එළඹෙන ජූලි මස 25 වැනි දින දිවයිනේ සියලුම රජයේ සහ රජයේ අනුමත පාසල් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.
ඒ අනුව ජූලි මස 19 වන දිනැති නිවේදනය ප්‍රකාරව පලාත් අධ්‍යාපන ලේකම්වරුන්, අධ්යක්ෂවරුන් ආදි නිලධාරින්ට ලබා දී ඇති උපදෙස් පරිදි පාසල් පරිපාලනය සිදු කළ යුතුයි.
එමෙන්ම පාසල් පැවැත්වෙන්නේ සතියේ දින තුනක් වන අතර, ඒ සඳුදා, අඟහරුවාදා හා බ්‍රහස්පතින්දා දින තුනේදියි.
සෙසු දින දෙකෙහි නිවාසගත අධ්‍යයනයට දරුවන් යොමුකළ යුතු වනවා.
මේ අතර පාසල් ළමයින් ප්‍රවාහනය කරන බස් හා වෑන් රථ සඳහා අද (23) පස්වරු 3 සිට දිවයින පුරා පිහිටි සියලු ලංගම ඩිපෝ මගින් ඉන්ධන සපයා ගැනීමට අවස්ථාව සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රවාහන අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ ඉන්ධන ගැටලුව සහ එහි ඉදිරි පියවර පිළිබඳ අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.
අධ්‍යාපන, ධීවර, සංචාරක, කෘෂිකාර්මික කටයුතු සහ පොදු ප්‍රවාහන සේවයේ යෙදෙන පෞද්ගලික හා රජයේ බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන බෙදා හැරීම විධිමත් හා කඩිනම් කිරීම පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කර තිබෙනවා.
දිවයින පුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු කඩිනම් සහ විධිමත් කරන ලෙස ජනාධිපතිවරයා එහිදී අදාළ පාර්ශ්වයින්ට උපදෙස් ලබා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.