සුනඛයෙකු දඩයම් කිරීමට පැමිණි කඳුකර කොටියෙකු නිවසක වහලයක් කඩා වැටීමෙන් එම නිවසේ කාමරයක සිරවී සිටියදී බේරාගෙන තිබෙනවා.
මෙම කොටියා ලිඳුල ප්‍රදේශයේ අදාළ නිවසේ වහලය කඩා වැටීමෙන් කාමරය තුල සිරවී ඇත්තේ ඊයේ 04 රාත්‍රී 10.40ට පමණයි.
කොටියා සුනඛයෙකු ලුහුබැඳ පැමිණ වතු නිවාසයක වහලය මතට පැන ඇති අතර එහිදී වහලය කඩාගෙන නිවසේ නිදන කාමරයකට වැටී තිබෙනවා.
මෙම ශබ්දය නායයාමක් හේතුවෙන් ඇතිවූ ශබ්දයක් බව සිතා නිවෙස් හිමියන් කලබලයට පත්වී නිවසින් එළියට දිවගොස් ඇතැයි සඳහන්.
පසුව යළිත් නිවෙස් හිමියා ඇතුලු වී සිදු කළ සොයා බැලිමේදී කොටියා ඔහුගේ සිරුරට පැන ඇති අතර ඔහු ඉන් මිදී යළිත් නිවසින් පිටතට දිවගොස් තිබෙනවා.
ඊයේ රාත්‍රී 10.40ට පමණ තමා රූපවාහිනිය නරඹමින් සිටියදී විදුලිය විසන්ධි වූ අතර එම අවස්ථාවේ අයහපත් කාලගුණික තත්ත්වයක් ද පැවති බව නිවෙස් හිමියා ප්‍රකාශ කළා.
අනතුරුව එක්වරම විශාල ශබ්දයක් ඇසුණු අතර පසුව ගොස් සොයා බැලීමේදී කොටියා තමාගේ ගෙල දෙසට පනිනු ලැබූ බවයි ඔහු ප්‍රකාශකර ඇත්තේ.
පසුව එළියට දිවගොස් නිවසේ දොර වසා අසල්වාසීන් කැඳවා තිබෙනවා.
නිවස තුල පැය 16ක පමණ කාලයක් කොටුවී සිටි කඳුකර කොටියා රන්දෙණිගල පශූ වෛද්‍ය රෝහලේ වෛද්‍යවරුන් පැමිණ දැරි පරිශ්‍රමයක් දරා නිර්වින්දනය කර ආරක්ෂිත කූඩුවක දමා රැගෙන ගිය බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
වතු යායේ සැරිසරන කඳුකර කොටින් රාත්‍රී කාලයේ ගොදුරු සොයා වතු නිවාසවලට පැමිණෙන අතර එලෙස පැමිණි සත්වයෙකු මෙලෙස අනතුරට පත්ව ඇතැයි විශ්වාස කෙරෙනවා.
නිර්වින්දනය කර අල්ලා ගත් කොටියා සුදුසු පරිසරයකට මුදා හැරීමට කටයුතු කරන බවයි වනජීවී කාර්යාල නිලධාරීන් කියාසිටියේ.