සමාජය කියන මහා සංස්කෘතිය, උප සංස්කෘති ගණනාවක එකතුවක්. බහුතරයක් මිනිස්සු ඉතා කුඩා උප සංස්කෘතියකට හෝ කිහිපයකට අයත්ව සරළව තම තමන්ගේ ජීවිත කාලය ගෙවා දමනවා.
ඒ අතරතුර තවත් සමහරු උප සංස්කෘති ගණනාවකට මාරු වෙමින් විවිධ උප සංස්කෘති ඇසුරු කරමින් සංකීර්ණ හෝ බොහෝ පිපිරුම් සහිත ජීවිත ගත කරනවා.
මේ උප සංස්කෘති කියන විෂය හරියට අයිස් බර්ග් වගේ. මතුපිටින් පෙනෙන තරමට වඩා සැඟවුණු කොටස විශාලයි. ඒ තුළ යාත්‍රා කිරීම ඉතාම රසවත් සංචාරයක්. මෙතැන් පටන් සබ්මැරීනය මගෙන්...!
සමාජ ශාලා උපසංස්කෘතියේ පළමු දිග හැරුම
ඇය මගේ මිතුරියන්ගේ ලැයිස්තුවේ ඉන්න තරම් ලාබාල යුවතියක් නෙමෙයි. ජීවිතේ අවධි ගණනාවක් පසු කරපු මැදිවියේ කාන්තාවක්. ඒත් ඇය තාමත් තරුණයි. පෙනුමෙන් හැඩයෙන් සමේ වර්ණයෙන් පවා තවමත් ඇය යුවතියක්.
ඇය කියන වචනය අතිශය පොදු එකක් නිසා මම මනඃකල්පිත නමක් පාවිච්චි කරන්නම්. නදීෂා. නදීෂා කියලා කියන්නේ පිළිවෙලින් වයස අවුරුදු 24ක පුතෙක් සහ කුඩා දියණියන් දෙදෙනෙකුගේ මවක්.
ඇය ඇයගේ පළමු ප්‍රේමයෙන් වෙන් වෙන්නේ දායාදය ලෙස බිළිඳෙකුත් සමග. නදීෂා කොළඹට එන්නේ ලෝක අපවාදයෙන් හැංගිලා ජීවිතය අලුතින් පටන් ගන්න හොඳම තැන කොළඹ කියලා ඇය විශ්වාස කරපු නිසා.
"ඒත් මං හිතපු තරම් කොළඹ ජීවත් වෙන එක ලේසිවත් සරළවත් නිදහස්වත් නෑ. මේක හරියට දිව්‍යලෝකෙයි අපායයි වෙන් කරන දේශ සීමාව වගේ. මම සැරින් සැරේ දෙපැත්තටම වැටුණා."
නදීෂා එයාගෙ කතාව පටන් ගත්තේ එහෙම.
"හැඩට ඉන්න ගෑනියෙකුට මෙහෙ ලේසියෙන්ම හොයාගන්න පුළුවන් රස්සාව තමයි ක්ලබ් රස්සාව. මම මෙහෙට ආපු කාලෙ එහෙමයි. ඒත් හම්බෙන දෙයක් නෑ. ඔක්කොම අයිතිකාරයෝ හූරගෙන කනවා. කන්න අඳින්න හරි තියෙනවනෙ කියලා මම හිත හදාගත්තා."
නදීෂා මුල්ම කාලෙ රස්සාවට ඇවිත් තිබුණෙ තමන්ගෙ කුඩා කොටස නවාතැනේ යෙහෙළියක් ගාව නිදි කරවලා.
"කාලයක් යද්දි මට තේරුණා මේක හැමදාම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා. ගොඩ යෑමක් නෑ. බීපු මිනිස්සු අපේ කරට මල් මාල දැම්මට ඇත්ත ජීවිතේදි ඒවා රෑ දැකපු හීන විතරයි. මම ඒක තේරුම් ගත්තෙ දෙවෙනි වතාවටත් කසාදයක් නැතුව අම්මා කෙනෙක් වුණාට පස්සේ... මම ක්ලබ් එකෙන් අයින් වුණා."
ගොඩ ආ යුතු වැටුණු වලෙන්මයි කියන කතාව ඇය අදහපු සත්‍යක්. සමහරවිට මිනිස්සුන්ට තමන් ජීවත් වන කුඩා පරාසයෙන් එහාට වෙනත් ලෝකයක් පෙන්නෙ නෑ. ඒ නිසාම ඔවුන් වෙනත් මාර්ග උත්සාහ කරන්නෙ නෑ.
"ඊටපස්සෙ මම කළේ ක්ලබ් යන සල්ලි තියෙන මිනිහෙක්ව හොයාගත්තු එක. ඒ මිනිහාට බොරු ආදරයක් පෙන්නලා මම ඒ මාර්ගෙන් එයාගෙ යාලුවෝ ගොඩක් අඳුනගත්තා. ඊටපස්සෙ මට කිසිම වියදමක් නැතුව සල්ලි තියෙන ගෑනියෙක් වගේ ක්ලබ් එකට ගිහින් කන්න බොන්න පුළුවන් වුණා. ඒ කාලෙ මට රස්සාවක් තිබුණේ නෑ. මම කළේ ඇතුළට ගිහින් මිනිස්සු අඳුනගත්තු එක."
සමාජ ශාලා ඇතුළෙ පිටතින් එන ගැහැනුන්ට ඉපැයීම් කරන්න බැහැ. ඒක සදාචාර සම්පන්න නැහැ. නීතියක් නැතත් උප සංස්කෘතිය විසින් ඒවා නියාමනය වෙනවා.
"ඒත් මට ප්‍රශ්නයක් වුණේ නෑ. මොකද මම හැමදාම ගියේ පෙම්වතෙක් කියලා පෙනී හිටින කෙනෙක් එක්ක."
හැම ව්‍යාපාරයක්ම එහෙමයි. ලාබ ලබන්නෙ හාම්පුත්තු. ව්‍යාපාරය ගොඩ නංවන්නෙත් පවත්වගෙන යන්නෙත් දියුණු කරන්නෙත් ඒ වගේම පාඩු ලබන්නෙත් සේවකයෝ.
"එහෙම අඳුනගත්තු මිනිස්සු එක්ක මට එක එක විදියෙ සම්බන්ධතා තිබුණා. මම කළේ ඒවා පාවිච්චි කරලා තව එක එක විදියෙ අල්ලස් දීලා ඒ මිනිස්සුන්ගෙ බිස්නස් අස්සට රිංගපු එක. මටම කියලා තැනක් හදාගන්න මහන්සි වුණු එක."
"ඔයා අල්ලස් කියලා අදහස් කරන්නෙ මොන වගේ දේවල්ද...?"
මට පැහැදිලි උත්තර ඕන වුණා.
"ගෑනුන්ට දෙන්න තියෙන්නෙ එක අල්ලසයි... ඒ තමන්වමයි... අපිව ප්‍රශ්න කරන සදාචාරෙ අපිට කන්න අඳින්න දෙන්නෙ නැහැනෙ. මම හිතුවෙ එහෙමයි."
සාර්ථකත්වය මනින්න මිනුම් දඬු නැති නිසා ඇයව විනිශ්චය කරන්න බැහැ. ඒත් ඇය මේ වෙනකොට තනිවම ව්‍යාපාර ගණනාවක් කලමනාකාරණය කරනවා. යහමින් මිල මුදල් අතපත ගානවා. හොඳ වාහනයක්, ලස්සන ගෙයක් එක්ක සුඛෝපභෝගී ජීවිතයක් ගෙවනවා. ඒ වගේම දරුවන්ට හොඳ අධ්‍යාපනයක්...
"අදටත් කවුරුහරි මගෙන් ජොබ් එක මොකද්ද කියලා ඇහුවම මම කියන්නෙ බිස්නස් කියලා තමයි. ඒත් ඇත්තටම කරන්නෙ මොනවද කියලා දන්නෙ මම. මිනිස්සු හිතන්නෙ සල්ලි වැඩිකමට ක්ලබ් ගිහින් නාස්ති කරනවා කියලා. ඒත් මම මේ හැමදේම හම්බකරගත්තෙ එතනින්. තාමත් එහෙමයි."
ඇය තවමත් අවිවාහකයි කියලා මම දැනගෙන හිටියා. කෙනෙක්ට වතාවක් හෝ දෙවතාවක් අත් වැරදීම් සිද්ද වෙන්න පුළුවන්. ඒත් තුන් වෙනි වතාවටත්...?
"එතකොට තුන් වෙනි බබා...?"
මම ඇහුවේ ඇයට සාධාරණ උත්තරයක් තියෙනවාද කියලා දැනගන්න.
"එයා අත් වැරදීමක් නෙමෙයි. එයා තේරීමක්. මට ඕන වුණා ඒ මනුස්සයා මම ගැන හැමදාම ඇහැ ගහගෙන ඉන්න. ඒකට තිබුණ හොඳම විකල්පය දරුවෙක් හදන එක. මම දරුවන්ට ආදරෙයි. එයාලා තමයි මට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් දෙන්නෙ. එයාලා එක්ක සතුටින් ජීවත් වෙන එක තමයි මගෙ සතුට...!"
දැන් ඇය ධනවත් ව්‍යාපාරික කාන්තාවක්. ඇයට දැන් පරණ ජීවිතය අත අරින්න පුළුවන් කම තියෙනවා. මම අන්තිමට ඇහුවේ ඒ ගැන.
"ජීව්තේ අලුත් පරණ කියලා දෙකක් නෑ දරුවෝ... තමන්ට ජීවත් වෙන්න කැමති, පහසු විදිහකට ජීවත් වෙන එකයි කරන්න තියෙන්නෙ..."
තම තමන්ගෙ සපත්තු ඇතුළෙ හැමෝම සාධාරණයි සහ නිවැරැදියි කියන එක ඇත්තක්. ඒක පොදු දහමක්.
By Sanduni Saranga