"පහුවදා සිහිය ආවට පස්සේ ඒවා පෙන්නලා බය කරලා තියෙනවා. ඒ වෙනකොටත් ඒවා නොදැකපු කෙනෙක් ඒ පන්තිවල ඉඳලා නෑ. කොල්ලො අතරෙ බෙදලා... රටම දකිනවට කැමති නම් තව නටන්න කියලා ගෙදරටම ඇවිත් සද්දෙ දාලා තියෙනවා."
සමින්දි කියන්නේ මේ වෙනකොට මානසික රෝහලක ප්‍රතිකාර ලබමින් ඉන්න රොගියෙක්. නම් ගම් මනඃකල්පිත වුණාට ඇයගේ ජීවිතය අමු යථාර්තයක්. සමහරවිට ජීවත් වීම සහ මරණය අතරෙන් එක විකල්පයක් තෝරගන්න ඇයට බැරි වෙන්න ඇති. එහෙම මොහොතකදි මිනිස්සු අතරමං වෙන්නෙ ඒ ලෝකයටත් මේ ලෝකයටත් අතරමැද තැනක. ඒ කියන්නේ සිහියත් අසිහියත්, ජීවිතයත් මරණයත් අතර තියෙන ගන්ධබ්බ තැනක. ඒක අසීරු කාල පරාසයක්.
දම්වැල්වලින් යකඩ ඇඳකට බැඳලා තිබුණු ඇගේ කෙසඟ සිරුර පිළිබඳ මතකය මගේ බර හුස්මක් අරගෙන අවකාශයේ ඈතකට පාවෙලා ගියා.
"ඒ ළමයට තාම අවුරුදු විසි එකයි. ජීවත් වෙන්න පටන් අරගෙනවත් නෑ. පව්. අහිංසක ජීවිත."
ඇයව බලාගන්න... සමාවෙන්න, ඒකට බලාගන්නවා කියලා කියන්න අමාරුයි. ඒ රාජකාරිය හරියට මෙල්ල කරන්න අසීරු මී හරකෙක් ආම්බන් කරනවා තරම් බරපතල එකක්. ඇයව ආම්බන් කරන හෙදිය ඇයට අනුකම්පා කළේ එහෙමයි.
"ඇත්තටම එයාට මොකද වුණේ...?"
අවසර නැතුව අනුන්ගේ ජීවිතේකට එබිලා බලන එක වරදක් වුණත් මට ඒක නොකර ඉන්න බැරි වුණා.
"ඒ ළමයා එච්චර සල්ලි බාගෙ තියෙන පවුලක කෙනෙක් නෙමෙයි. අම්මා තාත්තා දෙන්නා සෑහෙන්න දුක් විඳලා තියෙනවා මේ ළමයට ඔය තරම් දුරට උගන්නන්න. කැම්පස් තේරුණු ළමයෙක්. ඒත් යන්න හම්බෙලා නෑ. ඊට කලින් සිහි කල්පනාව නැති වෙන්න තරම් ප්‍රශ්න ඇවිල්ලා."
සමහර මිනිස්සුන්ට ඕන ආදරය මිසක් අනුකම්පාව නෙමෙයි කියලා මට හිතුණේ ඒ වටපිටාව දකිද්දි. ඒත් ලෝකයා විසින් ඒක තේරුම් ගන්නකොට ලෝකයට හුඟක් දේ මග ඇරිලා ඉවරයි.
"සමින්දිට මේ පළාතෙ බලපුළුවන්කාරකම් තියෙන කෙනෙකුගෙ පුතෙකුගෙන් යෝජනාවක් ඇවිත් තියෙනවා. පෑහෙන්න බැරි නිසාම කෙල්ල කැමති වෙලාම නෑ. ඒත් පහු පහු වෙනකොට කෙල්ලට පාරෙ බැහැලා යන්නවත් නොදී පාරවල් හරස් කරගෙන තර්ජනය කරලා තියෙනවා. හරියට කරදර කරලා තියෙනවා. සමින්දිගෙ අම්මයි තාත්තයි දෙන්නම අර මාර පුත්‍රයාගේ තාත්තගෙ කම්පැනියක සුළු සේවකයෝ විදිහට තමයි වැඩ කරලා තියෙන්නේ. කොහොමහරි සමින්දි නිසා අන්තිමට ඒ දෙන්නටම රස්සා නැති වෙලා. පස්සේ ඒ කොල්ලා කියලා තියෙනවා එයාට කැමති වුණොත් ආපහු අම්මටයි තාත්තටයි රස්සාව දෙන්නම් කියලා. ගෙදර කන්න බොන්නවත් නැති වෙනකොට සමින්දි ඉබේම ඒ කොල්ලට කැමති වෙලා තියෙනවා."
නැතිබැරිකම, අහිංසකකම කියන්නේ උපතින් ලැබෙන දේවල් නෙමෙයි කියන එකයි මගේ අදහස. මිනිස්සු තමන් වෙනුවෙන් හැමවෙලේම කශේරුකාව කෙළින් තියාගෙන සටන් කරන්න ඕන. ඒත් සමහර අවස්ථාවලදි සමහර මිනිස්සුන්ගේ පෞරුෂයන් හරිම දියාරුයි. ඒවා අපිට පිටතින් ඉඳන් විනිශ්චය කරන්න බෑ.
"ඊටපස්සේ ඒ කොල්ලා හිතෙන හිතෙන වෙලාවට මේ කෙල්ලව එයාගෙම තාත්තගෙ හෝටල්වලට අරගෙන ගිහින් තියෙනවා. සල්ලිවලින් අඩුපාඩුවක් කරලත් නෑ. ගෙදරටත් හොඳට සලකලා තියෙනවා. කෙල්ල ඌට ආදරෙන් ඉඳලා."
ඒක ගෑනුන්ගේ දුර්වලකම කියලා නිර්වචනය කරන්න පුළුවන්. කුවේණිගෙ ඉතිහාසයේ ඉඳලම අපිට මුණ ගැහෙන්නේ ඊට උදාහරණ.
පස්සේ සමින්දිට අර කොල්ලගෙ වෙන වෙන සම්බන්ධතා එහෙම අහු වෙන්න පටන් අරන්. කෙල්ල නිකන් ඉඳලා නෑ. එල්ලි එල්ලි ඒවට රණ්ඩු කරලා. ඊටපස්සෙ තමයි මිනිහට තේරිලා තියෙන්නෙ හිතුවට වඩා මේ සම්බන්ධෙ කරදරයක් වීගෙන එනවා කියලා. කොල්ලා එතන ඉඳලා ප්ලෑන් කරලා තියෙනවා සමින්දිව පැත්තකට කරන්න ක්‍රමයක් ගැන. ඊටපස්සෙ තමයි මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ."
සිහි කල්පනාව නැති වෙන්න තරම් ඒ මදාවියා සමින්දි වෙනුවෙන් ක්‍රියාත්මක කරපු සැලැස්ම මොකක් වෙන්න ඇතිද කියන කුතුහලයෙන් මම හෙදිය දිහා බලාගෙන හිටියා.
"කොල්ලා හවසක වාහනෙන් ඇවිත් මේ කෙල්ලව උන්ගෙ හොටෙල් එකකට අරගෙන ගිහින්. බීම එකකට මොනවහරි drugs වර්ගයක් දාලා දීලා තියෙනවා. ඊටපස්සේ උගෙ යාලුවෝ හතර පස් දෙනෙක් එක්ක ඇවිල්ලා මේ කෙල්ලව රෑ එළි වෙනකල්..... ඒ මදිවට ඒවා වීඩියෝත් කරලා. පහුවදා සිහිය ආවට පස්සේ ඒවා පෙන්නලා බය කරලා තියෙනවා. ඒ වෙනකොටත් ඒවා නොදැකපු කෙනෙක් ඒ පන්තිවල ඉඳලා නෑ. කොල්ලො අතරෙ බෙදලා... රටම දකිනවට කැමති නම් තව නටන්න කියලා ගෙදරටම ඇවිත් සද්දෙ දාලා තියෙනවා."
"ඉතින් ඇයි පොලිසියට ගිහින් නැත්තේ...?"
මං ඇහුවේ මෝඩම මෝඩ ප්‍රශ්නයක් නිසා වෙන්න ඇති, ඇය හිනාවෙලා සමින්දිගෙ ඉඳුල් පිඟාන අරගෙන එතනින් ඉවත් වුණා.
"සමින්දි දැන් එයාගෙම හෙවණැල්ල දැක්කත් බය වෙලා කෑගහලා කලබල කරනවා."
මගේ ඔලුව පැය ගානකට අවුල් කරන්න ඒ වචන ටිකට පුළුවන් වුණා. ඒත් මුළු ජීවිතේම අවුල් වුණාට පස්සේ අපි ඒ කතාව අහලා පැයකට දෙකකට අවුල් වෙන එක මොන තරම් අනර්ථයක්ද...!
By Sanduni Saranga