දිනය 1949 ජනවාරි 31 වැනිදාය.
වෙලාව උදය වරුවේ අඩක් ගෙවී යමින් තිබිණි. කොළොම් තොට අහස වෙනදා මෙන්ම සුපුරුදු හිරු කිරණින් උණුසුම් වෙමින් තිබිණි. කොළඹ නගර ශාලාව දෙපසට යමින් තිබූ චවලට් මෝටර් රථය යම් මධ්‍යස්ථ වේගයකින් ගමන් කරමින් තිබිණි. මෝටර් රථය තුළ පිරිස තමන් යායුතු මාර්ගය ගැන තීරණයක් නොමැතිව මෙන් හිටි හැටියේ නතර කෙරිණි. ඉදිරිපස අසුනේ පොලිස් ඇඳුමකින් සැරසී සිටි පුද්ගලයා අතෙහි වූයේ පිස්තෝලයකි.
එක්වරම සිය ස්වරූපය වෙනස් කළ පොලිස් නිලධාරියා මෝටර් රථයේ සිටි පුද්ගලයකුට තර්ජනය කර බිමට බස්සවන්නට සූදානම් වන අයුරු පැහැදිලිව පෙනුණි. ඒ මොහොතේ පොලිස් නිලධාරියාගේ හැසිරීම ගැන සැකයක් ඇතිකරගත් සෙසු පිරිස ඔහු හා ගැටුමට වැටුණේ වාහනයේ පසුපස වූ මහා මුදල් සම්භාරය ආරක්ෂා කරගැනීමේ අදහස ඇතිවය. එහෙත් පොලිස් වෙස්ගත් කොල්ලකරුවාගේ පිස්තෝලයෙන් වෙඩි උණ්ඩ කිහිපයක් නිකුත් වූයෙන් ඔහු හා සටන් වැදුණු එක් අයකුට වෙඩි වැදී තුවාල විය. තවත් අයකු ඊට බියවී පලා යද්දී වෙඩි වැදුණු පුද්ගලයා වාහනයේ ඇති මුදල් රැක ගැනීම උදෙසා මහත් පරිශ්‍රමයක් දැරුවේ වාහනයේ එල්ලී සිටිමිනි.
ඒ අතරේ වාහනය වේගයෙන් ඉදිරියට ධාවනය කෙරිණි. අවසානයේ කොළඹ මහජන පුස්තකාලය ආසන්නයේදී මෝටර් රථයේ එල්ලී සිටි අය මහා මාර්ගයේ ඇදවැටුණු අතර හාරලක්ෂයක මුදලක් රැගෙන කොල්ලකරුවන් පලාගියේ රටම භීතියට සහ කුතුහලයට පත්කරමිනි. අතරමඟදී එහි සිටි තවත් පුද්ගලයකුට පහරදී බිමට ඇද දමා කොළඹ මහ රෝහල අසලදී චවලට් රථය අතහැර දමා මුදල් සියල්ල වෙනත් වාහනයකට පටවාගෙන පලාගොස් ඇත්තේ ඉතා සූක්ෂ්ම අයුරිනි.
කොල්ලකරුවන් රැගත් වාහනයට අතරමඟදී තවත් කිහිප දෙනකු ගොඩවී ඇති අතර රථය බොහෝ දුරක් ගෙවා අනුරාධපුරය දෙසට ධාවනය කර ඇත්තේ පෙර සැලසුමකට අනුවය. එහෙත් අතරමඟදී කොල්ලකරුවන් වෙත කඩාපනින ලද මුහුණු ආවරණය කරගත් පිස්තෝලකරුවන් දෙදෙනකු කොල්ලකෑ මුදල් ඉල්ලා වාදයක් ඇතිකරගත් හෙයින් දෙපිරිස අතර ගැටුම දුරදිග ගියේය. එහිදී එක් අයකුගේ දෑත් බැඳ ගසකට තබා ගැටගසා ඔහුට මුහුණු ආවරණයක් දමා හුස්ම සිරකොට මරාදැමූ අනෙක් පිරිස පලාගොස් ඇත්තේ ජයග්‍රාහී ලීලාවෙනි.
ඒ අනුව රටම කතාකළ හාරලක්ෂයේ මංකොල්ලය ගැන විවිධ ආරංචි රට පුරා පැතිර ගියේය. එකල ඉතා ප්‍රසිද්ධ කවි කොළ පවා මේ සිදුවීම වෙනුවෙන් නිකුත් විය. ඒවා උණු කැවුම් මෙන් අලෙවි වෙද්දී රටම බලා සිටියේ ඊළඟට මොනවා වේදෝයි සැකයෙනි.
ඒ සියල්ල අතරේ ඉතා සූක්ෂ්ම අයුරින් පොලිස් පරීක්ෂණද ආරම්භ වූ බැවින් කොල්ලකරුවන් කොටුකර ගැනීමට අවශ්‍ය මුල්ම හෝඩුවාව ලැබුණේ මුදල් රැගෙන ගිය මෝටර් රථය කුලියට ගත් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් පසුවය. ඔහුගෙන් ලද තොරතුරු පසුපස යමින් ඉතා දක්ෂ ලෙස සැකකරුවන් ලුහුබැඳ යන්නට පොලිසිය කටයුතු කළ්ය. සැකකරුවන් අත්අඩංගුවට පත්වීමත් සමග මහා මංකොල්ලයේ සියලු රහස් හෙළි විය.
එකල අතිශය ජනප්‍රිය ක්‍රීඩාවක් වූ තුරඟ තරග පැවැත්වීම මහ ඉහළින් සිදුවූවකි. තුරඟ තරග සඳහා ඔට්ටු ඇල්ලීමද ජයටම සිදුකෙරුණු අතර ඊට පූර්ණ දායකත්වය සැපයුවේ සිලෝන් ටර්ෆ් ක්ලබ් ආයතනය සහ ලංකා තුරඟ තරග සමාජය විසිනි. 1949 ජනවාරි 29 වැනිදා එවැනි විශේෂ තුරඟ තරගයක් පවත්වා ඇති අතර එයින් විශාල මුදල් ප්‍රමාණයක් උපයාගැනීමටද ඉහත කී ආයතන සමත්ව තිබේ.
ඔට්ටු අල්ලනු ලැබූ මුදල් කොටස් කර කොළඹ කොටුවේ චාර්ටඩ් බැංකුවට ගෙන යෑම සඳහා මලුවල ඇසුරුම් කිරීම සාමාන්‍ය සිරිතය. එදිනද එලෙසම සිදුවූ අතර සති අන්තයේ එකතුවන මුදල් බැංකුවට ගෙන යන්නේ සඳුදාටය. එතෙක් ඒවා තැන්පත් කරන්නේ යතුරු හතරකින් විවෘත කළ හැකි සේප්පුවකය. ඉන් යතුරු දෙකක් සිලෝන් ටර්ෆ් ක්ලබ් මුදල් අයකැමි ළඟත්, අනෙක් යතුරු දෙක එහි ලේකම් භාරයේත් විය. බැංකුවට මුදල් ගෙන යනු ලබන්නේ ආම්ස්ට්‍රොන් ගරාජය මගින් එවන වාහනයකිනි. සඳුදා ගමනට සෙනසුරාදා සිටම වාහනයක් එවා තිබීම සාමාන්‍ය සිරිත විය.
මේ සියල්ල සිදුවන විදියත්, තුරඟ තරග සඳහා එකතු වන විශාල මුදල් ප්‍රමාණය ගැනත් ඉතා හොඳින් දන්නා කියන අයකු මේ මුදල් ගැන යම් කෑදරකමකින් පසුවිය. ඒ බව කිසිවකුත් දැන සිටියේද නැත. ඔහු තුරඟ තරග පිටියේ ආපන ශාලාව පවත්වාගෙන ගිය තැනැත්තාය.
කෙසේ හෝ මේ මුදල් සම්භාරය කොල්ලකෑවොත් තමාට ජීවිත කාලයටම ඇතැයි යන්න සිහින දුටු හෙතෙම කාලයක් පුරා ඉතා සූක්ෂ්ම ලෙස කොල්ලය සැලසුම් කර තිබිණි. ඊට අවශ්‍ය කරන පුද්ගලයන්ද දැන හඳුනාගෙන සූක්ෂ්මව සැලසුම් සකස් කිරීමට ඔහුගේ දීර්ඝකාලීන තුරඟ තරග පිටියේ ජීවිතය උදව් වී ඇත. පිටස්තර හත්දෙනකුත් ආම්ස්ට්‍රෝන් ගරාජයේ රියැදුරකුත් නම්මවා ගත් ආපන ශාලා හිමිකරු සිය අරමුණ කෙසේ හෝ ඉටුකර ගත්තද අවසානයේ සියල්ල හෙළිවී නීතියේ රැහැනට කොටුවන්නට සියල්ලන්ටම සිදුවූයේ කිසිදු වරදක් සැමදා සඟවා තැබිය නොහැකි බව පසක් කරමිනි.
ඒ අනුව රටම කැලඹූ හාරලක්ෂයේ මංකොල්ලයට සම්බන්ධ වූවන්ට අවසානයේ වැලිකඩ බන්ධනාගාරයේ එල්ලුම් ගසෙහි එල්ලී වන්දි ගෙවන්නට සිදුව තිබේ.
කුමාර රත්නායක