ පොලිසියෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.
කෙසේ වෙතත් සොහොයුරාට පහරදුන් කණ්ඩායමේ ප්‍රධාන සැකකරු සමඟ දැඩි වෛරයකින් පසු වූ මන්නා රමේෂ් පොලිසියෙන් සාධාරණයක් නොවන බව තේරුම්ගෙන පොලිසිය කෙරෙහි ඇති කරගත් කලකිරීම මත අයියාට පහරදුන් පිරිසගෙන් පළිගැනීම අරඹමින් නාඳුනන තුවක්කුකරුවන් යොදා මුල්ම පළිගැනීම තල්දූව ප්‍රදේශයේදී සිදුකරන ලදී.
ඉකුත් මැයි මස 26 වැනිදා අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේ පිහිටි සමන්දේව ප්‍රතිමාව අසල පෙට්ටි කඩයක තේ කෝප්පයක් පානය කරමින් සිටි පුද්ගලයකු ඉලක්ක කර යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් විසින් මෙම ප්‍රහාරය එල්ල කරන ලදී.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබුවේ අවන්ත නමැති අයෙකි. වෙඩි ප්‍රහාරය ඔහුගේ දකුණු අතට එල්ල වූ අතර පසුව වෙඩි කාගෙන දිව යන්නට විය. ඒ සමඟම ඔහු ඉලක්ක කොට තවත් වෙඩි කිහිපයක් එල්ල වූ අතර එම වෙඩිල්ල ඒ අසල සවිකර තිබූ පුවරුවකට වැදිණ. මේ නිසා අවන්තට සිය ජීවිතය බේරාගැනීමට හැකිවිය.
පසුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹූ අතර එවකට අවිස්සාවේල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපතිව සිටි උප පරීක්ෂක මෙන්ඩිස් ඇතුළු කණ්ඩායමට එම වෙඩි ප්‍රහාරය මන්නා රමේෂ් නමැත්තා විසින් මෙහෙය වූ බව අනාවරණය කර ගත හැකිවිණ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ තැනැත්තා මන්නා රමේෂ්ගේ වැඩිමහල් සොහොයුරාට පහරදීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන පැට්ටාගේ සොහොයුරෙකි.
ඒ වනවිට “පැට්ටා” නමැත්තා රක්ෂිත බන්ධනාගාරගතව ඇප මත පැමිණ තිබූ අතර විමර්ශන නිලධාරීන් සැක කළේ පැට්ටා යැයි සැක කර ඔහුගේ සොහොයුරා වූ අවන්තට වෙඩි තබන්නට ඇති බවකි. එමෙන්ම අවන්තද සිය සොහොයුරාට පහරදීමේ සිද්ධියට පැමිණ ඇති බවට සැකයක්ද මන්නා රමේෂ් තුළ තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අපරාධ විමර්ශන අංශය සීසීටීවී කැමරා නිරීක්ෂණය කරමින් තුවක්කුකරුවන් හඳුනාගැනීමට දැඩි වෙහෙසක් ගත් අතර එම නිරීක්ෂණයේදී වෙඩි ප්‍රහාරයෙන් පසු තුවක්කුකරුවන් පැමිණි යතුරුපැදිය අමිතිරිගල පැත්තට පලායන අයුරු නිරීක්ෂණය වී තිබේ.
ඒ ඔස්සේ කරන ලද සාර්ථක ප්‍රතිඵලයකට අනුව ගයාන් නමැත්තකු අත්අඩංගුවට ගැනුණු අතර එහිදී අනාවරණය වූයේ, මන්නා රමේෂ් ගයාන් නමැත්තාට දුන් උපදෙස් අනුව යතුරුපැදියක් සහ හිස්වැසුම් දෙකක් රැගෙන ගොස් උඩුකනුගල කැලෑවේ සැඟවීමට ගයාන් කටයුතු කර ඇති බවය. පසුව යළි මන්නා රමේෂ් විසින් “දේවා” නමැත්තකුට දෙන ලද උපදෙස් මත උඩකනුගලට යන ඔහු සඟවා තිබූ යතුරුපැදිය සහ හිස්වැසුම් රැගෙන ගුරුගල්ල ප්‍රදේශයට ගොස් තිබේ. ඉන් අනතුරුව ගුරුගල්ලෙන් තුවක්කුකරු නංවා ගන්නා දේවා මන්නා රමේෂ්ගේ උපදෙස්වලට අනුව තල්දූව සමන්දේව ප්‍රතිමාව අසල තේ කඩය ආසන්නට ගොස් වෙඩි තැබීම සිදුකර තිබේ.
පසුව රමේෂ්ගේ උපදෙස් අනුව තුවක්කුකරු, ගුරුගල්ලෙන් බස්වන දේවා යතුරුපැදිය සහ හිස්වැසුම උඩකනුගල කැලෑවේ සඟවා පිටව ගොස් තිබිණි.
ඒ ඔස්සේ කරන ලද විමර්ශනයෙන් පසු ගයාන් නමැත්තා පොලිස් අත්අඩංගුවට පත්වන්නේ වෙඩි ප්‍රහාරයට යතුරුපැදිය පැදවූ හේතුවෙනි. පසුව කරන ලද ප්‍රශ්න කිරීමේදී වෙඩික්කරු මත්ද්‍රව්‍ය සමඟ නිට්ටඹුව පොලිසියට කොටු වී බන්ධනාගාරගතව සිටින බව විමර්ශන නිලධාරීන් අනාවරණය කර ගත් අතර පසුව නිලධාරීන් බන්ධනාගාරයට ගොස් ඔහුගෙන් ප්‍රකාශයක්ද ලබාගෙන තිබිණ. කෙසේ වෙතත් ඇප මත නිදහස්ව පැමිණි එම තවක්කුකරු මේ වන විට සිටින්නේ නිදැල්ලේ බව පොලිසිය කියයි.
මන්නා රමේෂ් ඉන්පසුව ඩුබායි රාජ්‍යය බලා පලාගිය අතර එරට සිට ඔහු සිය සොහොයුරාට පහරදුන් පිරිසගෙන් පළිගැනීම අරඹා තිබේ. අවිස්සාවේල්ල ගුරුපස්ගොඩ වංගුවේදී ත්‍රිරෝද රථයේ ගමන් ගත් පුද්ගලයන් ඉලක්කකොට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වන්නේ එම පළිගැනීමේ තවත් පියවරක් ලෙසිනි.
මෙහිදී අවන්ත සහ දිමුතු යන දෙදෙනා තුවාල ලබන අතර ධනුෂ්ක සහ ඉසංකට දිවි අහිමි විණි.
කෙසේ වෙතත් විමර්ශන පවත්වන නිලධාරීන් පවසන්නේ අවිස්සාවේල්ල ද්විත්ව ඝාතනය සඳහා යතුරුපැදිය පැදවූ පුද්ගලයා මේ වනවිට හඳුනාගෙන ඇති බවකි. මන්නා රමේෂ්ගේ සමීපතමයකු වන මොහු කලක් බන්ධනාගාරගතව සිට මීට සති කිහිපයකට පෙර පැමිණ ඇති බව හෙළි වී තිබේ.
කෙසේ වෙතත් මන්නා රමේෂ්ගේ සොහොයුරා මේ වනවිටත් දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් සිය සොහොයුරිකගේ නිවෙසේ ප්‍රතිකාර ලබමින් සිටින බවද වාර්තා වේ. මේ නිසා තමාට සහ සිය සොහොයුරාට එල්ල කළ එම ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාගෙන් පළිගැනීමේ චේතනාව මන්නා රමේෂ්ගෙන් තවමත් ඉවත් වී නැති බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
සබරගමුව පළාත් භාර ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න සහ කෑගල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත සීතාවක කොට්ඨාස භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි චන්දන ජයසිරි කොඩිතුවක්කු මහතාගේ මෙහෙයවීමෙන් තුවක්කුකරුවන් සොයා පොලිස් කණ්ඩායමේ කිහිපයක් සහ විශේෂ කාර්ය බළකා කණ්ඩායමක්ද විමර්ශන පවත්වති.
කීර්ති මෙන්ඩිස්