වෙත්තලයිකර්නි ගම්මානය පිහිටා ඇත්තේ කිලිනොච්චි පොලිස් කොට්ඨාසයට අනුයුක්තවය.
මෙම ගම්මානය ඇතුළු තවත් ගම්මාන රැසකම බොහෝදෙනා සිය දිවි ගැට ගසා ගනුයේ ධීවර රස්සාවෙන්ය. ඊට ප්‍රධානතම හේතුව වන්නේ වසමේ වැඩි කොටසක් මුහුදු තීරය ආශ්‍රිතව ජීවත් වීමය.
සාමකාමී ලෙස කිසියම් මුදලක් උපයා ගෙන ජීවිතය ගැට ගසා ගන්නා මොවුන් කිසියම් ආරවුලක්, ගැටලුවක් ඇති වූ විට එය විස¼දා ගැනීමට යන්නේ පලෙයි පොලිසිය වෙතටය. ඒ සඳහා වෙත්තලයිකර්නි වැසියන්ට කිලෝමීටර් 13ක් පමණ දුරක් යායුතුය. එමෙන්ම පලෙයි පොලිසියේ නිලධාරීන්ද මෙම ගම්මානවල වැසියන්ගේ ප්‍රශ්නයක් විසඳීම සඳහා කිලෝමීටර් පහළොවක්-විස්සක් පමණ දුරක් පැමිණිය යුතුය. මෙය ඉතා වෙහෙසකාරීය.
මෙවන් හේතූන් මෙන්ම පරිපාලනමය පහසුව තකා ඉකුත් වසරේ උතුරේ මෙවන් ප්‍රදේශ රැසක නව පොලිස් ස්ථාන ස්ථාපිත කරනු ලැබීය. මරදන්කර්නිද එලෙස අලුතින් පිහිටුවනු ලැබූ පොලිසියකි. පලෙයි පොලිසිය යටතේ තිබූ වෙත්තලයිකර්නි ගම්මානය එදා පටන් අයත් වූයේ මරදන්කර්නී පොලිසියටය.
මරදන්කර්නි පොලිසියට වෙත්තලයිකර්නි ගම්මානය මෙන් තවත් වසම් 10ක් අයත්ය. මෙහි එක් කෙළවරක් ධර්මපුරම්වලට මායිම් වන අතර අනෙක් කෙළවර මායිම් වන්නේ පේදුරුතුඩුවටය.
ඉකුත් වසරේ අප්‍රේල් මස ඇරැඹි මරදන්කර්නි පොලිසියට ස්ථිර ස්ථානාධිපතිවරයකු පත්වී ආවේ එම වසරේම ජුනි 12 වැනිදාය. ගොඩකවෙල, ලග්ගල සහ පොතුහැර ආදී ප්‍රදේශවල ඕ.අයි.සී. තනතුරු දැරූ ඔහුට මරදන්කර්නි පොලිසියේ රාජකාරිය අමුතුම අත්දැකීමක් ගෙන දුන්නේය.
ධීවරයන්ගෙන් පිරි පොලිස් වසම්වල කරක් ගැසූ ස්ථානාධිපතිවරයාට වැටහුණේ තම වසමේ ජීවත් වන ද්‍රවිඩ වැසියන් කලකෝලාහලවලට යොමු නොවූ එදා වේල ගැටගසා ගන්නට උත්සාහ දරන පිරිසක් බවය. අපරාධ වාර්තා වීමක් දක්නටම නැත. සිය වසමේ ජීවත් වන පිරිස් සමඟ සුහදව කතාබස් කරමින් ඔවුන්ගේ හිත දිනාගත් ස්ථානාධිපතිවරයාට අවශ්‍ය වූයේ පොලිසිය සහ ධීවර වැසියන් සමඟ කිසියම් ඇයි හොඳයියක් ඇතිකර ගැනීමය. එය කෙමෙන් කෙමෙන් සාර්ථක විය.
මේ පළාත්වල බොහෝ පිරිස් පොලිසියට එතරම් කැමැත්තක් දක්වන්නේ නැත. ඒ ඇතැම් පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් නිසාය. මේ නිසා මහජනයා පොලිසියෙන් අෑත්වීම නිරන්තරයෙන් සිදුවිය. මෙවන් හේතූන් නිසා මහජන තොරතුරු පොලිසියට නොලැබී ගියේය. ඒ බව වටහා ගෙන සිටි මරදන්කර්නි පොලිස් ස්ථානාධිපතිවරයා සිය වසමේ ද්‍රවිඩ ජනතාවගේ ගැටලුවලට ඇහුම්කන් දෙමින් ඔවුනට සමීපව රාජකාරි කළේය. මෙවන් හේතූන් නිසා වසම් තුළ කිසියම් අපරාධයක්, අකටයුත්තක් වුවහොත් මරදන්කර්නි ඕ.අයි.සී.ට ඒ බව දැනුම්දීමට ගම්වාසීහු යුහුසුලු වූහ.
ඒ ඉකුත් 10 වැනිදාය. වේලාව සවස පහයි තිහද පසු වී තිබිණි. මරදන්කර්නි පොලිසියේ ස්ථානාධිපතිවරයා වෙත ලැබුණු දුරකථන ඇමතුමකි.
“සර්, වෙත්තලයිකර්නිවල ඉන්න සිවදාසන්ව ගහලා මරලා ඊට එහා පැත්තේ වැලි ඉඩමේ වළ දාලාලු…”
දුරකථන ඇමතුම දුන් පුද්ගලයා කීවේය. වහා ක්‍රියාත්මක වූ ස්ථානාධිපති අමරසිංහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ද සමඟ වෙත්තලයිකර්නි ගම්මානයට ගියහ.
මරදන්කර්නි සිට වෙත්තලයිකර්නිවලට දුර කිලෝමීටර් 11කි. අදාළ නිවෙසට ඇතුළු වූ නිලධාරීන් දුටුවේ එම නිවෙසේ කාන්තාවක් සහ දරු දෙදෙනකු පමණක් සිටින බවය. පොලිසියට ලැබුණු මහජන තොරතුර වූයේ එම කාන්තාවගේ සැමියා මරා වළ දමා ඇති බවකි.
ඒ බව නොකියා ස්ථානාධිපතිවරයා ඇගෙන් ප්‍රශ්න කරන්නට විය.
“කෝ තමන්ගේ මහත්තයා…”ඇය නිරුත්තරය.
“තමන්ගේ නම මොකක්ද?”
“ශෂිකලා”
“ඊයේ ගෙදර මොනවාහරි ප්‍රශ්නයක් වුණාද?”ඇය අසරණව නිලධාරීන්ගේ මුහුණු දෙස බැලුවාය.
“මොකක්ද වුණේ…? ඇත්ත කියන්න”මොහොතකින් ඇය කටහඬ අවදි කළාය.
“ඊයේ මගේ මහත්තයයි මගේ මල්ලියි රණ්ඩුවක් වුණා මගේ මල්ලි මගේ මහත්තයට පොරොවකින් ගැහැව්වා. ඒත් එක්කම මට සිහිය නැති වුණා”
“ඉන්පස්සේ…”
“මට සිහිය එනකොට පාන්දර හතරට විතර ඇති. මම සාලයට ගිහින් බැලුවා මහත්තයා හිටියෙත් නැහැ, මල්ලි පේන්න හිටියෙත් නැහැ”
“ඉන්පස්සේ”
“එච්චරයි සර්, මම දන්නේ නැහැ. වෙන මුකුත් මම දන්නේ නැහැ. මට සිහිය නැතිවෙලානේ හිටියේ…”
“අපිට ලැබුණු ඉන්ෆොමේෂන් එක හරි. මොකක් හරි දෙයක් මෙතැන වෙලා තියෙනවා… කෝකටත් අර කියපු විධියට එහා පැත්තේ ඉඩමට ගිහින් බලමු”
ස්ථානාධිපතිවරයා අපරාධ විමර්ශන අංශය භාර නිලධාරීන්ට කීවේය. ඒ අනුව ශෂිකලාගේ නිවෙසට මීටර් 60ක පමණ දුරකින් ඇති වැලි සහිත පාළු ඉඩම නිලධාරීන්ගේ සෝදිසියට ලක්විය. පෙරදා ඇදහැලුණු ධාරානිපාත වරුසාව නිසා වැලි පොළොව තෙත බරිත වී තිබිණි.
ටිකෙන් ටික සෝදිසි කරමින් යද්දි ඉඩමේ කෙළවරක වැලි ඒ මේ අත පෙරළී තිබිණි. එය නිලධාරීන්ගේ සැකයට හේත විය.
“මෙතැන අලුතින් වැලි දාලා තද කරලා වගේ නේද?”
ස්ථානාධිපතිවරයා කීම සෙසු නිලධාරීන්ද අනුමත කළේය. තවදුරටත් කළ නිරීක්ෂණයේදී එම වැලි පොළොව යට වළ දමා ඇත්තේ පොලිසියට හෝඩුවාව ලබාදුන් සිවදාසන්ගේ සිරුර වන්නට ඇතැයි නිලධාරීහු විශ්වාස කළහ. ඒ අනුව මේ බව කිලිනොච්චි මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමටද නිලධාරීහු පියවර ගත්හ.
පැය කිහිපයකට පසු කිලිනොච්චි මහෙස්ත්‍රාත් ස්මයිල් ජෙමිල් මහතා සහ කිලිනොච්චි රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාද වැලි ඉඩම වෙත පැමිණියහ. ඒ වනවිට අවට පිරිස්ද සිද්ධිය දැකබලා ගැනීමේ අරමුණෙන් ඒ අසලට එක්රොක් වී සිටියහ. ස්ථානාධිපතිවරයා ඇතුළු අපරාධ විමර්ශන නිලධාරීන්ද යුහුසුලුව මහෙස්ත්‍රාත් පරීක්ෂණයට සහාය දුන්හ. මහෙස්ත්‍රාත්වරයාගේ නියමය පරිදි වැලි පොළොවේ සැක සහිත ස්ථානය හාරන්නට විය. කෙමෙන් කෙමෙන් වැලි ඉවත් වෙද්දි පුද්ගල මළසිරුරක් ඉස්මතුවිය.
“සර් මේ මගේ මහත්තයා සර්…”ශෂිකලා හැඬු කඳුළෙන් විලාප දුන්නාය. දරු දෙදෙනාද ඒ අවට පදිංචිකරුවෝද තුෂ්ණීම්භූතව සිද්ධිය දෙස බලා සිටියහ.
මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්කි විමසීමද ඇරැඹුණි. ඒ අතරේ ස්ථානාධිපතිවරයාගේ උකුසු ඇස යොමු වූයේ ශෂිකලා වෙතය.
“මල්ලි මහත්තයට පොරොවෙන් ගහලා ඇදගෙන යනවා මම දැක්කනේ”
ඇය කිසිවකුට ඒ බව කියන අයුරු ස්ථානාධිපතිවරයාට ඇසුණේය. ඔහු වහා ඇය ගැන විමසිලිමත් වූයේ ඇයට නොදැනෙන්නටය.
“මේ ගෑනි ඔය වගක් මුලින් කීවේ නැහැනේ. ඉස්සෙල්ලා කිව්වේ මල්ලි ගහනවා දැකලා එයාට සිහිය නැති වුණා කියලනේ. එහෙනම් මෙයා මේ සේරම දන්නවා. අපිට කිව්වේ ලොකු බොරුවක්”
ස්ථානාධිපතිවරයාට වැටහෙන්නට විය. මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය අවසන්වීමෙන් පසු මරා දැමුණු සිවදාසන්ගේ සිරුර පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා යොමු කෙරිණි. එම පරීක්‍ෂණයේදී අනාවරණය වූයේ සිවදාසන්ට පොරෝපහරට අමතරව පිහිපහරද එල්ල කර ඇති බවය.
ඒ අතරතුරදී ස්ථානාධිපතිවරයා සිවදාසන්ගේ බිරිය යළි පොලිසියට කැඳවා තදින් ප්‍රශ්න කරන්නට විය.
“ඇත්ත කියන්න. නැත්නම් තමුනුත් අමාරුවේ වැටෙයි. තමුන් දැක්කා නේද මල්ලි තමන්ගේ මහත්තයාට පොරොවෙන් ගහලා ඇදගෙන යනවා.”
ස්ථානාධිපතිවරයා ඇගෙන් එලෙස ප්‍රශ්න කරද්දී ඒ වගක් නොදන්නා බව කීමට ඇය අපොහොසත් වූවාය. අවසානයේදී ඇය ටිකෙන් ටික සිද්ධිය වමාරන්නට වූවාය.
සිවඥානම් සිවදාසන් 42 හැවිරිදිය. දෙදරු පියෙකි. වසර ගණනාවකට පෙර පැවැති යුද සමයේදී මොහු එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශයේ කර්නල්වරයකු ලෙසද රැකියාව කළ අයෙක් බව පොලිසිය කියයි. යුද්ධය නිමාවීමත් සමඟ පුනරුත්ථාපනයට පත්වූ සිවදාසන් වෙත්තලයිකර්නි පදිංචි ශෂිකලා සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් පසුව ඇය හා විවාහ විය. ඉන් පසුව ඔහු මේසන් බාස් කෙනකු ලෙස රැකියාව කරමින් දරු පවුල නඩත්තු කළේය.
ශෂිකලාගේ සොහොයුරකු වූ කනකරාජ් ජීවත් වූයේ ඇගේ නිවෙසට මීටර් 100ක් පමණ දුරකිනි. කනකරාජ්ද එක්දරු පියෙක් වන අතර ඔහු විවාහව සිටියේ කිලිනොච්චියේ පදිංචි තරුණියක් සමඟය. මේ වන විට දෙදෙනා වෙන්ව සිටියත් මෑතක සිට ඔවුන් දෙදෙනා අතර යළි නොයෙකුත් ගැටුම් ඇතිවිය. මේ බව සිවදාසන් මෙන්ම ඔහුගේ බිරිය ශෂිකලාද දැන සිටියහ. කනකරාජ් මල්ලිගේ ආරවුල නිසා සිවදාසන් හා ශෂිකලා අඹු සැමියෝද රණ්ඩු සරුවල් ඇති කර ගත්හ. ඊට හේතුව ලෙස කිලිනොච්චියේ සිටින කනකරාජ්ගේ බිරිය සමඟ ශෂිකලාගේ සැමියා අනියම් සම්බන්ධයක් පැවැත්වීම මෙම ඝාතනයට හේතුව බව විමර්ශනයේදී හෙළි වී තිබිණි.
“මේ ළඟදීත් උඹේ මිනිහා අපේ ගෑනිගේ ගෙදර ගිහින් දවස් දෙක තුනක් ඉඳලා ඇවිත් තියෙනවා.”
කනකරාජ් මේ බව කියමින් මස්සිනා සමඟ දබර ඇති කර ගෙන තිබිණ. මෙය ශෂිකලාටද මහත් ගැටලුවක් විය. මේ නිසා ශෂිකලාද සැමියා සමඟ නිතර ගැටුම් ඇතිකර ගත්හ.
ඒ ඉකුත් 9 වැනිදාය. සිවදාසන් සිය නිවෙසේ බිරිය සහ දරු දෙදෙනා සමඟ විය. කනකරාජ් කිහිප වතාවක්ම පැමිණ සිවදාසන් සමඟ දබර කර ගත්තේය. මෙය ශෂිකලාටද මහත් හිසරදයක් ගෙන දුන්නාය. එක පැත්තකින් සැමියාය. අනෙක් පැත්තෙන් සොහොයුරාය. ඇය ඒ නිසා දැඩි අසරණතාවට පත්වූවාය. රාත්‍රි නවයට පමණ කනකරාජ් යළි නිවෙසට පැමිණ සිවදාසන්ට බැනවැදී යන්නට ගියේය. ඒ නිසා එදා රාත්‍රිය සිවදාසන් ගත කළේ සාලයේය. පැදුරක් බිම දමා ඔහු නින්දට ගියේය. ඊට නුදුරින් වැලි පොළව මත ශෂිකලාත් දරු දෙදෙනාත් නින්දට වැටී සිටියහ.
වේලාව අලුයම දෙකට පමණ ඇත. “දඩාස්” යන හ¾ඩින් ශෂිකලා තිගැස්සී පිබිදුණාය. ඇස් දෙකෙන් කරකවා සැමියා නිදාසිටින දෙස බැලුවාය. ඇගේ දෙනෙත් ඉදිරියේ සිටින්නේ කනකරාජ්ය. ඔහු අත පොරොවක් විය. ඉන් පහර දෙකතුනක් සැමියාට එල්ල කරන අයුරුද ඇය දුටුවාය. ඇය බියෙන් තිගැස්සී ගියාය.
ඉන් පස්සේ මේ කාන්තාව දැකලා තියෙනවා කනකරාජ් එයාගේ සැමියාව කුස්සිය පැත්තෙන් ඇදගෙන යනවා.
පස්සේ මේ කාන්තාව මල්ලි කනකරාජ්ට කියලා තියෙනවා “ඇයි උඹ ඔය වගේ වැඩක් කළේ. අපි එයාව ඉස්පිරිතාලේට ගෙනියමු කියලා.”
එතකොට කනකරාජ් කිව්වලු “එයා ඉස්පිරිතාලෙට ගෙනියල වැඩක් නැහැ. එයා මැරුණා. මමයි චන්නයි ගිහින් මිනිය වැළලුවා. උඹ මේක කාටවත් කියන්නේ නැහැ. පොලිසියට කිව්වොත් මම උඹවත් මරලා මාත් මැරෙනවා දැනගනින් කියලා.”
විමර්ශන සම්බන්ධයෙන් කළ විමසීමේදී කනකරාජ් තමාට එසේ කී බවත් තමා මරා දමතැයි යන බිය නිසා සිද්ධිය කිසිවකුට නොපැවසූ බවත් ඇය පොලිස් නිලධාරීන් ඉදිරියේ පැවැසූ බව පොලිස් ස්ථානාධිපති අමරසිංහ මහතා පැවැසීය. ඒ අනුව දෙවැනි වරටත් ඇගේ ප්‍රකාශයක් දීර්ඝව සටහන් කර ගත් බව ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයාට මෙන්ම කොට්ඨාස භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි සහ උතුර දිශාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාත් දැනුවත් කරන්නට පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කළ අතර ඔවුන්ගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි අසාර් මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ නිරීක්‍ෂණයේ යෙදුණේය.
සිවදාසන්ගේ බිරියගේ ප්‍රකාශය මත පොලිසිය ඊළඟට හැරුණේ ඇගේ සොහොයුරු කනකරාජ් වෙතය. පොලිස් කණ්ඩායමක් කනකරාජ් සොයා ඔහු සිටි නිවෙස සහ ඔහු ගැවසෙන ස්ථාන සොයා කඩා පනින්නට වූහ. පොලිසියෙන් විසුමක් නැති බව දත් කනකරාජ් අවසානයේ මරදන්කර්නි පොලිසියට භාර වී තමන් සිය අක්කාගේ සැමියා මරා වළ දැමූ හේතුව පවසා සිටියේය.
එමෙන්ම වළ දැමීම සඳහා සහාය දුන් මිතුරා ගැනද පොලිසියට කීමට ඔහු උත්සුක විය.
කනකරාජ්ගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු සිවදාසන් ඝාතනයට උපයෝගී කරගත් පොරොව, මරාදැමුණු සිවදාන්ගේ නිවෙසේ මිදුලට විසිකර තිබියදී සොකො නිලධාරීන් විසින් සොයාගත්තේය. එය නඩු භාණ්ඩයක් ලෙස පොලිසිය සිය භාරයට ගත්තේය.
මස්සිනා මරා වළ දැමූ කනකරාජ් සිපිරිගෙට පියමන් කරද්දී සැමියාත් සොහොයුරාත් අහිමි වූ ශෂිකලා සිය දරු දෙදෙනාද තුරුලු කරගෙන නිලධාරීන් ඉදිරියේ හඬා වැලපෙන්නට වූවාය.
කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර කනකරාජ් ලබන 25 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
“මේ ප්‍රදේශවල ජීවත්වන්නේ අහිංසක දෙමළ දරු පවුල්. ඔවුන් කාලයක් යුද්ධයෙන් බැටකාලා ඉන්නේ. පොලිසිය, හමුදාව කෙරෙහි ඔවුන්ගේ සුබවාදී ආකල්ප නැහැ. ඒත් පොලිසිය වශයෙන් මහජනයා හමුවට ගිහින් ඔවුන්ගේ ප්‍රශ්න දිහා සාධාරණව බලලා ඒවාට විසඳුම් දෙන්න ඕන. එතකොට තමයි එයාලගෙත් පොලිසිය කෙරෙහි විශ්වාසය තියෙන්නේ.
ඒ තත්ත්වය මරදන්කර්නි කියන පොලිස් වසමේ තියෙනවා. ඒ නිසා තමයි අපරාධයක් සිදුවූ සැණින් අපිට තොරතුරක් ලැබුණේ. ඒ තොරතුර ලැබුණේ නැත්නම් මේ ඝාතනයත් අබිරහසක් වෙලා සදාකාලිකවම පොළොවට යටවෙලා යනවා. ඒ තොරතුර නිසා අපරාධය සොයා ගන්නත් ඊට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගන්නත් අපිට හැකි වුණා. තව පුද්ගලයෙක් අල්ලන්න තියෙනවා. මිනිහා ගමෙන් පැනලා ඉන්නේ.”
මරදන්කර්නි පොලිස් ස්ථානාධිපතිවරයා අවධාරණය කළේය.
කීර්ති මෙන්ඩිස්