මහනුවර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 9 ක දරුවෙකු පැහැර ගෙන දුම්රියක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු මහරගම පොලීසිය මගින් ඊයේ (04) අත්අඩංගුවට ගත්තා.
අදාළ දරුවා බේරා ගැනීමට හැකිවූයේ හිරු සී.අයි.ඒ කණ්ඩායම සහ දුම්රිය මගීන් පිරිසක් පොලීසියට කළ දැනුම්දීම මතයි.
කොළඹ කොටුවේ සිට අවිස්සාවේල්ල බලා ඊයේ රාත්‍රී 8 ට පිටත් වූ දුම්රියට සැකකාර පුද්ගලයා පැමිණ සිටියේ අවුරුදු 9 ක පමණ පිරිමි දරුවෙකු සමගින්.
එම දරුවා දිගින් දිගටම අදාළ පුද්ගලයා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අදාළ දුම්රියේ සිටි හිරු සී.අයි.ඒ කණ්ඩායම සහ දුම්රිය මගීන් සැකකාර පුද්ගලයාගෙන් ඒ පිළිබඳ ප්‍රශ්න කළා.
එහිදී සැකකරු ප්‍රකාශ කළේ දරුවාගේ මව මෙම දරුවා තමන්ට භාර දුන් අතර ඔහු නැවත මවට භාරදීම සඳහා දුම්රියෙන් රැගෙන යන බවයි.
කෙසේ වෙතත්, ප්‍රශ්න කිරීම් හමුවේ නුගේගොඩ දුම්රිය ස්ථානයේ දුම්රිය නතර කළ අවස්ථාවේ දී මෙම සැකකරු දරුවා දමා පලා යාමටයි කටයුතු කළේ.
එහිදී දුම්රියේ සිටි හිරු මාධ්‍යවේදීන් හා දුම්රිය මගීන් පොලිස් හදිසි ඇමතුම් අංශයට කළ දැනුම්දීම අනුව මහරගම දුම්රිය ස්ථානය වෙත මහරගම පොලීසියේ නිලධාරින් පැමිණ සැකකරු අත්අඩංගුවට ගෙන දරුවා පොලීසිය වෙත රැගෙන ගියා.
පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ අදාළ දරුවා මහනුවර - මයිලපිටිය ප්‍රදේයේ පදිංචි බවයි.
ඔහු දෙමාපියන් සමග මහනුවර ශ්‍රී දළදා පෙරහර බැලීමට පැමිණි අවස්ථාවේදී අදාළ පුද්ගලයා විසින් දරුවාව ආහාර පැකට්ටුවක් දෙන බව රවටා දෙමාපියන්ගෙන් දරුවා මගහැර කොළඹ ප්‍රදේශයට රැගෙන ආ බවයි විමර්ශනවල දී හෙළි වී ඇත්තේ.
අදාළ සැකකරු වයස අවුරුදු 30 ක් පේරාදෙණියේ පදිංචිකරුවෙක්.
පොලිස් ප්‍රශ්න කිරීම් වලදී සැකකරු පවසා ඇත්තේ පෙරහරේ වෙස් නැටුම් සඳහා ඇදුම් රැගෙන ඒමට කොළඹට පැමිණි බවයි.
මේ අතර අදාළ දරුවා අතුරුදන්ව ඇති බවට පුවත්පත්වල ද වාර්තා කර තිබුණා.
පොලිස් දැනුම්දීම මත අද පෙරවරුවේ දරුවාගේ දෙමව්පියන් මහරගම පොලිස් ස්ථානය වෙත පැමිණියා.
මේ අතර, අපරාධකරුවන් විසින් මෙවැනි ආකාරයට විවිධ අරමුණු සදහා ළමයින් රවටා රැගෙන යාමේ පුවත් වාර්තා වන බැවින් මහජනයා වැඩි වශයෙන් ගැවසෙන උත්සව අවස්ථාවන් හෝ පොදු ස්ථානවල දී දරුවන් පිළිබඳ වැඩි අවධානයෙන් සිටින ලෙසට පොලීසිය, දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරනවා.
පොලිස් මූලස්ථානය වැඩිදුරටත් දැනුම් දෙන්නේ දරුවන්ට ද තම ආරක්ෂාව තහවුරු කර ගැනීම පිළිබඳව දෙමාපියන් විසින් තම දරුවන්ව පූර්ව දැනුවත් කිරීමක් සිදුකළ යුතු බවයි.