සිළුමිණ පුවත්පතට සහ මාධ්‍යවේදී ෆවුස් මොහොමඩ්ට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කොළඹ දිසා අධිකරණයෙන් ලබාගෙන තිබූ වාරණ නියෝගය ඉවත් කිරීමට කොළඹ දිසා විනිසුරුවරයා කටයුතු කර තිබෙනවා.
සිළුමිණ පුවත්පතට මාධ්‍යවේදී ෆවුස් මොහොමඩ් ලියන ලද ලිපි 02ක් සම්බන්ධව අදාළ වාරණ නියෝගය ලබාගෙන තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සහ උපසභාපති රවීන් වික්‍රමරත්න යය අය විසිනුයි.
අදාළ ලිපි සත්‍ය කරුණු මත පදනම්ව පළ කළ බව ප්‍රකාශ කරමින් කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන එම වාරණ නියෝගය ඉවත් කළ අතර, ක්‍රිකට් ආයතනය ඉල්ලා තිබූ අතුරු තහනම් නියෝගය නිකුත් කිරීමද ප්‍රතික්ෂේප කළා.
පැමිණිලිකරුවන්ගේ සහ විත්තිකරුවන්ගේ පැමිණිල්ලේ කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා, වාරණය විසුරුවා හැරීමට සහ අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළේ පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැති විස්සයි20 ක්‍රිකට් තරගාවලිය අතරතුර සිදු වූ බව කියන මුදල් අවභාවිතය සහ අක්‍රමිකතා ගැන සෙවීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පත් කළ කුසලා සරෝජනී කමිටු වාර්තාවද සැලකිල්ලට ගනිමින්.
මාධ්‍යවේදී ෆවුස් මොහොමඩ් පළ කර ඇති ලිපියට පදනම් වී ඇත්තේ එසේ නීත්යානුකූලව පත් කළ කුසලා සරෝජනී කමිටු වාර්තාවේ විමර්ශනයකට අදාළ තොරතුරු බව දිසා විනිසුරුවරයා එහිදී පවසා සිටියා.
මීට අදාළ නඩු විභාගය ලබන නොවැම්බර් මස 09 වැනිදා කැඳවීමට නියමිතයි.
එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වාරණ නියෝගයක් ලබාගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් වන නඩුව හෙට (08) කැඳවීමට නියමිතයි.