පවතින තත්ත්වය යටතේ තවත් දින දෙක හමාරක් යන තුරු විදුලිය කප්පාදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ සපුගස්කන්ද බලාගාරය හා කැළණිතිස්ස බලාගාරය සඳහා දැවි තෙල් සහ ඩීසල් ලැබීම හේතුවෙන් විදුලිය කප්පාදු කිරීමේ අවශ්‍යතාවක් මේ මොහොතේ නොමැති බවයි.
කෙසේ වෙතත් බරපතළ ඉන්ධන අර්බුදයකට මුහුණ දී තිබෙන ලංකා විදුලිබල මණ්ඩලයට තවත් සති දෙකක කාලයක් සඳහා ඩීසල් සහ දැවිතෙල් ලබාදීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.
මේ අතර ඉන්ධන නොමැති වීම හේතුවෙන් මතුවිය හැකි විදුලි අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ (24) රාත්‍රියේ පැවති කැබිනට් රැස්වීමේදී සාකච්ජා කර තිබෙනවා.
එහිදී ජනාධිපතිවරයා විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේට උපදෙස් ලබා දී ඇත්තේ විදුලිය කැපීම නතර කරන ලෙසටයි.
කෙසේ වෙතත්, මාළඹේ, පානදුර, හෝමාගම, මහරගම ආදී ප්‍රදේශවලින් ඊයේ පස්වරු 6.40 සිට විදුලිය බිඳ වැටීම් වාර්තා වුණා.
විදුලිය කප්පාදුවක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම අද සිය නිර්දේශය ඉදිරිපත් කිරීමට ද නියමිතයි.
ඒ පිළිබදව තීරණයකට එළඹෙන්නේ විද්‍යාත්මක සංසන්ධනයක් හරහා පමණක් බවයි එම කොමිසම අවධාරණය කළේ.
අවශ්‍ය වුවහොත් අදියර 4ක් යටතේ විදුලි කප්පාදුවකට අවසර ලබාදෙන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ එම කොමිසමෙන් ඉල්ලා තිබුණා.
කෙසේ වෙතත්, දේශපාලන අධිකාරිය ලබාදී ඇති සහන හමුවේ විදුලි කප්පාදුවකට යාමේ අවශ්‍යතාවක් මතුවේ යැයි අපේක්ෂා නොකරන බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ.