පාකිස්ථානයේ සියල්කොට් නගරයේ දී සිදු වූ පහරදීමක් හේතුවෙන් මිය ගිය ශ්‍රී ලාංකික කම්හල් සාමාන්‍යාධිකාරිවරයෙකු වන ප්‍රියන්ත කුමාරගේ මරණය සම්බන්ධයෙන් මේ වනවිට පාකිස්ථාන මාධ්‍ය ඔස්සේ බරපතළ විවේචනාත්මක වාර්තා පළ වනවා.
මේ වාර්තා බොහොමයකින් පෙන්වා දෙන්නේ, මෙම අමානුෂික ක්‍රියාව ඉස්ලාම් දහමට සහ පාකිස්තාන සමාජයේ පැවැත්මට බරපතළ අහිතකර බලපෑමක් ඇති කර ඇති බවයි.
එමෙන්ම එම වාර්තා හරහා ඔවුන් වත්මන් පකිස්තාන රජයට බල කරන්නේ මේ ආකාරයෙන් ආගම දඩමීමා කරගෙන හැසිරෙන කල්ලි කණ්ඩායම් මර්දනයට දැන්වත් නීතිරීති සම්පාදනය කළ යුතු බවටයි.
පහතින් දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් ද පාකිස්ථාන් ඩේලි වෙබ් අඩවියේ පළ වූ වාර්තාවක සිංහල පරිවර්තනයක්.
සියල්කොට් සිද්ධිය සහ අපගේ උපාය මාර්ගය.
නැවත වතාවක්, ඇතැම් හිත්පිත් නැති තක්කඩියෝ, දෙවියන්ට අපහාස කිරීමේ චෝදනාව මත තවත් අහිංසක මනුෂ්‍යයෙකු මරා දැමූ හ.
මෙම සිද්ධියට පෙර මර්දාන් හි අබ්දුල් වාලි ඛාන් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු වූ මාෂාල් ඛාන්ට දෙවියන්ට අපහාස කිරීමේ චෝදනා නගමින් මැර පිරිසක් විසින් සිදු කළ පහර දීමක් හේතුවෙන් ඔහුගේ ජීවිතය අහිමි විය.
කෙසේ වෙතත් නීතිය ක්‍රියාත්මක කරන ආයතන මුළු සිද්ධියම විමර්ශනය කළ විට පෙනී ගියේ, මාෂාල් ඛාන්ට ද දෙවියන්ට අපහාස කළ බවට බොරු චෝදනා එල්ල කර ඇති බවයි.
අද මාෂාල් ඛාන් නඩුවේ ප්‍රධාන විත්තිකරු මරණීය දණ්ඩනයට ලක්ව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටියි.
මේ සිද්ධියෙන් මාස කිහිපයකට පසු, ගුජරන්වාලා (Gujranwala) ප්‍රදේශයේ කුර්ආන් කටපාඩම් කරන ශිෂ්‍යයකු සිය පවුලෙන් ඔහුගේ දේපළෙහි කොටස ඉල්ලා සිටි අතර ඔහුගේ පවුලේ සාමාජිකයන් ඔහුට ද දෙවියන්ට අපහාස කිරීමේ චෝදනා නගා ඔහුව මරා දැමීමට උත්සාහ කර තිබෙනවා.
නමුත් මෙහිදී අදාළ ශිෂ්‍යයා නිවැසියන්ට පවසා ඇත්තේ, ඔබ කැමති නැතිනම් මට දේපළ කොටසක් දෙන්න. දේපල මට දෙන්න එපා, ඔබට මාව මරන්න අවශ්‍ය නම්, මාව මරන්න, නමුත් මට දෙවියන්ට අපහාස කළා යැයි චෝදනා නො කරන්න යනුවෙන්.
මේ සිද්ධිය ගුජ්රන්වාලා ප්‍රාදේශීය පරිපාලනයට වාර්තා වූ විට, ඔවුන් සිද්ධියට ගොදුරු වූ පිරිමි ළමයාගේ පවුලේ සියලුම සාමාජිකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ජාතිය තවත් විශාල ඛේදවාචකයකින් ගලවා ගත්හ.
නමුත් මේ සියල්ල පසෙක ලමින් සියල්කොට් ඛේදවාචකය අප හිස් ලජ්ජාවෙන් නමා ඇති බවට සැකයක් නැත.
මෙම ශ්‍රී ලාංකික කර්මාන්තශාලා කළමනාකරුගේ වරද කුමක් ද? මේ මොහොතේ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට කුමක් සිදුවේ ද?
සෑම කෙනෙකුම තම විරුද්ධවාදීන් මර්දනය කිරීමට සහ ඔවුන්ගේ හදවත් සනසා ගැනීමට මෙම කාඩ්පත භාවිතා කරන තරමට දෙවියන්ට අපහාස කිරීම යන ලේබලය නොවැදගත් වී තිබේද?
මීට ටික කලකට පෙර ප්‍රංශය විසින් මුහම්මද් (සල්) තුමාණන්ට අපහාස කරන විට, පාකිස්ථානයේ ආගමික කණ්ඩායමක් ප්‍රංශයට සහ එහි රජයට විරෝධය දැක්වීම වෙනුවට කළේ ඔවුන්ගේම මුස්ලිම් සහෝදරයින්ට පහර දීමට පටන් ගැනීමයි.
ප්‍රංශ නිෂ්පාදන වර්ජනය කර ප්‍රංශ ආර්ථිකය අස්ථාවර කරමින් දෙස් විදෙස් මාධ්‍යවල විරෝධතා සටහන් කර මේ අමනකමට ප්‍රතිචාර දැක්වීම වඩා හොඳ විය හැකි නමුත් අවාසනාවකට අප මෙම මාවත තෝරා නොගත් අතර අනෙක් අතට රටේ පුරවැසියන්ට හානි සිදු කිරීමට පටන් ගත්තේය.
මේ සිද්ධිය අලලා පාකිස්තානය තුළ ප්‍රචණ්ඩ සිදුවීම් සිදුවන්නට පටන් ගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස දෙපාර්ශ්වයේම මුස්ලිම් සහෝදරයින්ට
දැඩි හානි සිදුවිය.
මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට නිග්‍රහ කළ කවුරුන් වුව ද මෙම ප්‍රචණ්ඩ අමන මෝඩ සංදර්ශන දැකීමෙන් සතුටු වන්නට ඇති.
අහෝ! අද අපි අපේ මුල් අරමුණෙන් ඈත්වෙලා.
අද අපි සෘජු මාර්ගයේ ගමන් කරනු වෙනුවට යක්ෂයාගේ මාර්ගයේ ගමන් කිරීමට පටන් ගෙන තිබෙනවා. අපේ ආගම සාමය ඉල්ලා සිටියි. අපේ ආගමේ උගන්වන්නේ අන් අයගේ ජීවිත හා දේපළ ආරක්ෂා කිරීමටයි.
මේ නිසා අපි එකිනෙකාගේ ජීවිත හා දේපළ ආරක්ෂා කර ගැනීම වෙනුවට එකිනෙකාගේ සතුරන් බවට පත් වී ඇති අතර මෙම මාර්ගය අපව ස්වර්ගය දෙසට නොව අපායේ ගින්න දෙසට ගෙන යනු ඇති.
අල්ලාහ් ශුද්ධ වූ අල් කුර්ආනයේ මෙසේ පවසයි: “එබැවින් අපි ඊශ්‍රායෙල් දරුවන්ට නියම කළෙමු කවුරුන් හෝ ජීවිතයක් ගන්නේ නම් - එය මිනීමැරීමට දඬුවමක් ලෙස හෝ දේශයට ද්‍රෝහී වීමට දඬුවමක් ලෙස නොවන්නේ නම් එය ඔවුන් මුළු මිනිස් සංහතියම ඝාතනය කළා හා සමාන වනු ඇත. සහ කවුරුන් හෝ ජීවිතයක් බේරා ගන්නේ නම්, එය ඔවුන් මුළු මිනිස් සංහතියම බේරා ගත්තා හා සමාන වනු ඇත. අපගේ දූතයන් දැනටමත් පැහැදිලි සාක්ෂි සහිතව ඔවුන් වෙත පැමිණියද, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පසුවද භූමිය හරහා අපරාධ කළහ. (සුරා අල් මායිදා: 32) මෙහිදී අවබෝධ කරගත යුතු එක් දෙයක් නම්, සර්වබලධාරී අල්ලාහ් මෙම ආශිර්වාද ලත් වාක්‍යයේ මුස්ලිම්වරුන් සහ මුස්ලිම් නොවන අය ගැන සඳහන් නොකර මුළු මිනිස් වර්ගයා ගැනම සඳහන් කර ඇත.
මුස්ලිම් ජාතිකයෙකු අසාධාරණ ලෙස මුස්ලිම් නොවන අයෙකු ඝාතනය කළහොත් සහ මුස්ලිම් නොවන අයෙකු අසාධාරණ ලෙස මුස්ලිම් ජාතිකයෙකු ඝාතනය කළහොත්, නීතියෙන් මරණීය දණ්ඩනය ප්‍රතිපාදන ලබා දී ඇතත්, නීතියෙන් පරිබාහිරව කිසිදු මනුෂ්‍යයෙකු ඝාතනය කිරීමට ඉස්ලාම් අවසර නොදේ.
මෙම සිද්ධියෙන් පසු නැවත වරක් අප විසින් අප පරීක්ෂණයට ලක් කර ඇති අතර, ශ්‍රී ලංකා කළමනාකරු ඝාතනයට සම්බන්ධ සියලු චූදිතයන්ට රජය දැඩි දඬුවම් දිය යුතුම වනවා.
එමෙන්ම යම් පුද්ගලයකුට දෙවියන්ට අපහාස කළ බවට චෝදනා එල්ල කරනු ලැබුවහොත් ඊට එරෙහිව ස්ථිර සාක්ෂියක් උසාවියට ඉදිරිපත් කළයුතු බවට වන පනතක් ජාතික සභාවට ඉදිරිපත් කළ යුතුය.
එවිට පකිස්ථානු නීතිය යටතේ ඔහුට මරණ දණ්ඩනය නියම කළ හැකි වනු ඇති.
අල්ලාහ් අප සැමට මග පෙන්වා සාතන්ගේ නපුරෙන් සදාකාලිකවම ආරක්ෂා කරත්වා.
ද පාකිස්ථාන් ඩේලි.