ශර්මිලා රාජපක්ෂ කියන නම වගේම රූපය මාස කිහිපයක් ඇතුළත බොහෝ දෙනෙකුගේ මතකයට ඇතුළත් වුණා. ඈ තමයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල්වරිය. ඔක්තෝම්බර් මස 28 වැනිදා එම තනතුරේ වැඩ භාර ගත් දින පටන් විවිධ කතා පැතිරුණා. ඒ නිසාම අපි හිතුවා ඇයත් එක්ක කතාබහ කරන්න. මේ කතාබහ ඇය ගැනයි.
ඔබේ පත්වීමත් එක්ක ආන්දෝලනාත්මක චරිතයක් බවට ඔබ පත් වුණා, ඒ නිසාම බොහෝ දෙනෙක් කැමති ඇති ඔබ ගැන විස්තර දැනගන්න, ඒ නිසා මුලින්ම ඔබ ගැන කතා කරමු..?
මම මුලික අධ්‍යාපනයේ සිට අධ්‍යාපනය ලබන්නේ කොටහේන යහපත් එඩේරාගේ කන්‍යාරාමයේ. මගේ ගෙදර තියෙන්නේ කොටහේන. නමුත් මම නේවාසිකව අධ්‍යාපනය ලැබුවේ. පාසල් නිවාඩුවට තමයි මම ගෙදර යන්නේ. උසස් පෙළ සඳහා වාණිජ විෂයන් හැදෑරුවා. පාසලේ වාණිජ අංශයේ හොඳම ප්‍රතිපල ගන්න මට හැකියාව ලැබුණා. උසස් පෙළ හොඳින් සමත් වෙලා විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා ගත්තා. විශ්ව විද්‍යාලයට යනකල් අවුරුද්දක් මහජන බැංකුවේ ට්‍රේනින් ගියා. පසුව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙලා උපාධිය ගත්තා. තුන්වැනි වසරේදී වරලත් ගණකාධිකාරී විභාගයටත් මුහුණ දුන්නා.
පසුව ආයතන දෙකකට සම්බන්ධ වෙලා වැඩ කළා.
මගේ තාත්තා නැහැ, අම්මයි අක්කයි තමයි මගේ පවුලේ ඉන්නේ. මිට වසර 15 කලින් මම විවාහ වෙනවා. ඔහු ශානක ද සිල්වා. එයා පුද්ගලික ආයතනයක අධ්යක්ෂවරයෙක්. මම අවුරුදු 13ක දුවක් ඉන්න අම්මා කෙනෙක්. දුව අධ්‍යාපනය ලබන්නේ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ. අපිට ඉන්න එකම දුව එයා නිසා හරිම හුරතලේට ජිවත් වෙන්නේ. වැඩ අස්සේ එයාටත් මුල්තැන දෙනවා.
කාර්යබහුල ජිවන රටාවත් එක්ක ගෘහණියගේ භූමිකාව අමතක කරලා ඇති..?
මමයි සැමියයි දෙන්නම හරිම කාර්යබහුල ජිවිත ගත කරන්නේ. නමුත් මම දුවගේ වැඩකටයුතු ටික හොයලා බලලා කරනවා. මම ගෙදර යනකල් එයා බලාගෙන ඉන්නවා එයාට කෑම කවන්න ඕන මම. ඒ වැඩේ කරලා තමයි මම ගෙදර අනිත් වැඩ බලන්නේ. උයන වැඩ නම් කරන්නේ නැහැ. වෙලාවක් නැති නිසා. බැරිකමක් නැහැ. උයන්න පුළුවන්. ඒ වැඩ ටික මගේ අම්මා බලලා කරනවා.
ඔබව දුටු ගමන් කෙනෙක් හිතන්නේ ඔබ අවිවාහකයි කියලා, ඔබට සමාජ මාධ්‍යවලින් ඉහල ප්‍රතිචාර ලැබෙනවාත් ඇති නේද..?
මම මුලින්ම ඔෆිස් එකට ගිය දවසේ කාර්ය මණ්ඩලයේ හැමෝම හිතලා තියෙන්නෙත් මම අවිවාහක කෙනෙක් එතරම් වයස නැහැ කියලා. මම විවාහ වෙලා ලොකු දුවෙක් ඉන්නවා කිව්වම පුදුම වුනු අය ඉන්නවා. මගේ වයසට වඩා අවුරුදු දහයක් විතර බාල පෙනුමක් තියෙන්නේ කියලා කෙනෙක් හිතනවට මමත් කැමතියි ඉතින්. කොහොම නමුත් ලැබෙන ප්‍රතිචාර ගැන සතුටුයි.පිරිමි අයට වඩා කාන්තාවෝ තමයි මට වැඩිපුරම ආදරණිය මැසේජ් එවන්නේ, කාන්තාවක් විදිහට මේ වගේ තනතුරක් දරන එක ගැන කාන්තාවෝ සුබවාදීව කතා කරනවා.
ඔබ දැන් දරන තනතුර ලැබුණේ දේශපාලනයෙන් කියලා ඇතැමුන් කියද්දී ඔබේ වාසගම රාජපක්ෂ වීම ගැනත් බොහෝ දෙනෙක් කතා කිව්වා. ජනාධිපති ඔබේ නෑදෑයෙක් වීම තනතුර ලැබෙනන් හේතුවක් කියලත් කියනවා, ඇත්තම කතාව මොකක්ද..?
මගේ නමේ රාජපක්ෂ කෑල්ලක් තිබ්බා කියලා ජනාධිපතිතුමා නෑදෑයෙක් කියලා හිතන්නේ කොහොඅමද, එහෙම නම් පෙරේරලා, සොයිසා වගේ අයත් නෑදෑයෝ කියලා කියන්න ගියොත් මුළු රටම නෑදෑයෝ වෙයි. ඇත්තම කිව්වොත් නෑදෑයෙකුට වඩා සමීප සම්බන්ධයක් එතුමා එක්ක තියෙන්නේ. මම එතුමාව දන්නේ 2015 වර්ෂයේ ඉදලා, එතුමා ජනාධිපති වෙන්න කලින් ඉදලා. මමත් වියත්මගේ මුල් සාමාජිකයින් 12නාගෙන් එක්කෙනෙක්. ජනාධිපතිතුමාගේ නිල සමාජ මාධ්‍යය බැලුවේ මම. ඔය කටයුතු කරමින් ඉද්දි තමයි මගේ අම්මා අසනීප වෙලා මම ඉන් ටික කාලෙකට ඉවත් වෙලා හිටියේ,
ඔය අතරතුර තමයි ජනාධිපතිතුමා මට කතා කරලා කිව්වා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව භාර අරගෙන පවත්වාගෙන යන්න පුලුවන්ද කියලා, අලියෝ ටිකයි සත්තු ටිකයි මට බලල දෙන්න පුලුවන්ද කියලා එතුමා ඇහුවේ. මට සුදුසුකම් තියෙන නිසා එතුමා යෝජනා කරන්න ඇති, මට අකමැති වෙන්න හේතුවක් තිබ්බේ නැහැ. ඒ නිසා මට ලැබුණු තනතුර මම භාර අරගෙන එහි වැඩකටයුතු කරගෙන යනවා.
කොරෝනා ව්‍යසනය එක්ක ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායමත් අඩු ඇති..? ඒ වගේම කාන්තාවක් මෙවැනි දෙපාර්තමේන්තුවක් පාලනය කිරීම නිසා බලපෑමකට ලක් වෙලා නැද්ද..?
ඒක හැමදෙයකටම බලපෑවා වගේ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවටත් බලපෑවා. මාස හයක් එකදිගට වහලා තිබ්බා. නමුත් සේවකයින්ට පඩි ගෙවන්න හෝ සත්තු නඩත්තු කරන්න අපිට මුදල් ලැබුණා. ඒ නිසා ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. නැවත යථාතත්වයට පත් වෙන්න පුළුවන් වුණා.
බලපෑම් නම් නැතුව නෙමෙයි. මම කාන්තාවක් කියලා හිතලා ඇතැමුන් සද්දෙන් කතා කරන්න උත්සහ කරන අවස්ථා තියෙනවා, අවශ්‍ය තැන්වලදී මටත් සද්දෙන් කතා කරන්න පුළුවන්. මේක චැලේන්ජ් එකක් කියලා මම හිතන්නේ නැහැ. සුයළුම කාර්ය මණ්ඩලය එක්ක මම සුහදව කටයුතු කරනවා. එයාලා හිතුවා මෙතන තියෙන්නේ බල අරගලයක් කියලා. එහෙම එකක් නැහැ කියලා මම ඔප්පු කරලා තියෙනවා. මම සත්වෝද්‍යාන සඳහා ෆීල්ඩ් විසිට් යද්දී කම්කරුවෝ අදින ටී ෂර්ට් එක ඇදගෙන යන්නේ. අනෙක් අධ්‍යක්ෂවරුත් එය දැන් අනුගමනය කරනවා. එය සාමාන්‍ය සේවකයින්ට සතුටක්. ඒ වගේම මම ආව ගමන්ම සියලුම දෙනාට කිව්වේ රණ්ඩු නොකර කණ්ඩායමක් විදිහට වැඩ කරන්න කියලා. හොඳ කණ්ඩායමක් ඉන්නවා. එයාලට වැඩ ටික කරගෙන යන්න පොඩි ගයිඩ් එකක් විතරයි දෙන්න ඕන.
මේ කතාබහ අවසන් කරන්න කලින් කියන්න ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරිය විදිහට ඔබ නිරන්තරයෙන් නිරීක්ෂණයට එකතු වෙනවද..?
සියලුම සත්වෝද්‍යානවලට මම මාසෙකට එක වතාවක් හෝ යනවා. ගිහිං සියල්ල හොයා බලනවා. කාමරයකට වෙලා ආයතන කළමනාකරණය කරන්න බැහැ. සේවකයින් එක්ක එකතු වෙලා කටයුතු කරන්න ඕන. එතකොට තමයි සේවකයින්ටත් වටිනාකමක් එන්නේ.