වසර එක්දහස් පන්සියයකට වඩා වැඩි කාලයක් සීගිරි බෙයදේ ජීවත් වූ සුරූපී සීගිරි ලාලනියන් 1967 ඔක්තෝබර් මස 14 වැනිදා එනම් මීට වසර පනස් හතරකට (54) ඉහතදී ඒ මූසල රාත්‍රියේදී ඝාතනයට උසිගැන්වූවෝ කවුරුන්ද? ඒ රුදුරු ජාතික අපරාධය කළෝ කවරහුදැයි තවමත් අබිරහසකි. ඒ නිසා ඒ විනාශය ‘නොදනිමු කාගෙ දොසා‘ යනුවෙන් දැනට අපි මෙසේ සටහන් කරමු.
සීගිරි බිතුසිතුවම් විනාශ කිරීම සැබැවින්ම පසුගිය පනස් වසර තුළ පමණක් නොව විසිවන සියවසේ සිදු කළ මහා සංස්කෘතික ඛේදවාචකය ලෙසින් ඉතිහාසයේ සටහන් වී හමාරය.
මේ විනාශයට පසුව ඒ කාලයේදී මෙම විෂය භාරව සිටි අමාත්‍යවරයා වූයේ විද්වතකු වූද ප්‍රකට ලේඛකයකු වූද අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතාය. ඒ කාලයේ සංස්කෘතික හා අධ්‍යාපන අමාත්‍යාංශය මෙම අමාත්‍යවරයා භාරයේ පැවතුනි. ඒ අමාත්‍යාංශයේ ලේකම්වරයා වූයේ ද ප්‍රකට කෘතහස්ත පරිපාලන නිලධාරියකු වූ එම්.ජේ. පෙරේරා මහතාය. ඔහු මේ සීගිරි ළඳුන් විනාශ කිරීමේ සිදුවීමට විෂය භාර අමාත්‍යවරයා සමඟ සීගිරියට ගොස් මේ පිළිබඳ විමසා ඉතාලියේ ඒ කාලයේ සිටි මෙවැනි බිතුසිතුවම් සංරක්ෂණය පිළිබඳ දැනුමින් යුක්ත ලුසියානෝ මරාන්සි මහතා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු සම්පාදනය කළේය. මෙම සීගිරි බිතුසිතුවම් විනාශ කිරීම පිළිබඳව වාර්තා කිරීමට එකල තිබූ එකම විද්යුත් නාලිකාව වූ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ එවක සේවය කළ ප්‍රවීණ මාධ්‍යවේදී හිටපු සිංහල සේවා අධ්‍යක්ෂ පාලිත පෙරේරා මහතා ගියේය. ඔහු අප සමඟ මෙම සිදුවීම පිළිබඳ ඉතා වැදගත් කතාවක් පැවසුවේය.
එනම් ලුසියානෝ මරාන්සි මහතා සමඟ පාලිත පෙරේරා මහතා මෙම බිතු සිතුවම් විනාශය ගැන කතා කරද්දී මරාන්සි මහතා පාලිත පෙරේරා මහතාගෙන් ඇසූ ප්‍රශ්නයකි.
‘මෙතරම් දියුණු මෙතරම් සංවේදී මිනිසුන් සිටින ශිෂ්ටාචාරයකින් පැවත එන ඔබේ රටේ මිනිස්සු ඇයි මේ වගේ ජාතික අපරාධයක් කළේ?‘ යනුවෙනි.
"ජාතියක් වශයෙන් ලජ්ජා විය යුතු බොහෝ විනාශයන් හා රට ජාතිය පාවා දීමේ පසුගිය හැත්තෑ වසර තුළ අප රටේ ඇතැම් දේශපාලනඥයින් හා තවත් මිනිසුන් විසින් සිදු කරන ලද බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. එහෙත් මෙබඳු සංස්කෘතික විනාශයක් සිදු කිරීම මේ මහ පොළොව නුහුලන ජාතික ව්‍යසනයක් නොවන්නේද? මෙය අනාගත පරපුරේ අපේ ජාතික උරුමයේ උරුමක්කාර ජනතාවගේ අයිතිය පැහැර ගැනීමක්. මෙවැනි විනාශයන්ගෙන් සිදු නොවන්නේද? අපි ඒ සීගිරි ළඳුන් සහිත බිතුසිතුවම් විනාශය මෙසේ සටහන් කර තබමු." (තුන්කල් දුටු පරණවිතාන - සිරිසමන් විජේතුංග පි. 168-169 සරසවි ප්‍රකාශකයෝ 2015)
මෙම සීගිරි බිතු සිතුවම් මෙසේ විනාශ කරන කාලයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූයේ මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා සමඟ ඉතා සමීපව ක්‍රියා කළ ප්‍රවීණ පුරාවිද්‍යාඥයකු හා භාෂා විශාරදයකු වූ ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතාය. එම ශෝචනීය සිදුවීම වාර්තාගතවී ඇත්තේ පුරාවිද්‍යා පාලන වාර්තාවල මෙසේය.
"කලබල වූ ඕවර්සියර් කෙනෙකු විසින් දෙන ලද හරියට තේරුම් ගත නොහැකි වූ ටෙලිපෝන් පණිවිඩයක් අනුව සීගිරියේ බිතුසිතුවම් ගුහා තුළ චිත්‍ර මත පසුගිය රාත්‍රි කාලයේදී කොළපාට තීන්තෙන් කව්දෝ විනාශකාරීන් විසින් ඉසිනු ලදැයි වැටහී ගියෙන් සීගිරියට වහා ගොස් එම තීන්ත අස්කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස 1967 ඔක්තෝබර් 15 වැනිදා උදයේදී එවක සිටි පුරාවිද්‍යා කොමසාරිස්වරයා (ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතා) මට (ආචාර්ය රාජා ද සිල්වා මහතා) දන්වා සිටින ලදී.
ලියන තීන්ත අස්කිරීම සඳහා විශාල ප්‍රමාණයක් රසායන ද්‍රව්‍ය ද රැගෙන මගේ (ආචාර්ය රාජා ද සිල්වා) කණ්ඩායම ද කැටුව එදා සවස සීගිරියට ළඟා වුණෙමි. ඒ වන විට ඒ පළාතට වර්ෂා කාලය එළඹ තිබුණේය. එහි ගිය අපට දැනගන්නට ලැබුණේ එහි තවරා තිබුණේ ලියන තීන්ත නොව දැන් කාලයේ ජනෙල් දොරවල්වල ගෑමට ගන්නා වර්ගයක කොළ පාට තීන්ත වර්ගයකි.
පෙරදින පරීක්ෂණවලට අමතරව පොලිසිය විසින් බිතුසිතුවම් ගුහාවේ දොරට අලුත් ඉබ්බෙකු යොදා තිබුණත් පසුදින උදයේ පොලිසියත් සමඟ චිත්‍ර පරීක්ෂා කරන ලදී. පොලිසියේ අදහස වූයේ විනාශකාරීන් අගුලු ලා තිබුණු දොරවල් දෙකකට උඩින් පැන බිතුසිතුවම් ගුහාවේ අවසාන දොරටුව යතුරකින් අරින ලද බවයි." (1967-1968 මුදල් වර්ෂය සඳහා පුරාවිද්‍යා කොමසාරිස් ආර්.එච්. ද සිල්වාගේ පුරාවිද්‍යා පාලන වාර්තාව පිටුව 23) (තුන්කල් දුටු පරණවිතාන සිරිසමන් විජේතුංග 190-191 2015)
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්ය සද්ධාමංගල කරුණාරත්න, ආචාර්ය රෝලන්ඩ් සිල්වා, ශාස්ත්‍රපති
ඇම්.එච්. සිරිසෝම වැනි පුරාවිද්‍යා කොමසාරිස්වරුන් යටතේ ලද ශික්ෂණය හා දැනුම තව තවත් පුළුල් වූයේ ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල නම් වූ දකුණු ආසියාවේම ප්‍රාග් ඉතිහාසය පිළිබඳ මහා ප්‍රාඥයාගේ පාලන කාලයේදී සීගිරිය පිළිබඳ මාගේ (MSC)විද්‍යාපති උපාධි පරීක්ෂණය සඳහා සීගිරියේ කැණීම් හා ගවේෂණ කටයුතුවලට මාස දෙකක් එහි ගත කර ඇති හෙයින් මේ ශෝචනීය සිදුවීම එනම්, සාමාන්‍ය ජනතාව අතර ප්‍රචලිත භාෂාවෙන් කිවහොත් සීගිරි බිතුසිතුවම්වල තාර ගෑ ජාති බ්‍රෂ්ටයින් කවුරුන්දැයි අපි නොදනිමු. එහෙත් සීගිරි කාශ්‍යප යුගයේදී (සීගිරි කාශ්‍යප රාජ අනුග්‍රහයෙන් මේ බිතුසිතුවම් නිර්මාණය කළ බව ප්‍රකටය) මේ සාපරාධී ක්‍රියාව සිදු කළේ නම් ඔවුන්ට දෙන දඬුවම මෙහි සඳහන් කළ යුතු නොවේ.
ජාතික හදගැස්මට කෙතරම් නම් මේ ඛේදනීය වූ සිදුවීම දැනුණේ ද යත් සීගිරියේ බිතුසිතුවම් විනාශ කළ දිනයේ දී සීගිරි කුරුටු ගී ලොවට දායාද කළ මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයාගේ දෑසට කඳුළු නැඟුණේය. ක්‍රිස්තු වර්ෂ පස්වැනි සියවසේ ඉදි කළ ඒ මහා කලාගාරය තුළ මෙරට සිටි අතලොස්සක් නිවටයින් බඩ පිනුම් ගැසුවත් දැයේ උරුමය සුරැකීමට අත හිත දුන් සුජනයන් ද සිටි බව අපි දනිමු.
"සීගිරියේ විනාශකාරී ක්‍රියාව ගැන අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතා විසින් බිතු සිතුවම් තහවුරු කිරීම පිණිස ලැබිය හැකි සුදුසුම විශේෂඥයාගේ සේවය ලබා දෙන ලෙස ඉල්ලමින් යවන ලද කේබල් පණිවිඩයක ප්‍රතිඵලයක් වශයෙන් රෝමයේ පිහිටුවා ඇති සංස්කෘතික වස්තූන් හැදෑරීමේ සහ සංරක්ෂණය කිරීමේ අන්තර්ජාතික මධ්‍යස්ථානය විසින් බිතුසිතුවම් තහවුරු කිරීම පිණිස ඉතාලි ජාතික ලුසියානෝ මරාන්සි මහතා තෝරාගෙන මෙරටට එවන ලදී. ලුසියානෝ මරාන්සි මහතා ඒ සඳහා සති දෙකක කාලයක් මෙහි ගත කළේය. ඒ අනුව 1967 ඔක්තෝබර් මස 22දා ලුසියානෝ මරාන්සි මහතා මෙහි පැමිණ මේ රටේ තහවුරු කිරීමේ කණ්ඩායම සමඟ සාකච්ඡා කළේය. පසුදිනම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ සීගිරියට ගිය මරාන්සි මහතා ගෙනෙන ලද ද්‍රව්‍යයන් යොදා අප විසින් (පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය රාජා ද සිල්වා) යොදා ගෙන තිබුණාට වඩා ඉක්මන් වැඩපිළිවෙළක් තෝරා ගැනීමට සමත් විය." (පුරාවිද්‍යා පාලන වාර්තාව 1967-1968 ආචාර්ය රාජා ද සිල්වා පුරාවිද්‍යා කොමසාරිස් පි. 25)
විනාශ කළ සීගිරි සිතුවම් සංරක්ෂණය කිරීමේ කටයුතුවල මුල් අදියර නිම කළ ලුසියානෝ මරාන්සි මහතා 1967 වර්ෂයේ නොවැම්බර් මස 4දා ආපසු සිය රට වු ඉතාලියට ගියේය. ඉන් පසු ඉතිරි සංරක්ෂණ කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තහවුරු කිරීමේ කණ්ඩායම විසින් සිදු කරන ලදී.
ඉන් පසු ලුසියානෝ මරාන්සි මහතා විනාශ කළ සීගිරි බිතුසිතුවම් සංරක්ෂණය කිරීමේ කාර්යය සඳහා 1968 වර්ෂයේ මාර්තු මස ශ්‍රී ලංකාවට ඔහු නැවතත් පැමිණියේය. පසු කාලයේ දිනමිණ කතු මඬුල්ලේ මාධ්‍යවේදී බන්ධුල ගුණරත්න මහතා සඳහන් කළ කරුණක් මගේ මතකයට නැඟුණි. ලුසියානෝ මරාන්සි මහතාගේ රට වූ ඉතාලියේ සංචාරය කළ ඔහුට එහි හෝටලයක දී ලුසියානෝ මරාන්සි හමු වී ඇත. මුහුණ පුරා රැවුල වවාගෙන සිටි ඔහු ඉතා මහලු වයසේ සිටි බව ඒ මහතා මා සමඟ පැවසුවේ සීගිරි බිතුසිතුවම් සංරක්ෂණයට පැමිණි මරාන්සි මහතා ශ්‍රී ලංකාවට දෙවතාවක් පැමිණි බව මා පැවසූ විටය.
පුරාවිද්‍යා ක්ෂේත්‍රයට පමණක් නොව අප රටේ සංස්කෘතික හා ජාතික වශයෙන් ලෝක ප්‍රකට අජන්තා බිතුසිතුවම් වලටත් වඩා වැදගත් වන මෙම සීගිරි බිතු සිතුවම් සැබවින්ම අජන්තා බිතුසිතුවම්වලට වඩා නිර්මාණාත්මක බව මා දැනගත්තේ ඉන්දු ලංකා සංස්කෘතික ගිවිසුම යටතේ 1997දී මාස දෙකක ඉන්දියාවේ ප්‍රාන්ත හතක පුරාවිද්‍යා අධ්‍යයන චාරිකාවක යෙදීමට ලැබුණු අවස්ථාව නිසාය. මහාරාෂ්ට ප්‍රාන්තයට අයත් අජන්තා බිතුසිතුවම් මෙන්ම එහි වූ මූර්ති කැටයම් පිළිබඳව ද අධ්‍යයනය කිරීමට මේ ලේඛකයාට අවස්ථාව සැලසුණි. එදා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වූයේ මීට දින කීපයකට පෙර අභාවප්‍රාප්ත වූ අපගේ ඉතාමත් සමීප දෙපාර්තමේන්තු ප්‍රධානියකු වූ ආචාර්ය සිරාන් දැරණියගල විද්වතාණන්ය. නිර්මාණාත්මකභාවයෙන් සීගිරි බිතුසිතුවම් සෑම අංගයකින්ම වර්ණ ගැන්වීමෙන් පමණක් නොව ඒවා මුලින්ම රේඛා ලෙසින් සටහන් කිරීමේදී පවා අප රටේ පාරම්පරික නිර්මාණශීලී සිංහල චිත්‍ර ශිල්පීන්ගේ දක්ෂතාවය අජන්තා බිතු සිතුවම් වලට ළංවිය නොහැකිය. මේ පිළිබඳ බොහෝ විද්වතුන් සඳහන් කර ඇත.
ඉහත සඳහන් කළ පුරාවිද්‍යා පාලන වාර්තාව ලියූ (ආචාර්ය ආර්.එච්. ද සිල්වා) ආචාර්ය රාජා ද සිල්වා මහතා (1967-1968) ආරම්භයේදීම මේ සීගිරි ඛේදවාචකය ගැන සිය වාර්තාවේ සඳහන් කර ඇත්තේ මෙසේය.
"මේ විනාශය වූ මුදල් වර්ෂයේ පළමුවැනි මාසයේ අවසන එනම් 1967 ඔක්තෝබර් මස 14 වැනිදා සීගිරියේදී ජාතික ශෝකාවාචකයක් සිදුවිය. ඒ රැයේ කළුවරේ සීගිරියේ බිතුසිතුවම් ගුහාවට රිංගාගත් විනාශකාරීන් විසින් වෙළෙඳ ද්‍රව්‍යයක් වශයෙන් ඇති කොළපාට තීන්ත ඉලීමෙන් එහි ශේෂව ආ සිතුවම් දහනවයෙන් දහහතරක්ම වසා තිබුණේය. මීට අමතරව විරූප කර තිබුණු කොටස් දෙකක බදාමය කිසියම් ආයුධයකින් කඩා දැමීමෙන් එක් රූපයක හිසත් අනික් රූපයේ ඉඟටියෙන් ඉහළ කොටසත් විනාශ කර තිබුණි. මේ මිල කළ නොහෙන බිතුසිතුවම් යළිත් යථා තත්ත්වයට පැමිණවීම සඳහා අවුරුද්දේ මුල් කොටසේදී දෙපාර්තමේන්තුවේ ශ්‍රමයත් බහුල වශයෙන් යොදන ලදී. මේ වාර්තාවේ ප්‍රධාන කොටසේ ඒ වැඩවල විස්තර ඇතුළත් වෙනවා ඇත.
ආචාර්ය සී.ඊ. ගොඩකුඹුර මහතා විශ්‍රාම යෑමෙන් පසුව මා භාරගත්තේ 1967 නොවැම්බර් මාසයේය.
මෙහි වාර්තාවෙන වැඩ සම්පූර්ණයෙන්ම වාගේ මගේ (ආචාර්ය රාජා ද සිල්වා මහතා) පාලනය යටතේ කෙරුණු වැඩය.
සංස්කෘතික හා අධ්‍යාපන කටයුතු අමාත්‍යවරයා වූ ගරු
අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල මැතිතුමා ද එම අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් තැන්පත් ඇම්.ජේ. පෙරේරා මහතා ද සීගිරියට ගිය නිල ගමනක ප්‍රතිඵලයක් වශයෙන් සීගිරි දියුණු කිරීම සඳහා මූලධන වියදම් යටතේ විශේෂ වැය ශීර්ෂයක් ඇති කරන ලදී." (පුරාවිද්‍යා පාලන වාර්තාව 1967-68 පි.3)
ඉහත සඳහන් වාර්තාවේම කාර්ය මණ්ඩලය නම් වූ උප ශීර්ෂයෙහි පහත සඳහන් කරුණු ද ඇතුළත් විය.
"ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතා 1967 දෙසැම්බර් මස 5 වැනි දින සිට රජයේ සේවයෙන් විශ්‍රාම ගත්තේය. සහකාර කොමසාරිස් ආචාර්ය ආර්.එස්. ද සිල්වා (ආචාර්ය රාජා ද සිල්වා) මහතා 1967 දෙසැම්බර් මස 11 වැනි දින සිට වැඩබලන පුරාවිද්‍යා කොමසාරිස් තනතුරට පත් විය. (එම පාලන වාර්තාව පි. 4) වර්තමාන කාලයේ මෙන් රහස් පොලිසියේ ඉතා දියුණු ක්‍රමවේදයක් තිබුණේ නම් බඩුත් සමඟ මේ මහා ඛේදවාචකය සිදු කළවුන් හා ඊට උපදෙස් දුන් ජාති බ්‍රෂ්ටයින් නීතියේ රැහැනට හසුවනු ඇත. කෙසේ වුව ද මේ මහා ජාතික විනාශය කළවුන්ට මේ ආත්මයේදී කළ කම් පල නොදුන්නොත් ලබන අත්බැව්හි දී ඊට නිසි දඬුවම් අවීචි මහා නරකයේදී විඳීමට සිදු වනු නොඅනුමානය. සීගිරි ලාලනියන් නැවතත් පණ ගැන්වීමට දායක වූ දේශීය හා විදේශීය විද්වතුන්ට ද ඒ සඳහා ඇප කැපවී සේවය කළ සැමට ද සුදුසු අවස්ථාවේදී තීන්දු තීරණ ගත් දේශපාලනඥයන්ට හා පරිපාලන නිලධාරීන්ටද ජාතියේ ප්‍රණාමය හිමි විය යුතුය."(තුන්කල් දුටු පරණවිතාන - සිරිසමන් විජේතුංග පි. 193-198 සරසවි ප්‍රකාශකයෝ 2015)
සිරිසමන් විජේතුංග
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ
හිටපු පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ හා
මහාචාර්ය සෙනරත් පරණවිතාන පදනමේ ලේකම්