අධ්‍යාපන කටයුතුවලදී විශ්වවිද්‍යාල සිසුන්ට එල්ල වන දැඩි පීඩනය පිළිබඳව ආචාර්ය, මහාචාර්යවරු වැඩි සැලකිල්ලක් දැක්විය යුතුව ඇතැයි මහනුවර ජාතික රෝහලේ හිටපු මනෝ වෛද්‍ය විශේෂඥ ඩබ්ලිව්.ඒ.එල්. වික්‍රමසිංහ පවසයි.
පවතින සමාජ වටපිටාව තුළ සියලු දෙනා කිසියම් ආතති මට්ටමක සිටින බවත් ඒ මතට අලුතින් තවත් පීඩාවක් පැමිණියහොත් යම් පුද්ගලයෙකු සියදිවි නසා ගැනීමට පවා පෙළඹිය හැකි බවත් වෛද්‍යවරයා මාධ්‍යයට පවසනවා.
අඛණ්ඩව පැය හත අටක් මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය ලැබීමේදී ඇතැම් සිසුන් දැඩි පීඩාවකට පත්වන බවත් මේ නිසා පවතින ආතති තත්ත්වය තවත් ඉහළ යා හැකි බවත් හෙතෙම අවධාරණය කළා.
අධික වෙහෙස තුළින් ඇති වන පීඩනය නිසා මනස රෝගී වූ විශ්වවිද්‍යාල සිසුන් ප්‍රතිකාර ලබා ගැනීමට යොමුවීමේ ප්‍රවණතාව මේ වන විට ඉහළ ගොස් තිබෙන බව ද වෛද්‍යවරයා කියා සිටියා.
මනෝ උපදේශන සේවා විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක වන බවත් පවතින තත්ත්වය තේරුම් ගෙන එය වඩාත් විධිමත් කිරීමට වගකිය යුතු අංශ පියවර ගත යුතුව තිබෙන බවත් පැවැසූ වික්‍රමසිංහ මහතා සිසුන් සෑම විටම තමන් පීඩාවිඳින ප්‍රශ්න විශ්වාසවන්ත මෙන් ම අවබෝධයක් ඇති අයෙකුට පවසා මනස ලිහිල් කරගත යුතුව ඇතැයි ද පැවසුවා.
සමාජය තුළ මේ වන විට ඇතිවී තිබෙන අර්බුද හමුවේ සියලු ජනතාව කිසියම් හෝ ආතති තත්ත්වයකින් පෙළෙන බවත් එය මේසයක් මත සිටින පුද්ගල කණ්ඩායමකට සමාන කළ හැකි බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කළා.
පොළොවේ සිටින පුද්ගලයෙකුට වඩා මේසය මත සිටින පුද්ගලයා වහලයට ළඟ බවත් ආතතිය වැඩි වීමට හේතු වූ කාරණයක් නිසා ඉහළට පැන්නොත් පොළොවේ සිටින පුද්ගලයාට වඩා ඉක්මනින් මේසය මත සිටින පුද්ගලයාගේ හිස වහලයේ වදින බවත් කී වෛද්‍යවරයා වත්මන් සමාජය පවතින අවදානම ඉන් තේරුම් ගත හැකි බව ද අවධාරණය කළා.
පසුගිය කෙටි කාලයක් තුළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු මහවැලි ගංගාවට පැන සියදිවි හානි කර ගැනීම මෙවන් මානසික පීඩන තත්ත්වයේ උපරිම අවස්ථාවක් බවත් මෙම සිසුන් දෙදෙනාම මානසික ආතතිය හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර පවා ලබාගත් අයවලුන් බව පරීක්ෂණවලින් එළි වූ බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.