“අවුරුදු එකොළහක් රැකියාව කරපු රටේ සිට අවසානයේ සිරුරු කොටස් ගේන්න වේවි කියලා අපි හිතුවේ නෑ. දරුවන්ටත්, මටත් මේ වියෝගය දරාගන්න අමාරුයි. මට මගේ අහිංසක මහත්තයා නැති වුණා. එයා හොරු අරන් ගියා වගේ. අහිංසක දරු දෙන්නා කොහොමද තාත්තා නැති පාඩුව උහුලන්නේ? එයාලා හැමදාම බලාගෙන ඉන්නේ ඒ ඒ දවසේ තොරතුරු කියන්න තාත්ත කතා කරනකල්. මේ වගේ විපතක් කාටවත් නම් වෙන්න එපා” මියගිය ප්‍රියන්ත කුමාර මහතාගේ බිරිය නිලූෂි දිසානායක මහත්මිය හැඬ කඳුළින් එසේ පැවැසුවාය.
ඇය සිය ආදරණීය සැමියාට සිදුවූ මේ විපත නිසා ඇගේ හදවත තුළ සිරකරගෙන සිටින වේදනාව, දරු දෙදෙනාට නොදැනෙන සේ කාටත් නොඇසෙන සේ දෙතොල් තදකරගෙන මුමුනන ශෝචනීය දසුන්, එහි යන එන කාගේත් දෙනෙත් කඳුළින් තෙත් කිරීමට සමත්ව ඇත.
“එයා ඒ රටේ ජීවත් වුණේ, රට පිළිබඳ, රටේ ආගම පිළිබඳව තේරුම් අරගෙන. රාජ්කෝ කර්මාන්ත ශාලාවේ හිටිය එකම ශ්‍රී ලාංකික සාමාන්‍යාධිකාරිවරයා මගේ මහත්තයා. මම ඉල්ලන්නේ මේ වගේ සිදුවීම් ආයෙත් අපේ රටේ ශ්‍රමිකයන්ට සිදු නොවිය යුතුයි කියලා.
සතියෙන් දෙකෙන් හැමදේම අමතක නොවන රටක මේ මිනිස් ඝාතනයටත් ඒ දෙයම සිදුවෙන්න ඉඩ දෙන්න එපා.
අපේ පවුලට සිද්ධ වෙච්ච පාඩුව අපි කොහොමද දරාගෙන්නේ? කොච්චර මුදල් ලැබුණත් වැඩක් නැහැ. අද මට මගේ මහත්තයා නැහැ. අහිංසක දරු දෙන්නට තාත්තා නැහැ. දරුවන්ට තාත්තගෙ සෙනෙහස නැති වුණා. මට මගේ මහත්තයගෙ රැකවරණය නැති වුණා. දැන් මම දරු දෙන්නත් එක්ක අන්ත අසරණයි. අපි මේ දුක කාට කියන්නද දෙවියනේ” කියමින් නිලූෂි දිසානායක දිග සුසුමක් හෙළුවාය.
“මගේ මහත්තයා වැක්සින් එක අරන් තිබුණේ නැහැ. මේ මාසෙ වැක්සින් එක ගන්නව කියලා මට කිව්වා. එයාගෙ ලොකුම බලාපොරොත්තුව වෙලා තිබුණේ දරුවන්ගෙ අධ්‍යාපනය. මම රස්සාවක් කරන්නේ නැහැ. මේ ඔක්කොම මම කරන්නේ කොහොමද?” ඇය කියාගෙන කියාගෙන ගියේ හදවත තෙරපෙන වේදනාව යාන්තමට හෝ තුනීකර ගෙන සැනසීමක් ලැබීමට විය යුතුය.
මියගිය ප්‍රියන්තගේ වැඩිමහල් පුතා ගවිද් ගෙනුක දියවඩන 14 වැනි වියේ පසුවෙයි. ඔහු ගම්පහ බණ්ඩාරනායක විදුහලේ 9 වැනි වසරේ ඉගෙනුම ලබයි. බාල පුතා ලිතුල ලෙසාන් වැලිපිල්ලෑව ප්‍රාථමික විදුහලේ 4 වැනි වසරේ ඉගෙනුම ලබයි.
තාත්තා හදිසියේම ඔවුන්ට අහිමිවීමේ ශෝකය දරාගත නොහැකිව ඒ දරු දෙදෙනාම කිසිවක් කරකියාගත නොහැකිව බලාගත්අත බලාගෙන සිටින්නේ වේදනාව හදවත්වල සිරකරගෙනය.
“මගේ මහත්තයා සාමකාමී කෙනෙක්. එයා නිතරම කිව්වේ නියම මුස්ලිම් ආගමිකයෝ ඉන්නේ පාකිස්තානයේ කියලා. ඔවුන් රටටත් ආගමටත් ඉතාමත් භක්තිවන්තයි කියලා එයා කිව්වා. එයා කිසිම දවසක ආගම්වාදී, කලහකාරී වැඩ කළේ නැහැ. සහයෝගයෙන් වැඩ කරපු නිසයි අවුරුදු එකොළහක කාලයක් ඒ රටේ සේවය කළේ. ඒ නිසා මට හොඳටම විශ්වාසයි ඔය සිද්ධිය ආගමික පෝස්ටර් ඉරදාපු නිසා වූ දෙයක් නෙවි කියලා” යැයි නිලූෂි දිසානායක මහත්මිය සඳහන් කළාය.
මියගිය ප්‍රියන්ත කුමාර මහතාගේ වැඩිමහල් සොහොයුරන් දෙදෙනකුද පාකිස්තානයේ වෙනත් ප්‍රදේශවල සේවය කර ඇති අතර කමල් දියවඩන මහතා පවුලේ සිවුවැන්නාය. මේ වනවිට නිවාඩුවක් සඳහා ඔහු ශ්‍රී ලංකාවට පැමිණ සිටී. පුරා වසර 10ක් පාකිස්තානයේ සේවයේ නිරත ඔහු එරට නීතිය පිළිබඳව හොඳින්ම දන්නා අයෙකි. මියගිය බාල සහෝදරයාගේ ඝාතනය පිළිබඳව දැනට ලැබී ඇති තොරතුරු ඔහු මෙසේ පැවැසීය.
“මේ ඝාතනය කරලා තියෙන්නේ සිකුරාදා දවසක. එදා ඔවුන්ගේ ජුම්මා දවස. හැමෝම පල්ලි යන දවස. කර්මාන්ත ශාලාවේ වැඩ වර්ජනයක් තිබිලා තියෙනවා. ආයතනයේ හිමිකරු ජර්මනියේ ඉඳලා තියෙන්නේ. මල්ලීට තමයි වගකීම පැවරුණේ. ෆැක්ටි්රයේ වැටුප් ගැටලුවක් සම්බන්ධයෙන් වැඩවර්ජනයක් තිබිලා තියෙනවා. මල්ලීට කෙනෙක් ඇවිත් ඒ ගැන කියලා තියෙනවා උද්ඝෝෂණයක් තියෙන වග. ඒ වෙලාවේ මල්ලී කීවලු ඇතුළට ඇවිත් වැඩ කරන්න කියන්න වැටුප් ප්‍රශ්න ගැන අපි පස්සෙ කතා කරමු කියලා.
පණිවුඩය ගෙනිච්ච කෙනා මොනවා කිව්වද දන්නෙ නෑ. මොහොතකින් උද්ඝෝෂණයේ හිටපු කට්ටිය කර්මාන්තශාලාව ඇතුළට ඇවිත් මල්ලිගෙ නිල කාමරේ ෙදාර කඩලා මල්ලීව ඇදගෙන ගිහින් ඇදුම් ඉරලා මහපාරේ දාගෙන පහරදීලා.
අපිට ලැබෙන තොරතුරු අනුව පොලුවලින් ඔළුවට ගහලා තියෙනවා. ලේ පෙරෙද්දි ඇදන් ගිහින් ෆැක්ටි්රයේ ඉස්සරහම ටයර් දාලා පුච්චලා. සමහරුන් කියන්නේ පණපිටින් පිච්චුවේ කියලා.
පෝස්ටර් කතාව බොරු. ඒ රටේ අවසර නැහැ කුරානයේ පෝස්ටර් ගහන්න. ඒක නීතියෙන්ම තහනම්. ඒ රටේ නීතිය අනුව ඔවුන්ගේ ආගමට අපහාස කළොත් මරණ දඬුවම දෙන්න පුළුවන්. ඝාතකයන් නීතියෙන් ගැලවෙන්න තමයි මේ ආගමික පෝස්ටර් කතාව අෑඳාගෙන තියෙන්නේ.
අපි විශ්වාස කරනවා රජය අපිට සාධාරණය ඉටුකරයි කියලා. ජනාධිපතිතුමාගේ ඉල්ලීම අනුව මැති ඇමැතිවරුන් තොරතුරු දැනගත් වෙලේ පටන් මේ මොහොත දක්වාම අපිට ලොකු සහායක් දුන්නා. එවගේම පාකිස්තාන අගමැතිවරයා පිළිබඳව අපේ විශ්වාසයක් තියෙනවා. එතුමා බලයට පත්වූදා සිටම ඉතාම සාධාරණ විදියට රටේ නීතිය ඉෂ්ට කරා. ඒ නිසා මා විශ්වාස කරනවා තවත් ලාංකිකයකුට මේ කෲර ඉරණම අත්වීමට ඉඩ නොදී දෙරටේ නායකයන් එක්ව මේ සමූහ මිනිස් ඝාතකයන්ට නිසි දඬුවමක් දෙයි කියලා” යැයි කමල් දියවඩන මහතා පැවැසීය.
ප්‍රියන්ත කුමාර මහතාගේ බිරියගේ පියා වන දිසානායක මහතා මෙම පෝස්ටර් බැනර් කතාව අසත්‍යක් බව පැවැසීය. ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය අද (06දා) සවස 5.00ට විශේෂ ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතය.
දේහය පිළිබඳ අවසන් කටයුතු 8 වැනි බදාදා සිදුකිරීමට නියමිතය.