නයනා කුමාරි කියන්නේ නිරන්තරයෙන්ම රූප පෙට්ටියෙන් දැකගන්න ලැබෙන චරිතයක් නෙමෙයි. ඉදහිට කතාබහට ලක් වෙන චරිත කරන නයනා මේ දවස්වල කවුරුත් කතා කරන නිර්මාණයකට සම්බන්ධ වෙලා. ඒ දිවිතුරා නාට්‍යයේ විශාල්ගේ අම්මාගේ චරිතයට. ඒ ගැන වගේම නයනාගේ අලුත් තොරතුරු ගැන කතා කරන්න අපි නයනාව කතාබහකට එකතු කරගත්තා. මේ ඒ ගැනයි.
කොහොමද මේ දවස්වල රංගනය එක්ක කාර්යබහුල වෙලාද..?
මම කොහොමත් නිර්මාණ කිහිපයක එකට වැඩ කරන්නේ නැහැ. ගිය අවුරුද්දේ නිර්මාණයකට සම්බන්ධ වුණාට පස්සේ මේ අවුරුද්දේ තමයි මම නිර්මාණයක් භාර ගත්තේ. ඒ හිරු නාලිකාවේ විකාශය වෙන දිවිතුරා නාට්‍යයේ විශාල්ගේ අම්මාගේ චරිතය. හිරු කියන්නේ මගේ මහා ගෙදර වගේ, නිතර යන එන තැනක්. ඒ නිසා ඒ නිර්මාණය මට ප්‍රතික්ෂේප කරන්න බැරි වුණා. චරිතය හා නිර්මාණයට දායක වෙන කණ්ඩායම හොදයි. ඒ හේතු නිසා ඒ චරිතය භාර ගත්තා. මගේ චරිතය කොළඹ රූගත වෙන එකත් මට ලේසි වුනා.
මම රංගනයෙන් නෙමෙයි ඇත්තටම කාර්යබහුල.
රූපලාවන්‍ය කටයුතු එක්ක තමයි මේ දවස්වල කාර්යබහුල වෙලා ඉන්නේ. මම කඩවත අලුත් සැලෝන් එකක් පටන් ගත්තා. ඊට අමතරව රූපලාවන්‍ය කටයුතු ගැන ලබන අවුරුද්දේ ඉදලා ඉගැන්වීම් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒවත් එක්ක කාර්යබහුල ජිවිතයක් තමයි ගත කරන්නේ.
ජනප්‍රිය නිලියක් නිසා රූපලාවන්‍ය කටයුතුවලට හොඳ ඉල්ලුමක් ඇති..?
මට නම් ඉල්ලුම තියෙන්නේ දක්ෂතාවයට හා දැනුමට. මම මේ කටයුත්ත කරන්නේ අවුරුදු 18ක ඉදලා. ඕන තරම් නළු නිලියෝ සැලෝන් කරනවා. නමුත් පළපුරුද්ද හා දක්ෂතාවය නොතිබ්බොත් පැවැත්මක් නැහැ. ආවට ගියාට කරන්න බැහැ. ඇමරිකාවෙන් 2021 හොඳම රූපලාවන්‍ය සම්බන්ධයෙන් මට සම්මානයකුත් ලැබුණා. 2021 වර්ෂයේ හොඳම මනාලිය හැඩගැන්වීමට. හිතවත් කමට එයි දවසක් දෙකක්. වැඩේ හරියට කරේ නැත්තම් ඊට පස්සේ එන්නේ නැහැ. මම පැවැත්ම හදාගත්ත රූපලාවන්‍ය ශිල්පිනියක්.
විවාහ උත්සව සඳහා මනාලියන් හැඩගැන්වීම වෙන්නේ ඔබේ අතින්මද, නැත්තම් ගෝල බාලයින් අතින්ද..?
කණ්ඩායමක් හිටියට හැම මනාලියක්ම හැඩගැන්වීම කරන්නේ මගේම අතින්. කොණ්ඩ කට්ටවත් ගහන්න මම ඉඩ තියන්නේ නැහැ.
මේ දවස්වල විශාල්ගේ අම්මාට ලැබෙන ප්‍රතිචාර කොහොමද..?
මටත් අවුරුදු 16ක පුතෙක් ඉන්නවා. අම්මගේ හැඟීම කැමරාව ඉස්සරහා මට අමුතුවෙන් රඟපාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අම්මට පුතෙක්ගේ හැඟීම දැනෙනවා. ඒ නිසා විශාල්ගේ අම්මගේ චරිතය මම හරියට කරනවා කියලා හිතෙනවා ලැබෙන ප්‍රතිචාර එක්ක . මම කරපු චරිත එක්ක ඒක වෙනස්ම චරිතයක්. කාලෙකට පස්සේ හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ ප්‍රතිචාර ගැන සතුටුයි.
ඔබේ පුතා දැන් දැනුම් තේරුම් තියෙන දරුවෙක්, ඔබේ රංගනයට ඔහුගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඇත්තම කිව්වොත් මගේ පුතා මම ඉන්න නාට්‍ය බලන්නේ නැහැ. ඒ කාලේ බලද්දී එයාට තේරුමක් තිබ්බේ නැහැ. මම දැන් ඉන්නේ ඉදහිට නිර්මාණවල. දැන් එයා නිර්මාණ බලන්නේ නැහැ. ඒ නිසා එයා කියන්නේ කරන දෙයක් හරියට කරන්න කියලා විතරයි.
අම්මා නිලියක් වීම ගැන පුතා අසතුටෙන්ද..?
ලොකු සතුටක් නැහැ. පුතා ඉගෙන ගන්නේ රාජකීය විද්‍යාලයේ. මම ඉස්කෝලේ යනවටවත් පුතා කැමති නැහැ. නයනා කුමාරී කියන නිළියගේ පුතා කියලා කියනවට එයා කැමති නැහැ. මම නිසා පුතාට පාසලේ දරුවන්ගෙන් ගුරුවරුන්ගෙන් ප්‍රතිචාර ලැබෙනවා. ඒ ප්‍රතිචාර එයාට කරදරයක්. එයා නිදහසේ ඉන්න දරුවෙක්. සාමාන්‍ය විදිහට ජිවත් වෙන්නයි එයාට ඕන.
කාලයක් ඔබේ හොඳම මිතුරිය තමයි ගයත්‍රී ඩයස්, දැන් දෙන්නා විරසක වෙලා කියලයි බොහෝ දෙනෙක් කියන්නේ..?
අපි දෙන්නා තරහ වෙලා නැහැ. ඉස්සර අපි දෙන්නා ලඟින් හිටියා. ඒ සම්බන්ධය සිමා වෙලා තියෙන්නේ, ඉස්සර වගේ පිස්සු නටන්න දැන් බැහැ. අපි දෙන්නටම වගකීම් වැඩියි, එයා එයාගේ වැඩකරගෙන පාඩුවේ ඉන්නවා. මම මගේ වැඩ එක්ක කාර්ය බහුලයි. කතා බහ කරන්නත් ලොකුවට වෙලාවක් නැහැ.
තව ටික කලකින් ගයත්‍රී වගේ ඔබත් රට හැර යයිද..?
කොහෙත්ම නැහැ. මට රට දාලා යන්න තරම්ම ප්‍රශ්න ඇවිත් නැහැ. මේ වගේ ලස්සන රටක් දාලා යන්නේ නැහැ. ඔය රට කියලා යන අයට රටට ගියාට පස්සේ තමයි අපේ අගේ දැනෙන්නේ. මාසයක් දෙකක් යද්දී අමාරුව දැනෙද්දී. මට මගේ රට වටිනවා. ඒ නිසා කිසිම හේතුවකට රට යන්නේ නැහැ.