පාර්ලිමේන්තුව අද (16) පෙරවරු 10 ට රැස්වනවා.
එහිදී කථානායකවරයා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉවත්වීම සහ එම තනතුර පුරප්පාඩුව පවතින බව පාර්ලිමේන්තුවට දැනුම්දීමට නියමිතයි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ එම ධුරය සඳහා නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම ලබන 20 වනදා සිදු කෙරෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කළා..
1981 අංක 2 දරණ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ විශේෂ විධිවිධාන පනතේ 4 වන වගන්තිය ප්‍රකාරව අද රැස්වන පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සියලු මන්ත්‍රීවරුන්ට පැමිණෙන ලෙසයි කතානායකවරයා දැනුම් දුන්නේ.
ඒ අනුව, ලබන 19 වනදා පාර්ලිමේන්තු සැසිවාරයේදී නාම යෝජනා කැඳවීමෙන් පසු 20 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී රහස් ඡන්දයකින් මන්ත්‍රීවරයෙකු ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගැනීමට නියමිතයි.
මෙලෙස පාර්ලිමේන්තුව තුලින් ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සිදුවන්නේ මෙරට ඉතිහාසයේ දෙවන වතාවටයි.
ව්‍යවස්ථානුකූලව වැඩ බලන ජනාධිපතිවරයා ලෙසට නව ජනාධිපතිවරයෙකු පත් කරගන්නා තෙක් ඊයේ දිනයේ දී අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ දී වැඩබලන ජනපති ලෙසින් දිවුරුම් දුන්නා.
නව ජනාධිපතිවරයා ලෙසින් තරග වැදීමට මේ වනවිට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ද ඉදිරිපත් වන බව දැනුම්දී තිබෙනවා.
මේ අතර අද සිට පාර්ලිමේන්තුවේ මෙම විශේෂ අවස්ථාව සඳහා පැමිණෙන සියලුම මන්ත්‍රීවරුන්ට කිසිදු කරදරයකින්, බාධාවකින් තොරව පැමිණීමට උද්ඝෝෂණ නොකර, සාමකාමීව අවස්ථාව ලබාදෙන ලෙසට ද කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් ඊයේ දිනයේ දී සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් ද සිදු කරනු ලැබුවා.
එමෙන්ම පාර්ලිමේන්තුව අවට අද ආරක්ෂාව දැඩි කිරීමටයි පියවර ගෙන ඇත්තේ.