Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
20
"මම අවුරුදු 33ක්ම හිටියේ බුද්ධි සේවයේ, දැන් තමයි මට මහජනයාත් එක්ක ගැටිලා රාජකාරි කරන්න වෙන්නේ..." - පොලිස් ඉතිහාසයේ DIG පුටු දෙකක එකටම ඉඳ ගත්තු පොලිස් ජෝඩුව

- "මම අවුරුදු 33ක්ම හිටියේ බුද්ධි සේවයේ, දැන් තමයි මට මහජනයාත් එක්ක ගැටිලා රාජකාරි කරන්න වෙන්නේ..." - පොලිස් ඉතිහාසයේ DIG පුටු දෙකක එකටම ඉඳ ගත්තු පොලිස් ජෝඩුවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,140 Views
වසර 155ක ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා පොලිසිය පසුගියදා සුවිශේෂී වෙනස්කම් රැසකට මුලපිරීය. ඒ නව ප්‍රතිසංවිධාන හා සැලසුම් රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමේ බලාපොරොත්තු ඇතිවය.

ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරියන් තිදෙනකු ප්‍රථමවතාවට නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීමත් ඊට සාපේක්ෂව ප්‍රධාන පොලිස් අධිකාරිවරුන් 225 දෙනකු සහකාර පොලිස් අධිකාරි තනතුරට පත්කිරීමත් මෙම සුවිශේෂී වෙනස්කම්වල ඇරැඹුම විය.
 
කාන්තාවන් තිදෙනකුට එකවර නියෝජ්‍ය පොලිස්පති ධුර ලැබීම පොලිස් ඉතිහාසය වෙනසකට යොමු කිරීමට සමත් වූ අතර එය පොලිස් නිලධාරිනියන්ගේ අනාගත රාජකාරි අපේක්ෂා මල්ඵල ගැන්වීමේ ප්‍රවණතාවක් ඇතිකරලීමට හැකි වී තිබේ. එමෙන්ම දක්ෂතාව හා හැකියාව ඇති මෙවන් කාන්තා නිලධාරිනියන්ට පොලිස්පති ධුරය සඳහා උසස්වීම් ලැබීමට හැකියාව හිමි වී තිබීමද අගය කළ යුත්තකි.
 
රේණුකා ජයසුන්දර, පද්මිණි වීරසූරිය හා නිශානි සෙනෙවිරත්න යන නිලධාරිනියන් මෙසේ නියෝජ්‍ය පොලිස්පති ධුර සඳහා උසස්වීම් ලැබුවෝ වෙති. මෙම තනතුරු ලැබීමත් සමඟ මොවුන්ට පොලිස් ඉතිහාසය තුළ අසමසම වාර්තා තබන්නටද හැකිවී තිබේ.
 
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ යම් යම් සිද්ධීන් සනිටුහන් වන්නේ අපූරු ආකාරයටය. එම ඉතිහාසය පිරික්සීමේදී පොලිස් දෙපාර්තමේන්තුව තුළ රාජකාරි කළ සොහොයුරෝ, අඹු - සැමියෝ, ඥාතීහු බොහෝ වූහ. එහෙත් පොලිසියේ උසස්ම තනතුරු තෙක් පියවරෙන් පියවර පැමිණ පොලිස් සේවයෙන් විශ්‍රාම ගිය පිරිස් ඇත්තේ ඉතාමත් අල්ප ගණනකි.
 
කලක් ශ්‍රී ලංකා පොලිසියේ පිහිනුම් ශූරයෝ ලෙස දයානන්ද සොහොයුරෝ පත්ව සිටියහ. පවුලේ පස්දෙනාම රාජකාරි කළේ පොලිසියේය. ඉන් කිත්සිරි දයානන්ද හා ධම්මික දයානන්ද විශ්‍රාම ගියේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙසය.
 
එමෙන්ම වික්‍රමසිංහ සහෝදරයෝද පොලිස් ඉතිහාසයේ තවත් වාර්තාවක් තබන්නට සමත් වූහ. හරිස්චන්ද්‍ර, ජයන්ත හා වසන්ත යන සහෝදරයන් තිදෙනාම විශ්‍රාම ගියේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙසය. එයද පොලිස් ඉතිහාසයේ සනිටුහන් වන වාර්තාවකි.
 
එමෙන්ම මුණසිංහ සහෝදරයෝද මෙම වාර්තා අතරට එක්වූ තවත් දෙදෙනෙකි. නන්දන මුණසිංහ හා රංජිත් මුණසිංහ ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස රාජකාරි කළහ. රංජිත් මුණසිංහ මේ වනවිට විශ්‍රාම ගොස් ඇති අතර නන්දන මුණසිංහ පොලිස් පරිපාලන අංශය භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස තවමත් රාජකාරියේ නිරතව සිටින්නේය.
 
මේ අතර නියෝජ්‍ය පොලිස්පති ධුරවල රාජකාරි කරන අඹු - සැමි යුවළක්ද පසුගියදා පොලිස් ඉතිහාසයට එක්වූහ. එය පොලිස් දෙපාර්තමේන්තුවේ දුර්ලභ සිදුවීමක් විය. මේ වාසනාවට ඔවුන් උරුමකම් කීවේ පසුගියදා නියෝජ්‍ය පොලිස්පති ධුර ලබාදීමත් සමඟය.
 
නියෝජ්‍ය පොලිස්පති නිශානි සෙනෙවිරත්න හා නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මෙම අඹු - සැමි යුවළ වෙති. මෙහි තවත් විශේෂත්වයක් වනුයේ එකම වසරේ පොලිසියට බැඳී එකම කොට්ඨාසයක සේවය කිරීමට මොවුන්ට හැකියාව ලැබීමය. මේ දෙදෙනාගෙන් පොලිස් සේවයට මුලින්ම එක්වන්නේ මහින්දය.
 
නිශානි පොලිසියට එක්වන්නේ 1988 වසරේ දෙසැම්බර් මස 26 වැනිදාය. මුල්ම කාන්තා උප පොලිස් පරීක්ෂක කණ්ඩායමට එක්වෙමින් ඇයට පොලිසියට එක්වීමට අවකාශ ලැබුණාය. මුලින්ම මෙලෙස බඳවා ගැනුණේද උප පොලිස් පරීක්ෂකවරියන් තිදෙනකු පමණි. නිශානිට මෙන්ම දීපානි හා තිලිනාද එම තුන්දෙනාගේ කණ්ඩායමට අයත් වූහ.
 
බඳවා ගැනුණු මොවුන් තිදෙනාම අනුයුක්ත වූයේ ජාතික ආරක්ෂක බියුරෝව නොහොත් එන්.අයි.බී. කොට්ඨාසයටය. බුද්ධි තොරතුරු රැස්කිරීම හා ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා බලධාරීන් වෙත යොමු කිරීම මෙහි කාර්යභාරය විය. ජාතික ආරක්ෂාව වෙනුවෙන් මෙම කාර්යාංශය වගකිව යුතු වැඩ කොටසක් සිදුකළේය.
 
නිශානි සමඟ ජාතික ආරක්ෂක බියුරෝවට එක්වූ දීපානි පසු කලෙක පොලිස් සේවයෙන් ඉවත්ව ගියත් තිලිනා හා නිශානි දිගටම බුද්ධි රාජකාරිවල යෙදුණාහ. තිලිනා මෙන්ම නිශානිද පියවරෙන් පියවරට උසස්වීම් ලැබුවේ එම බියුරෝවේ රාජකාරි කරමින්ය. දෙදෙනාම එහි ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ලෙසත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරියන් ලෙසත් රාජකාරි කළහ.
 
උප පොලිස් පරීක්ෂකවරියක් ලෙස ජාතික ආරක්ෂක බියුරෝවට එක්වූ නිශානිට පමණක් ඒ තිදෙනා අතරින් නියෝජ්‍ය පොලිස්පති ධුරයට පිවිසීමට වරම් ලැබීමද සුවිශේෂී කාරණාවක් විය.
 
ඇගේ පියා මෙන්ම මවද පොලිස් සේවයේ නිරතව සිටියහ. ඒ නිසා ඇගේ පවුල බොහෝ දෙනා හැඳින්වූයේ පොලිස් පවුලක් ලෙසිනි. නන්දා සෙනෙවිරත්න ඇගේ මවය. එච්.ජී. සෙනෙවිරත්න ඇගේ පියාය. නන්දා පොලිසියට එක්වන්නේ 1958 වසරේ කොස්තාපල්වරියක් ලෙසය. ඇය සමඟ පොලිසියට බඳවා ගැනුණේ තවත් කාන්තා නිලධාරිනියන් 13 දෙනකු පමණි. නිශානිගේ මව පොලිස් දෙපාර්තමේන්තුවට එක්වූයේ පස්වැනි කාන්තා කණ්ඩායම ලෙසය. විශ්‍රාමලත් ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රමිලා දිවාකර මහත්මියද නියෝජනය කළේ මෙම කණ්ඩායමය.
 
නිශානිට පොලිස් සේවයට එක්වීමට ආශාව කැමැත්ත ඇතිවූයේ ඇගේ මවුපියන් නිසාය. පොලිස් නිල ඇඳුම ඇයට බෙහෙවින් හුරු පුරුදු විය. මවත් පියාත් බොරැල්ල පොලිස් නිවෙස්වල රැඳීසිටීම නිසා නිශානිටද ඔවුන් සමඟ ජීවත්වන්නට සිදුවිය. ඒ නිසා ඇයට කොළඹ ප්‍රසිද්ධ කාන්තා විද්‍යාලයක් වූ ආනන්ද බාලිකාවෙන් සිප්සතර හදාරන්නට වරම් ලැබුණාය.
 
ඇගේ මවුපියන් දෙදෙනාම පොලිස් සේවයෙන් විශ්‍රාම ලබන්නේ ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ රාජකාරි කරමින් සිටියදීය. උප පොලිස් පරීක්ෂකවරියක් ලෙස ජාතික ආරක්ෂක බියුරෝවට එක්වූ ඇය එහි නිහඬ අවංක රාජකාරියක් ඉටුකළ තැනැත්තියක් වූවාය. බුද්ධි සේවාවල රාජකාරි කිරීම නිසා ඇය බොහෝ දෙනාට සමීප වූයේ නැත. ඇය නිල ඇඳුමෙන් සිටින මොහොතක් දැකගන්නට හැකිවූයේ නම් ඒ පොලිස් දෙපාර්තමේන්තුවේ කිසියම් උත්සවයකදී පමණි. ඇය කරන භාරධූර රාජකාරිය නිසා ඇය සමාජයට අවතීර්ණ නොවීය.
 
1995දී පොලිස් පරීක්ෂකවරියක් ලෙස උසස්වීම් ලැබීමෙන් අනතුරුවය. 2003දී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක් ලෙස උසස්වීම් ලැබුවාය. ඒ සියලු තරග විභාගවලට මුහුණදීමෙන් අනතුරුවය. 2008 වසරේදී සහකාර පොලිස් අධිකාරි තනතුරට උසස්වීම් ලබන නිශානි 2014දී පොලිස් අධිකාරිවරියක් ලෙසත් 2018දී ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරියක් ලෙසත් උසස්වීම් ලැබුවාය. මේ කාලය පුරාම ඇය උසස්වීම් ලැබුවේ රාජ්‍ය බුද්ධි සේවයේ නිරතව සිටියදී වීම තවත් විශේෂත්වයක් විය.
 
තම රාජකාරිය ප්‍රගුණ කරමින් ඇය දෙස් විදෙස් පාඨමාලා රැසක්ද හැදෑරුවාය.
 
මෙලෙස පියවරෙන් පියවරට පිය නැඟූ නිශානි නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්වීම් ලබන්නේ පොලිස් ඉතිහාසයේ සුවිශේෂී වාර්තාවක් තබමිනි. ඒ ඇගේ ජීවන ගමනේද එක්තරා කඩඉමක් වූවාය. ඇගේ සැමියාද මේ වනවිට නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස රාජකාරි කිරීම ඊට හුදෙක් හේතුවිය. අඹු-සැමි යුවළක් පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස සක්‍රිය සේවයේ යෙදීම සුවිශේෂී සිදුවීමක් මෙන්ම දුර්ලභ අවස්ථාවක්ද වේ.
 
නිශානිගේ සැමියා මහින්ද ගුණරත්න මේ වනවිට රාජකාරි කරනුයේ කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසය. මේ නිසා ඇය දැඩි සතුටට පත්ව සිටියාය.
 
“ඇත්තටම හරිම සතුටක් දැනෙනවා. අපි දෙන්නම එකට තමයි පොලිසියට බැඳුණේ. එයා 1988 ජුනි මාසේ මම 1988 දෙසැම්බර් මාසේ. ඒ වගේම අපි දෙන්නා මුලින්ම රාජකාරි කළේත් එන්.අයි.බී. එකේ.”
 
“ඒ බියුරෝවේදී තමයි අපි දෙන්නා දැන හඳුනගත්තේ. 1988 පොලිසියට බැඳිලා අපි 1998දී කසාද බැන්දා. දැන් අපිට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. අපි ඉන්නේ මාලබේ. මට ඉන්නේ දියණියන් දෙන්නෙක්. එයාලා ඉගෙන ගත්තේ විදුර විද්‍යාලයේ. ලොකු දුව කොතලාවල ආරක්ෂක පීඨයේ මෘදුකාංග ඉන්ජිනේරු උපාධිය හදාරනවා. බාල දියණිය උසස් පෙළ කරනවා.
 
වෙනත් ක්ෂේත්‍රවල එකට සේවය කරන අඹු-සැමියන් ඉන්නවා. ඒත් පොලිස් දෙපාර්තමේන්තුවේ මේතාක් එහෙම කවුරුත් හිටියේ නැහැ. ඒ නිසා මට ඇත්තටම සතුටුයි. අපි දෙන්නම එකට ඩී.අයි.ජී.ල විදිහට සේවය කිරීම ගැන. අනෙක මම පොලිසියට බැඳුණු දවසේ ඉඳලම රාජකාරි කළේ බුද්ධි අංශයේ. ඒ නිසා මාව කවුරුත් දැනගෙන හිටියේ නැහැ. මගේ විස්තරයක්, ෆොටෝ එකක් කිසිම මාධ්‍යයක පළ වුණෙත් නැහැ. නිල ඇඳුම අපිට හිමි වුණත් පොලිස් දෙපාර්තමේන්තුවේ උත්සවයකදී තමයි නිල ඇඳුම ඇන්දේ. රාජකාරි කළේ සිවිල් ඇඳුම්වලින්.”
 
“ඒ නිසා කවුරුත් මාව දැනගෙන හිටියේ නැහැ. ඩී.අයි.ජී. වුණාම තමයි පත්තරවල, විද්‍යුත් මාධ්‍යවල පින්තූර විස්තර යන්නේ.”
 
“දැන් අපි දෙන්නම ඩී.අයි.ජී.ලා නිසා අපි දෙන්නටම වගකීමක් තියෙනවා ඉදිරියට මුහුණ දෙන්න. මම අවුරුදු 33ක්ම හිටියේ බුද්ධි සේවයේ. දැන් තමයි මට මහජනයාත් එක්ක ගැටිලා රාජකාරි කරන්න වෙන්නේ. මගේ කාර්යභාරය සම්පූර්ණයෙන් වෙනස්. ඒත් අපි පොලිස් නිලධාරීන් නිසා ඒක එතරම් අමාරු නැහැ. ඉක්මනින් මේ විෂයට අනුගත වීමයි මගේ බලාපොරොත්තුව.”
 
“අලුතින් පත්වුණු රාජකාරිය මම බුද්ධි සේවයේ ඉන්න කොටත් කරලා තියෙනවා. මම බැඳෙන්නෙත් කොම්පියුටර් තාක්ෂණය අවබෝධය ඇතිව. එහිදීත් මම පර්යේෂණ කළා. විමර්ශන කළා. ඒ දැනුම මා සතුයි. අලුත් දෙයක් නෙමේ.
 
මහත්තයත් පොලිසියේ අවුරුදු ගාණක් රාජකාරි කරලා තමයි මෙතැනට ආවේ. ඒකට සතුටක් තිබුණට ඒකේ ඒතරම් විශේෂත්වයක් නැහැ. පිටින් බලන කෙනකුට තමයි ඒ විශේෂත්වය පේන්නේ. ඉදිරියට අපි දෙන්නා වගකීමෙන් වගේම අවබෝධයෙන් රාජකාරි කරනව”
 
නිශානි සෙනෙවිරත්න නියෝජ්‍ය පොලිස්පතිවරිය පැවැසුවාය.
 
ඇයගේ ප්‍රකාශය නිවැරදිය. වසර 33ක් පුරා රාජ්‍ය බුද්ධි සේවයේ නිරත වූ ඇය සමාජයට නිරාවරණය වන්නේ පර්යේෂණ හා තොරතුරු තාක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස රාජකාරි භාර ගැනීමත් සමඟය.
 
ඇගේ සැමියා නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්නද බොහෝ කාලයක් ප්‍රභූ රාජකාරිවල නිරත වූ නිලධාරියෙකි. රටේ ජනාධිපතිවරුන් තිදෙනකුගේම ආරක්ෂාව භාරව ඔහු ක්‍රියා කළේය. එමෙන්ම එය නිවැරදිව වගකීමකින්ද ඉටු කළේය. කුලියාපිටිය සාරනාත් මහා විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබූ මහින්ද, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ මූලික උපාධිය ලබාගෙන ඇත. පසුව එම විශ්වවිද්‍යාලයේම අපරාධ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ලබාගත් ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් ගැටුම් කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියද ලබාගත්තේය. විදේශීයවද අධ්‍යාපනය ලැබූ ඔහුගේ පියා වතු පාලකයකුද විය.
 
1988 ජුනි මස උප පොලිස් පරික්ෂකවරයකු ලෙස පොලිස් සේවයට එක්වන කඩවසම් මහින්ද, කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් පුහුණුව ලැබීමෙන් අනතුරුව ජාතික ආරක්ෂක බියුරෝවට එක්ව ඔහු කලක් එහි රාජකාරි කළේය. ඔහුට නිශානි මුණ ගැහෙන්නේ එම බියුරෝවේදීය. ඒ වනවිට දෙන්නාම උප පොලිස් පරීක්ෂකවරුන් ලෙස රාජකාරි කළහ.
 
බුද්ධි රාජකාරියෙන් අනතුරුව 1996 වසරේදී ප්‍රභූ ආරක්ෂක රාජකාරියට එක්වන මහින්ද පොලිස් පරීක්ෂකවරයකු ලෙස එහි රාජකාරි කළේය. 1998 වසරේ සැප්තැම්බර් 25 වැනිදා මහින්දගේත් නිශානිගේත් විවාහය සිදුවිය. ඒ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීය.
 
ඉන් අනතුරුව සහකාර පොලිස් අධිකාරිවරුන් බඳවා ගැනීමේ සීමිත තරග විභාගයට මුහුණ දුන් ඔහු එම විභාගයෙන් ඉහළින්ම සමත්ව 1999 ලබන්නේ ඒ.ඇස්.පී. ධුරයට උසස් කරනු ලැබීය. ඔහු එම උසස්වීම ලබන්නේ පොලිස් පරීක්ෂකවරයකු ලෙස රාජකාරි කරමින් සිටියදීය.
 
සහකාර පොලිස් අධිකාරි ලෙසද ඔහු ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කළේය. එහි විවිධ තනතුර දරමින් 1996 වසරේ සිට 2018 දක්වාම ජනාධිපති ආරක්ෂක අංශයේ රාජකාරි කළේය.
 
චන්ද්‍රිකා කුමාරණතුංග, මහින්ද රාජපක්ෂ හා මෛත්‍රිපාල සිරිසේන යන ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව භාරව ක්‍රියා කළ මහින්ද ගුණරත්න එහි අධ්‍යක්ෂවරයාද විය. 1996දී නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස්වීම් ලබන ඔහු ජනාධිපති අරක්ෂක අංශයට (PSD) සමුදෙන්නේ කිලිනොච්චි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කිරීමෙන් අනතුරුවය. ඒ 1999 වසරේදීය. ඉන් අනතුරුව කෑගල්ල හා විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස රාජකාරි කරන ඔහු මේ වසරේ ජුනි මාසයේ කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්වීම් ලබන්නේය. ඔහු මේ වනවිටත් එම දිසාව භාරව රාජකාරි කරනු ලබයි.
 
ඒ අනුව මහින්දත් නිශානිත් මේ වනවිට නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස සක්‍රිය සේවයේ යෙදෙන එකම අඹු - සැමි යුවළ ලෙස පොලිස් ඉතිහාසයට එක්වෙති.
 
මේ වාර්තාව තැබීමට මහින්ද හා නිශානි යුවළට හැකි වූයේ පසුගිය හය වැනිදාය. ඒ ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් ප්‍රථමවතාවට කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියක් ලෙස නිශානි උසස්වීම් ලැබීමත් සමඟය.
 
එහෙත් මෙම වාර්තාව ඇත්තේ තව සීමිත දින ගණනකට පමණි. ඊට හේතුව වන්නේ මහින්ද ගුණරත්න තව නොබෝ දිනකින් ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස්වීම් ලැබීමට නියමිත නිසාය.
 
කෙසේ වෙතත් නිශානිටත් ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරය ලැබීමට වාසනාව හිමිවේද යන්න දැන්ම කිව නොහැකිය. එය ඇගේ වාසනා මහිමය හා දෛවය තීරණය කරනු ඇත. ඒ සඳහා 2021 සිට 2027 දක්වා කාලයක් ඇයට හිමිය. ඇය විශ්‍රාම ගැනෙනුයේ 2027 වසරේදීය. එහෙත් මහින්ද විශ්‍රාම යන්නේ ඇය විශ්‍රාම යෑමට කලින්ය. ඒ 2026 වසරේදීය. දෙදෙනාගේ විශ්‍රාම ගැන්වීමේ කාලය ඇත්තේ මාස කිහිපයක පරතරයකි.
 
පොලිස් ඉතිහාසය උඩුයටිකුරු කරමින් නියෝජ්‍ය පොලිස්පති ධුරයේ රාජකාරි කරන මහින්ද - නිශානි යුවළ ඇත්තෙන්ම ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට මහත් ආඩම්බරයකි.
 
ඒ අනුව ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියන් හතර දෙනකු මේ වනවිට රාජකාරියේ යෙදෙති. වත්මනේ රාජකාරියේ යෙදෙන නියෝජ්‍ය පොලිස්පතිනි බිම්සානි ජාසිංආරච්චි මහත්මිය පළමු නියෝජ්‍ය පොලිස්පතිනිය වීමේ වාසනාව ලැබූ තැනැත්තිය වූවාය. ඇගේ පත්වීමද මහත් ආන්දෝලනයක් ඇති කරලීමට සමත් වූ අතර ඇගේ තනතුර අවලංගු කරන්නැයි ඉල්ලමින් ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරුන් කිහිපදෙනකු නඩු මඟටද බැස තිබිණි.
 
එහෙත් කාන්තාවකට නිසි තැන හා සම තැන අයිතිය ලබාදෙමින් වත්මන් රජය, ආරක්ෂක ලේකම්, මහජන ආරක්ෂක ඇමැති, පොලිස්පති ඇතුළු පාර්ශ්ව කාන්තා පොලිස් නිලධාරිනියන් තිදෙනකු ප්‍රථමවරට කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියන් ලෙස උසස් කරනු ලැබීම මුළු කාන්තා පරපුරටම මහත් ආඩම්බරය ගෙන දෙන්නක් විය. එමෙන්ම ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව තුළ රාජකාරි කරන කාන්තා නිලධාරිනියන්ට මෙන්ම පොලිස් සේවයට එක්වීමට බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවන්ටද තම හැකියාවන්, දක්ෂකම් ප්‍රදර්ශනය කරමින් ඉදිරියේදී පොලිස්පති ධුරය දක්වාම ගමන් කිරීමේ හැකියාව ලැබෙන පරිදි ශ්‍රී ලංකා පොලිසියේ නව ප්‍රතිසංවිධාන සැලසුම් සකස් වී ඇති බව අවධාරණය කළ යුතුව ඇත.
 
මව්බිම
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්





Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top