මරාච්හි අරාබි සහ ප්‍රංශ ගුරුවරියක වන නස්රීන් අබු එල්ෆඩෙල්, මැග්නිටියුඩ් 6.8ක භූ කම්පනයෙන් පසු සුන්බුන් අතර සිරවී සිටි තම සිසු සිසුවියන් සොයා මොරොක්කෝවේ හයි ඇට්ලස් කඳුකරයේ ඇඩසීල් ගම්මානයට දිව ගියාය.
ඇයට මේ භූ කම්පනය ගැන පුවත සැලවුණේ ඇය සිය මව සමඟ වීදියක රැය පහන් කරමින් සිටින මොහොතකයි. ඇයට එක්වරම සිහි වුණේ තමන් ඉගැන්වීම් සිදු කරන ඇඩසීල් මධ්‍ය විදුහලේ තම පන්තියේ සිසු සිසුවියන් 32 දොනායි. ඇය ඔවුනට අම්මා කෙනෙක් වුණාය.
"මට මේ දැනුත් මැවිලා පේනවා මම මගේ පන්තියේ පැමිණීමේ ලේඛනය අතේ තියා ගෙන හැම දරුවකුගෙම නම කිය කියා නම් ලකුණු කරපු හැටි, නම් 32ක ම ඉවර වෙනකම්. ඒත් ඒ එක දරුවෙක් වත් දැන් ජීවතුන් අතර නැහැ." නස්රීන් ගුරුතුමියගේ ඇස් බොර පාට වෙලා. මුහුණ මැලවිලා. කම්මුල් දෙපැත්තෙන් කඳුළු වැගිරෙනවා.
මොරොක්කෝව මෙතෙක් වාර්තා වූ ප්‍රබලතම භූ කම්පනයට ගොදුරු වුණේ සැප්තැම්බර් 8 වන දායි. ඉන් පුද්ගලයන් 3,000කට පමණ තමන්ගේ ජීවිත අහිමි වුණා. තවත් දහස් ගණනක් අතුරුදන් වුණා. මේක ලෝකයේ වාර්තා වුණ මාරාන්තිකම භූ කම්පනය බවට පත් වුණේ ක්ෂණයකින්.
මේ භූ කම්පනයෙන් දරුණුතම බලපෑමක් ඇති වුණේ මරාච් සිට දකුණු දෙසින් පිහිටා ඇති ප්‍රදේශවලට සහ කඳුකර ගම්මාන බොහොමයකට. ඒවා සම්පූර්ණයෙන්ම විනාශයට පත් වුණා.
"මම ගමට ගිහින් මගේ දරුවන් ගැන අහන්න පටන් ගත්තා: කෝ සොමායා? කෝ යූසුෆ්? කෝ ....? කෝ .....? කියලා. පැය ගාණකට පස්සේමට ලැබුණු උත්තරය තමයි 'ඒ හැමෝම මාව දාලා ගිහින්.'" කියලා. එහෙම කියපු නස්රින් ආයෙමත් අත් දෙක අහසට දිගු කරගෙන වැලපෙන්නට පටන් ගත්තා.
නස්රීන් කිව්වේ භූමිකම්පාවට කලින් පන්ති කාමරයේදී ඇය ඔවුන්ව දැක්කෙ "දේවදූතයන්" ලෙස බවයි. "අනේ! මගේ දේවදූතයෝ ටික.. අද මං විතරයි. ඔවුන් හැමෝම මාව දාලා ගිහින්.නස්රීන් විසින් සොයා ගන්නා ලද එක් සිසුවියක වූවාය.. ගලවා ගැනීමේ නිලධාරීන් විසින් සොයා ගත් ඇය 6 හැවිරිදි කදීජාය. ඇය තම සොහොයුරා වූ මොහොමඩ් සහ සහෝදරියන් දෙදෙනා වන මෙනා හා හනාන් අසල ඔවුන්ගේ ඇඳ මත වැතිර සිටියා ය. භූ කම්පනය අතරතුර බොහෝ දුරට ඔවුන් නින්දේ සිටින්නට ඇත. ඔවුන් සියල්ලම ඉගෙනුම ලැබුවේ නස්රීන්ගේ විදුහලේය.
"කදීජා තමයි මම කැමතිම ශිෂ්‍යාව වුණේ. ඇය හරිම ප්‍රියමනාපයි. දක්ෂයි වගේම ක්‍රියාශීලියි. එයා හරි කැමතියි සින්දු කියන්න. ඇය නිතරම මගේ ගෙදර පවා ආවා ගියා. මම හරි කැමැත්තෙන් පාඩම් වැඩ කරන ගමන් ඇයත් එක්ක කතාබහ කළේ."නස්රීන් තම සිසු සිසුවියන් පිළිබඳව සිහිපත් කළේ, දරු දුක දරා ගත නොහැකි මවක සේයි. ආර්ථික අපහසුතාව සහ ජීවන වියදම් අර්බුදය සමග පොරබදමින් සිටිය ද, දරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සිතුවේ "ලොව ඇති වැදගත්ම දෙය නම්" පාසල් යාම බවයි.
"අපි අන්තිමටම හමු වුණේ සිකුරාදා රෑ. එදා තමයි අපේ අවසාන පන්තිය පැවැත්වුණේ, භූමිකම්පාව ඇති වෙන්න හරියටම පැය පහකට කලින්," නස්රීන් ඒ බියකරු රාත්‍රිය ගැන සිහිපත් කළා.
"අපි මොරොක්කෝවේ ජාතිය ගීය ඉගෙන ගනිමින් හිටියේ. අපි සූදානමින් හිටියේ සඳුදා ඉස්කෝලේ ඉස්සරහ ඒක ගායනා කරන්න."ගුරුතුමිය සන්සුන් වෙන්න උත්සාහ කළත් ඇය පසුවන්නේ කම්පනයෙන්' ඇගේ සිසුන්ට සහ ඇගේ පාසලට සිදු වූ දේ ඇයට තවමත් අදහා ගත නොහැකියි.
"මම නිදා ගන්නේ නැහැ. මට නින්ද යන්නේ නැහැ. මිනිස්සු මාව සලකන්නේ වාසනාවන්තියක් විදියට. ඒ මම විතරක් ජීවත් වෙන නිසා. ඒත් මම දන්නේ නෑ ජීවිතේ කොහොම ද ඉස්සරහට යන්නේ කියලා."ඇය තම පාසලේ දරුවන්ගේ දක්ෂතා අගය කරන්නත් අමතක කළේ නැහැ. "අරාබි සහ ප්‍රංශ භාෂා ඉගෙන ගන්න එක හරිම අමාරුයි. ඒත් මේ දරුවෝ හරිම දක්ෂයි. ඔවුන් ඒ භාෂා දෙකම චතුර ලෙස කතා කළා." ඇයගේ ඇස්වල ආයෙමත් කඳුළු.
නස්රීන්ගේ බලාපොරොත්තුව වන්නේ භූ කම්පනයෙන් කඩා වැටුණු ඇඩසීල්හි පාසල නැවත ගොඩනඟනු ඇතැයි කියායි.
"සමහර විට දවසක ඔවුන් පාසල නැවත ගොඩනඟලා අධ්‍යාපන කටයුතු ආරම්භ කළාට පස්සේ, අපිට ඒ දරුවන් 32 දෙනා සිහිපත් කරලා එයාලගේ කතාව කියන්න පුළුවන්," නස්රීන් පැවසුවේ ඇස්වල බලාපොරොත්තුසහගත සිතිවිල්ලකින්.