පුංචි කාලේ ඉදලා ම ආසාවක් තිබුණා රඟපාන්න. නමුත් නළුවෙක් කියන්නේ කවුද කියලා නම් දන්නේ නැහැ. ඒත් මම පුංචි කාලෙදි චිත්‍රපටි බලන්න ගියහම ඒවායේ සිත්ගත් චරිත ගෙදර ඇවිත් පවුඩර් ගාගෙන, දැලිගාගෙන රඟ පෑවා. පාසල් වේදිකාවෙදීත් රඟපෑම මගේ ඇඟේ ම තිබුණ බව හඳුනා ගත්තා. මේ සියලුදේ මේ විදිහට සිද්ධ වුණත් මම නළුවෙක් විදිහට පළමුව රඟපෑමට එක් වන්නේ හීනෙකින්වත් හිතපු නැති වෙලාවක,.
වේදිකා නාට්‍යයක රඟපෑමට සිටි නළුවෙකු එදින පැමිණ සිටි නැති නිසා ඔහුගේ පුරප්පාඩුව පුරවන්නයි...තාවකාලිකව මාව රඟපෑමට යොදාගත්තේ.....
අහඹු ප්‍රවේශය ජීවිතය හැරවුම් ලක්ෂයක් වුණා?
ඇත්තටම. අද ලෝකය පුරා මට ආදරේ කරන පිරිසක් ඉන්නේ, ගිරිරාජ් කෞශල්‍ය කියලා මාව දන්නේ එදා ඒ පුංචි ප්‍රවේශයකින් කලා ලෝකයට දොරටු විවර කරගත් නිසයි. එ මතකය හැම දාමත් ආදරණීය යි.
රැයකින් පායන තරුවක් වෙලා පහුවෙනිදා නිවිලා යන විදිහට නළුවෙක් වෙන අය නම් ඕන තරම් ඉන්නවා. නමුත් එදා අපි ආපු ගමන හරිම දුෂ්කරයි. ඇත්තම කියනවා නං චරිතාංග නළුවෙක් වෙන්න කට්ටක් කන්න ඕනේ .ඊට අමතරව ඉතින් ‘‘වාසනාව” ‘‘ලැබීම” කියන දේත් ක්ෂේත්‍රයේ රැඳෙන්න බලපානවා.
වාසනාව ලැබීම ගැන ඔබ විශ්වාස කරනවාද?
අපොයි ඔව්. මම ඒක ඉහළින්ම විශ්වාස කරනවා.ලක්ෂ ගානක් ඉන්න රටක කලා ලෝකයේ ඉන්නේ අතලොස්සක්. ඒ අතර ආදරණීය චරිතයක් වෙනවා කියන්නේ පොඩි පහේ සෙල්ලමක්ද......?
ආදරය නිර්වචනය කරන්න කිව්වොත්?
ආදරේ කියන්නෙ නම් ආත්මාර්ථකාමී හැඟීමක්. ඒ නිසානේ එය සත්ත්වයින්ගේ සතුට දුක දෝලනය කරන හස්තයක් බවට පත් වෙල තියෙන්නේ.
ප්‍රේමණීය ආදරයක් ඔබටත් තියෙන්න ඇති ?
මට මතක හැටියට මගේ පළමු ආදරේ පටන් ගන්න කොට මට වයස අවුරුදු දහතුනයි. පස්සෙත් ඉතින් පුංචි පුංචි පාසල් ප්‍රේමය එහෙම තිබුණා .ඇත්තම කියනවා නම් පාසල් කාලයේදී විවිධ දක්ෂතා ගොඩක් තිබුණු නිසා ගැහැණු ළමයින්ට මගේ ගැන ඉබේටම ආදරයක් දැනුන කියලයි මටනම් හැඟුනේ.
රඟපෑමට අමතරව මම ස්ථිර රැකියාවක නිරත වුණු කෙනෙක්. එහිදී තමයි මට ඇය ව මුණගැහෙන්නේ . බොහොම ආදරණීය චරිතයක්. මම අද යම් තැනක ඉන්නවා නම් ඒ ගෞරවය අනිවාර්යයෙන් ම ඇයට හිමිවිය යුතුයි .මගේ ජීවිතයට ඇය මිණිපහනක්. අද වෙනකොට අපි ආච්චිලා සීයලා වෙලා. නමුත් එදා වගේම අද ඇය මට සෙනෙහෙබර මවක්. ආදරණීය බිරිඳක්. ප්‍රේමණීය පෙම්වතියක්. අද ඇත්තටම ඇය කෙරෙහි මට තියෙන්නේ ආදරේටත් එහා ගිය විශාල ගෞරවයක්.
සොඳුරු නිළියන් එක්ක රඟපාන කොට තහංචි එහෙම වැටුණේ නැද්ද?
නැහැ.කවදාවත්ම නැහැ. වාසනාවකට වගේ ඒ දවස් වල මම රඟපාන හැම තැනකදිම මාත් එක්ක රඟපෑමට හිටියෙ මට වඩා වයසින් වැඩි රංගන ශිල්පිනියන්. අනික ඉතිං පෙර වැරදි එහෙමත් නැති නිසා විශ්වාසය බිඳ වැටීම නම් කවදාවත් අපේ පවුල් ජිවිතෙ තිබුණේ නැහැ.
කොන්ඩෙ නැති එක අඩුවක් කියලා හිතිලා නැද්ද?
කවදාවත් නැහැ .මගේ කොණ්ඩය යන්න පටන් ගත්තේ මට වයස අවුරුදු විසි හතක් විසි අටක් විතර වෙනකොට .එතකොට ඉතින් බැඳලා පළමු දරුවාත් ලැබිලා නිසා යන කොණ්ඩයක් ගැන හිත හිත ඉන්නවාට වඩා හිතන්න ඕන තරම් දේවල් මට තිබුණා. අදටත් මම හිසකෙස් නැති ඔලුව අඩුවක් ව්දිහට හිතන්නේ නැහැ. මගේ අනන්‍යතාව ඇතුළෙ තට්ටෙ කියන්නේ මාව අඳුනාගන්න ප්‍රධානම මෙවලම.
ජනප්‍රියත්වය කියන්නේ ආඩම්බර විය යුතු දෙයක්ද?
ජනප්‍රියත්වය නිසා ලබන ආදරය වචනයෙන් විස්තර කරන්න බැරි තරම් .ඒ තරමටම ආදරණීයයි. ප්‍රශංසා, පිළිගැනීම්, අගය කිරීම් සියල්ල ලැබුණත් ජනප්‍රියත්වය කියන්නේ හරිම තාවකාලික දෙයක් විදිහට යි මමනං දකින්නේ. අද බබලන තරු හෙට අඳුරු වෙන්න පුළුවන්. එයයි කලා ලෝකයේ ස්වභාවය. ඒ නිසා ජනප්‍රියත්වය ‘‘ආඩම්බරයක්” විදිහට කවදාවත් මට දැනිලා නැහැ.
විලාසිතා කරන්න කැමති ද?
නලුවෙක්, විලාසිතා කරන්න ඕනේ කියලා හැඟීමක් නම් මට නැහැ. ඒත් පහසුව සරල කම වෙනුවෙන් කලිසම ඇඳලා ටී ෂර්ට් එකක් ඇඳලා ඉන්නවා.
නිරෝගිකම ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මොනවද කරන්නේ?
රඟපෑම කියන විෂය නියමාකාරයෙන් කිරීමට නිරෝගී කම අත්‍යවශ්‍ය දෙයක්. කොහොම නමුත් නිරෝගී කම කියන්නේ සම්පතක් නෙ. ඒ නිසා ඉතින් කෑම පාලනය, ව්‍යායාම කිරීම, වතුර වැඩිපුර බොන එක, හිත නිදහස්ව තියාගන්න එක, සතුටින් ඉන්න එක වගේ දේවල් මගේ අතින් හැමතිස්සෙම සිද්ධ වෙනවා .
ව්‍යායාම වෙනුවෙන් මොනවද කෙරෙන්නේ?
නිවසේ ඉන්න දවසට බයිසිකල් පදින එක ව්‍යායාමයක් විදිහට කරනවා. ඊට අමතරව ගෙදර ඉන්න හැම දවසකම මිදුල අතුගාලා, වතු සුද්ද කරලා, රෙදි සෝදන්නේ මම. ඒ හැම දේම සතුටින් කරන නිසා ඇඟට හොඳ ව්‍යායාමයක් ලැබෙනවා වගේ ම මනසටත් හරිම සතුටක් දැනෙනවා.
සතුටින් ඉන්න අමුතුවෙන් මුකුත් කරන්න ඕනේ නැද්ද ?
සතුටින් ඉන්න එක මගේ ජීවිතේම කොටසක්. අදටත් දරුවෝ දෙන්නයි , බැනලා දෙන්නයි, මුනුපුරු මිනිබිරියෝ ආවහම පැදුරු පාටියක් ගෙදර දානවා. මම අනුගමනය කරන සරල ජීවිතය ඇතුළේ මම හැමදාම ඉන්නේ සතුටින් .කාගෙත් එක්ක වත් තරගයක් නැති නිසා මම හැමදාම හිටියේ දිනලා. අනිත් දේ තමයි හැමදාම මම ජීවත් වුණේ මට ජීවත් වෙන්න පුළුවන් ප්‍රමාණයට වඩා අඩි කිහිපයක් පහලින් .ලෝකෙට පේන්න ජීවත් වෙන්න ගිහින් ජීවිතේම සතුට නැති කරගත්ත මිනිස්සු ගැන මං ඕන තරම් දැකල තිබුණා .ඒ නිසා ඒ තැනට ළං වෙන්න මට කොහොමටවත් ම වුවමනා වුණේ නැහැ.
ජීවිතයේ අමතක නොවන සිහිවටන ගැන කතා කළොත්?
මා කළ නිර්මාණයන්ට ජනාධිපති සම්මානය ඇතුළු සම්මාන කිහිපයක් ලැබීම අමරණීය මතකයක්.
සුවඳ විලවුන් වලට නම් මං ගොඩක් ආසයි .අදටත් කවුරුහරි පිටරටකට හරි ගිහින් එනකොට මට මොනවද ගේන්නේ ඕනෙ කියලා ඇහුවොත් මම කියන්නේ මට පර්ෆියුම් එකක් ගෙන්න කියලයි.
ජීවිතේ වැඩියෙන්ම සතුටු වුන දවස?
පියකු ලෙස මා හිස ඔටුනු පැලඳූ මගේ දියණිය න් මේ ලෝකෙට බිහි වුණු දවස. මාගේම චිත්‍රපටයක් වන සිකුරු හතේ චිත්‍රපටියේ මුහුරත් උළෙල තිබුණ දවස වගේම දියණියන් දෙදෙනා විභාගවලින් ඉහළින් සමත්වීම, ඔවුන්ගේ විවාහ උත්සවය තිබුන දවස් , මුනුබුරු මිනිපිරියන් ඉපදුනු දවස් ජීවිතයට බොහෝ සතුට ගෙන දුන්න දේවල් විදිහට මතකයෙ තිබෙනවා.
විජය නන්දසිරි අයියගෙයි, ඇන්ටන් ජූඩ් නැති වෙලා කියලා අහපු පණිවිඩ කන වැකුණු මොහොතේ හිතට දැනුනු සංවේදී වේදනාව අදටත් දරාගන්න අමාරුයි. කලා ලෝකයේදී මුනගැහුන හරිම සුන්දර මිනිසුන් දෙදෙනෙක්. ඔවුන් දෙදෙනාගේ වියෝව අදටත් හීනයක් වගේ .
වයසට යන එක නතර කළා ද? අවුරුදු ගාණක් තිස්සේ ම දකින්න එකම විදිහට.?
මට දැන් වයස අවුරුදු පනස් හතක්. සීයා කෙනෙක්. කවදාවත් තරුණකම රැකගන්න කියලා නම් මොකුත් කරලා නැහැ .නමුත් මම හිතනවා සිතුවිල්ලකින් වත් කෙනෙකු ගැන වරදක් හිතන්නේ නැති නිසා අපි ඉබේම නිරෝගි වෙනවා .,තරුණ වෙනවා කියලා. සතුටින්, සැහැල්ලුවෙන් ඉන්න කොට ජීවිතයේ හැමදාම අලුත් වෙනවා.