අනියම් සබඳකම් බොහෝ විට කෙළවර වන්නේ මිනීමැරුමකිනි. මෙවැනි අනියම් සබඳකම් නිසා ඇතිවන පවුල් ආරවුල්වලින් අසරණභාවයට පත්වන්නේ ඔවුන්ගේ දූ දරුවන් බව අමුතුවෙන් කිව යුතු නොවේ.
අනියම් ඇසුරු නිසා සිය පවුල් ජීවිත විනාශ කරගත් ඇතැම් පිරිස් හිරගෙවල්වල අපා දුක් විඳිති. සමහරු කළ වරද සිහියට නැඟ එල්ලුම් ගස පෙනි පෙනී හඬා වැලපෙති. පසුතැවිලි වෙති.
ඒ කුමක් වුවත් අනියම් සබඳතා නිසා සිදුවන මිනිස් ඝාතනවල අඩුවක් තවමත් දක්නට නොලැබේ. දිනපතා වාර්තාවන මිනීමැරුම් බොහොමයක් සිදුව ඇත්තේ අනියම් සබඳතා නිසා බව හෙළි වී තිබේ.
ඉකුත් දින තවත් එවන් සිදුවීමක් බොරලැස්ගමුව පොලිස් වසමේ එගොඩවත්ත පාර ප්‍රදේශයෙන්ද වාර්තා විණි. කොරෝනා ආසාදනය වූ තම බිරිය හුස්ම හිරකොට මරාදැමීම සම්බන්ධයෙන් ඇගේ සැමියා පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබිණි. පොලිස් විමර්ශනයේදී හෙළිවූයේ සැකකාර සැමියා තම බිරිය එසේ මරා දමා ඇත්තේ ඔහු විසින් සම්බන්ධකම් පත්වන අනියම් බිරියත් සමඟ ජීවත්වීමේ අදහසිනි.
ඝාතනයට ලක්වන්නේ තුන්වැනි පටුමඟ එගොඩවත්ත බොරලැස්ගමුව ලිපිනයේ පදිංචි හතළිස්පස් හැවිරිදි කලණි යසින්තා මාපලගම නමැති දෙදරු මවකි.
කලණි දරුවන් තිදෙනකුගේ පවුලේ බඩ පිස්සීය. ලොකු අයියා චමල්ය. දුලිප් දෙවැන්නාය. කලණි බාලයාය. අයියලා දෙන්නා ඇයට දැක්වූයේ දැඩි ආදරයකි. අයියලා දෙන්නාට වඩා කලණි අමුතුම ගති පැවතුම් ඇති තැනැත්තියක් වූවාය. ඇය නිහතමානීය. ඇය ගෙදරම හැදී වැඩුණාය.
ඔවුන්ගේ මහගෙදර පිහිටියේ විජේරාම වනාත පාරේය. පියාගේ වියෝවෙන් පසු දරුවන් නඩත්තු කරමින් ඔවුන්ට යහමඟ කියාදුන්නේ ඔවුන්ගේ මවය.
තරුණ වියට එළැඹි කලණිට විවාහ යෝජනාව ගෙනාවේ ඇගේම මිතුරියක් විසිනි. ඒ විවාහ යෝජනාවට මව හා සහෝදරයන්ද කැමැත්ත දුන්නේ ප්‍රියන්ත හොඳ කෙනෙක් බවට විශ්වාස කළ නිසාය. ඔහු කොට්ටාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 2006දී කලණිගේත් ප්‍රියන්තගේත් යෝජිත විවාහය සිදුවූයේ දෙපාර්ශ්වයේම ආශීර්වාද මැදය. විවාහයෙන් පසු ඔවහු නාවින්නේ කලණිගේ මවුපියන්ට අයත් ගෙදරක ජීවත්වූහ. කල්යෑමේදී ඇය එගොඩවත්ත නිවෙස මිලට ගත්තාය. ඇය එම නිවෙස ගනිද්දී උඩුමහලේ වැඩ කටයුතු නිමවී නොතිබූ අතර පසුගිය සති කිහිපයකට පෙර උඩුමහල තනන්නට නිවෙසට පෙදරේරුවන් දෙදෙනෙක් පැමිණ සිටියහ.
කාලය ඇවෑමෙන් ඔවුහු එගොඩවත්ත පාරේ සතුටින් ජීවත් වූහ. ඒ අතරතුර ඔවුන්ට දරු දෙදෙනකුගේ සුරතල් බලන්නට හැකි විය. ලොකු පුතාට මේ වන විට වයස අවුරුදු 13කි. දුවට වයස අවුරුදු හයකි.
කලණිගේ දෙවැනි සොහොයුරා වූ දුලිප් සිටියේ විදේශගතවය. ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියාවක නිරත විය. ලොකු අයියා චමල් හිටියේ දෙල්කඳ ප්‍රදේශයේය. ඔවුන් නංගි ගැන නිතරම සොයා බැලීය.
කෙසේ වෙතත් මෑතක කාලයක සිට කලණිත් ප්‍රියන්තත් අතර අඹුසැමි ආරවුල් හටගෙන තිබිණි. ඉවසන්නට බැරිම තැන ඇය මේ බව අරාබියේ සිටින දුලිප්ට කීවේය. ලොකු අයියාට වැඩියමක් කියන්නට නොගියේ ඔහු හා සැමියා අතර ආරවුලක් ඇති වේ යැයි යන සැකය නිසාය.
මෙම ආරවුලට ප්‍රධාන හේතුව වූයේ කලණිගේ සැමියා බාල වයස්කාරියක් සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන යෑම බව කියැවේ. ඇය මීගොඩ ප්‍රදේශයේ රැකියාවක් කරන විසිහතර හැවිරිදි තරුණියකි. ප්‍රියන්තගේ බිරියට වයස අවුරුදු 45කි. මේ නිසා ප්‍රියන්තගේ සිත ඇය කෙරෙහි ඇදී යන්නට ඇත. ඒ ඇය ළාබාල වියේ පසු වූ නිසාය.
විදේශගතව සිටින දුලිප් තම නැඟණියට සාධාරණයක් ඉටුකරන්නට දැඩි වෙහෙසක් ගත්තේය. ප්‍රියන්තටද ඔවදන් දුන්නේය. අනියම් ඇසුර නතරකොට දරුවන් වෙනුවෙන් නංගිත් සමඟ සතුටින් සිටින්නට යැයි කීවේය. එහෙත් කුමක් හෝ බොරුවක් කියා ඔහු ලිස්සා ගියේය. අවසානයේ කලණි තම සැමියාගේ කල්ක්‍රියාව ඔහුගේ ඥාතීන්ටද කීවාය. පවුල් ආරවුල් උත්සන්න වූයේ එවිටය. නංගිගේ ප්‍රශ්නය සමථයකට පත්කරන්නට දුලිප් ලංකාවට එන්න අදහස් කළද කොරෝනා වසංගතය ඊට දැඩි බාධාවක් ගෙනාවේය.
මීට දින කිහිපයකට පෙර කලණිට හදිසියේ අසනීප තත්ත්වයක් ඇති විය. ඒ කොවිඩ් ආසාදිත වීම නිසාය. පසුව ඇය නිවෙසේ කල්ගත කළාය. ඒ නිසා ඇය බොහෝ විට යහන්ගතව සිටියාය.
ඒ ඉකුත් 15 වැනිදාය. වෙලාව මධ්‍යම රාත්‍රියට ආසන්න විය. කලණි ඇඳ මත නින්දකට වැටී සිටියාය. ඒත් ඇගෙන් හුස්ම ගැනීමක් දක්නට නොවීය. ප්‍රියන්ත මින් කලබලයට පත්විය. ඔහු වහා මේ බව කලණිගේ මවට දැන්වීය. මවද පැමිණ කලණි දුව නැඟිටුවන්නට උත්සාහ කළද ඇය වචනයකුදු දෙඩවූයේ නැත. ඇගේ ඇඟද සීතලය. කලණිගේ මව බියෙන් තැති ගත්තාය. ඒත් ප්‍රියන්ත ඊට විසඳුමක් හෙව්වේ නැත. ඒත් මවකට සිය දියණිය දෙස එසේ බලා සිටිය නොහැකිය.
“ඇයි මොකද වෙලා තියෙන්නේ. හුස්ම ගන්නෙත් නැහැනේ”
කලණිගේ මව විලාප දුන්නාය. වහා ඇය මේ බව දෙල්කඳ සිටින සිය වැඩිමහල් පුතා වූ චමල්ට කීවාය.
“අනේ ලොකු පුතේ ඉක්මනට එන්න නංගි කතා කරන්නේ නැහැ”
චමල් බිත්ති ඔරලෝසුව දෙස බැලීය. වේලාව රාත්‍රි 11.58ට ආසන්නය. මධ්‍යම රාත්‍රියද එළැඹෙන්නට ආසන්නය. චමල්ට කිසියම් සැකයක්ද ඇති විය.
“නංගිව වාහනේ දාගෙන එන්න. මම මඟින් නඟින්නම්”
චමල් නංගිගේ සැමියාට කීවේය. ඒ අතරතුර චමල් සිය බිරියද සමඟ ලකලෑස්ති වූහ.
“මට මෙයා තනියම උස්සන්න අමාරුයි”
“හරි එහෙනම් ඉන්න මම ඉක්මනට එනවා” චමල් ප්‍රියන්තට එසේ කියමින් නංගි පදිංචි එගොඩවත්ත ගෙදරට ගියේය. ඒත් දැඩි සැකයකින් යුක්තවය.
“මම ගෙදරට ගියා. ගෙදර හිටියා උඩතට්ටුවේ වැඩකරන බාස් කෙනෙක්. එයාත් එක්ක නංගිව උස්සලා වාහනේට දාගත්තා. ඒත් මේ මිනිහා නංගිට අතවත් තිබ්බේ නැහැ. අපි වාහනයේ දාගෙන නංගිව කළුබෝවිල හොස්පිට්ල් එකට අරන් ගියා. ප්‍රියන්තත් ගියා. ඒත් මේ මිනිහට නංගිට වුණු දේට කිසිම ගානක් නැහැ.”
මේ නිසා චමල් නිතරම සිටියේ ප්‍රියන්ත ගැන සැකයෙනි. රෝහලට ඇතුළු කරනවිටත් කලණි මියගොස් සිටියාය. කලණිගේ සිරුර පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කළ යුතු බව වෛද්‍යවරු කීහ. කලණිගේ සිරුර රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කිරීමෙන් පසු පිරිස නිවෙස් බලා පැමිණියහ. චමල් මේ බව විදේශගතව සිටි දුලිප්ටද දැනුම් දුන්නේය.
නිවෙසට පැමිණි චමල්ට කලණිගේ මරණය ගෙන දුන්නේ දැඩි සැකයකි. ඊට තවත් හේතුවක් විය. ඒ නංගි නිදා සිටි ඇඳේ ඇතිරිලි හා කොට්ට ඇගේ සැමියා විසින් ඇඳෙන් ඉවත්කර පුලුස්සා දැමීමය. ඒ බව ඔහුගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ කලණි කොවිඩ් ආසාදනය වී සිටි නිසා ඒවා නැවත පාවිච්චියට නොගන්නා බවය.
කෙසේ වෙතත් ඊට පසු දින කලණිගේ පී.සී.ආර්. වාර්තාව නිකුත් විය. ඇයට කොවිඩ් රෝගය වැලඳී ඇති බවට ඉන් තහවුරු විය. ඒ බව සඳහන් කර රෝහලෙන් දුරකථන ඇමතුම ලැබුණේද ප්‍රියන්තටය.
“මම කිව්වේ එයා මැරෙන්න ඇත්තේ කොවිඩ්වලින්”
ප්‍රියන්ත ඥාතීන් ඉදිරියේ නිතර නිතර කීවේය. ප්‍රියන්තගේ හැසිරීම හා ක්‍රියාකලාපය චමල්ට ගෙන දුන්නේ දැඩි සැකයකි. පසුදා ඔහු සිය නැඟණියගේ සැමියා හොඳින් නිරීක්ෂණය කරන්නට විය.
“මම දැක්කා මෙයා ඇඳගෙන ඉන්න ෂර්ට් එකේ උඩම බොත්තමක් දාගෙන තමයි ඉන්නේ කියලා. සාමාන්‍යයෙන් ඒ බොත්තම දාන්නේ ටයි එකක් වත් දානකොට. මෙයා ඒ උඩම බොත්තම දාගෙන ඉන්නවා. කමිසේ කොලර් එක නිතරම උස්සනවා. මම ඇහැව්වා ඇයි කියලා. පස්සේ මිනිහා ඒ බොත්තම ගැලෙව්වා. එතකොට මම දැක්කා බෙල්ලේ සීරීම් පාරවල් දෙකක් විතර තියෙනවා. මම ඇහුවා ඒ මොකක්ද කියලා. එතකොට මෙයා කිව්වා මම ස්පෙයාර් පාට්ස් වගයක් දෙන්න මිරිහානේ ගෙදරකට ගියා. ඒ ගෙදර තඩි බල්ලො දෙන්නෙක් ඉන්නවා. උන් එක පාරටම මගේ ඇඟට කඩා පැන්නනෙ. උන්ගේ නියපොතු පාරවල් තමයි තියෙන්නේ කියලා. එහෙම කියන කොට මගේ හිතේ තිබුණු සැකය තවත් වැඩි වුණා.”
“මම මේක රට ඉන්න මල්ලීට කිව්වා. මල්ලී කිව්වා නංගිගේ මරණය සැකයි කියලා පොලිසියට කියන්න කියලා.”
ඒ අනුව ඉකුත් 17 වැනි දින බොරලැස්ගමුව පොලිසියට එන චමල් එහි ස්ථානාධිපති විජේරත්න මහතා හමු වී තම නැඟණියගේ මරණය සැකසහිත බවත් මේ පිළිබඳව විමර්ශනයක් සිදුකොට ඇත්ත නැත්ත සොයා දෙන ලෙසත් පැමිණිල්ලක් කරමින් කියා සිටියේය.
පැමිණිල්ල අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපති ජනිත් මධුශංඛ වෙත භාර කෙරිණි. උප පොලිස් පරීක්ෂක ජනිත් පැමිණිලිකාර චමල්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කොට ඔහුගේ ප්‍රකාශයක්ද ලබාගත්තේය. නංගිගේ මරණය සැලවූ වහාම දුලිප්ද මෙරටට පැමිණියේය.
පසුව ඉහළ නිලධාරීන්ට මේ බව දැනුම් දීමෙන් පසු උප පොලිස් පරීක්ෂක මධුශංඛ එගොඩවත්ත තුන්වැනි පටුමඟේ කලණි පදිංචිව සිටි නිවෙසට ගියේ විමර්ශන ඇරැඹීම සඳහාය. එහිදී නිවෙසේ සිටි මවගේත් කලණිගේ සැමියාගේත් ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුවිය.
මේ වන විට කලණිගේ මෘතදේහය කළුබෝවිල රෝහලේ තැන්පත් කර තිබිණි. පසුව සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු දැන්වීමට පොලිසිය ක්‍රියා කළේය. ඒ අනුව ගංගොඩවිල වැඩබලන මහෙස්ත්‍රාත් තිස්ස විජේරත්න මහතා කලණි පදිංචිව සිටි නිවෙසට පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදු කළේය. මෙහිදී වැඩබලන මහෙස්ත්‍රාත්වරයා පොලිසියට දන්වා සිටියේ කලණිගේ දේහය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බැවින් එම රෝහල අයත් අධිකරණ බලප්‍රදේශය ගල්කිස්ස වන නිසා මේ මරණය සම්බන්ධයෙන් කරුණු කාරණා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තා කරන ලෙසය.
ඉන් අනතුරුව අධිකරණයේ නියෝග මත කලණි මියගියේ කෙසේදැයි දැනගැනීම සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරියකු වෙත කලණිගේ සිරුර යොමුකරන ලෙසත් වැඩබලන මහෙස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.
ඒ අනුව නිලධාරීන් ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකොට කලණිගේ දේහය අධිකරණ වෛද්‍ය නිලධාරියකු වෙත යොමුකරන ලෙසද ඉල්ලා සිටියේය. ඒ සඳහා අධිකරණයේ අවසරය හිමි විය. පසුව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහෙස්ත්‍රාත් ඒ.සී.එල්. ධර්මතිලක මහතාගේ නියෝග මත කලණිගේ සිරුර අධිකරණ වෛද්‍ය නිලධාරියකු වෙත යොමු කෙරිණි.
කලණි මියගියේ කෙසේද? ඇගේ මරණය සිදුවී ඇත්තේ කොවිඩ් ආසාදනය වීම නිසාද? නැතහොත් ඇගේ මරණය ඝාතනයක්ද? කලණිගේ සොහොයුරු හා ඥාති පාර්ශ්වයට ඇති ව තිබූ මෙම සැකයට පිළිතුරක් සොයා ගැනීම සඳහා කලණිගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය එම්.එම්. සම්පත් සේනතුංග මහතා විසින් පවත්වනු ලැබීය. එම පරීක්ෂණයෙන් ලැබුණු වාර්තාව කාගෙ කාගේත් සැක සංකා නිම කිරීමට සමත්විය. කලණිගේ මරණය සිදුව ඇත්තේ නාසය හා මුඛය තදවන ආකාරයෙන් සිර කිරීමෙන් බවත් හුස්ම ගැනීමේ අපහසුතාව මත ඇගේ මරණය සිදුවී ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් විය. ඒ අනුව කලණි යසින්තාගේ මරණය කොවිඩ් ආසාදනය වීම නිසා නොව ඝාතනයක් බව ඒත්තු ගැනිණි.
සිද්ධිය පිළිබඳ පොලිස් විමර්ශන ඇරැඹුණේ ඉන්පසුවය. ඒ අනුව ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනිත් මධුසංඛ ඉහළ නිලධාරීන්ට මේ බව දැනුම් දීමෙන් අනතුරුව ඔවුන්ගේ උපදෙස් මත කලණිගේ සැමියා බොරලැස්ගමුව පොලිසියට ගෙනැවිත් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නට විය.
“කෝ ගලවනවා තමුසේ ඇඳන් ඉන්න කමිසේ”
උප පොලිස් පරීක්ෂකවරයා කලණිගේ සැමියාට තදින් කීය. ඔහු ඒත් කමිසය ගලවන්නට දැඩි අකැමැත්තක් පෙන්වීය.
“තමුසෙට මම එකපාරක් කිව්වානේ.” ඒ නියෝගයට අනුව කලණිගේ සැමියා ටිකෙන් ටික කමිසය උඩුකයෙන් ඉවත් කරන්නට විය.
“මොනවද ඔය ඇඟේ තියෙන්නේ”
ඔහුගේ සිරුර පුරා නියපොතු පහර වැනි ලකුණු දකින්නට ලැබිණි.
“නියපොතු පාරවල් නේද?” උප පරීක්ෂකවරයා විමසීය.
“නැහැ”
“එහෙනම් මොනවද”
“මම ස්පෙයා පාට්ස් වගයක් දෙන්න ගියා ගෙදරකට. ඒ ගෙදර ලොකු බල්ලො දෙන්නෙක් හිටියා. උන් එකපාරටම මගේ ඇඟට කඩාගෙන පැන්නා. උන්ගේ නියපොතු පාරවල් තමයි සර් මේ තියෙන්නේ.”
“හරි කොහෙද ඒ ගේ තියෙන්නේ”
“මිරිහානේ” සර්”
“මිරිහානේ කොහේද?”
උප පරීක්ෂකවරයා සැකකාර සැමියාගෙන් මිරිහානේ නිවෙසේ ලිපිනය ලබාගෙන පොලිස් කණ්ඩායමක්ද සමඟ මිරිහානේ නිවෙසට ගියහ. නිවෙසේ ගේට්ටු වසා තිබිණි.
“එකපාරට ඇතුළට යන්න එපා. බල්ලෝ ඇති.” ස්ථානාධිපතිවරයා සිය නිලධාරීන්ට කීවේය. ඒ සමඟම ගේට්ටුව විවර විය.
“ඔයාලා ගෙදර බල්ලෝ ඉන්නවද?”
උප පරීක්ෂකවරයා ගේට්ටුව විවර කළ කාන්තාවගෙන් විමසීය.
“ඔව් සර්”
“එහෙනම් අපි එළියෙන් ඉන්නම්”
“අනේ එන්න සර් ඇතුළට. උන් මේ පොඩි පැටව් දෙන්නෙක්. කාවත් හපන්නේ නැහැ”
නිලධාරීහු එකිනෙකාගේ මුහුණ බලාගත්හ. පසුව තමන් පැමිණි කාරණය ස්ථානාධිපතිවරයා නිවෙස හිමි කාන්තාවට කීවේය.
“අනේ ඉන්න සර් අපේ ගෙදර ඉන්න බල්ලෝ දෙන්නා මම අරගෙන එන්නම්”
එසේ කී ඇය නිවෙසේ ඇති දැඩි කරන සුනඛයන් ගෙනාවාය. සුනඛයන් දෙදෙනා නිලධාරීන් ළඟට නඟුට වනමින් ආහ. නිලධාරීන් දමා සිටි පොලිස් සපත්තු ඉව ඇල්ලූ සුනඛයින් මොහොතකින් පසුපසට වී සිදුවන්නට යන දේ බලා සිටින්නට විය.
“මේ යකා ලොකු බොරුවක් කිව්වේ”
“ඔව් සර් ෂුවර් එකට අර මැරුණු ගෑනි හූරපුවා වෙන්න ඇති”
යළි පොලිසියට ගිය ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායම සැකකාර කලණිගේ සැමියාට එවර තේරෙන භාෂාවෙන් කතා කළේ නැත. නිලධාරීන්ගේ වාග් ප්‍රහාරය වේගවත් විය.
“උඹ අපිව අන්දන්න නේද හැදුවේ.” ඇත්ත කියපන් කාගෙද ඒ නියපොතු පාරවල්”
නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ තවදුරටත් බොරු කීමෙන් ඇඟපත තළා ගැනීමට සිදුවන බව කලණිගේ සැමියාට වැටහෙන්නට ඇත. ඔහු සිදුවූ දේ හෙළි කරන්නට විය.
පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් පසු සැකකාර සැමියාගේ අනියම් පෙම් සබඳකමක්ද හෙළි විය. පොලිසිය පවසන අන්දමට ඇය ඔහුගේ බිරියට වඩා ළාබාල තරුණියකි. ඇය හා පෙමින් වෙළී සිටින සැකකරු ඇය තමාගේ බිරිය කරගන්නට දැඩි උත්සාහයක් ගෙන ඇති බව විමර්ශනයේදී හෙළි විය.
“මේ සැකකරුගේ විවාහක බිරියට තමයි ඔය ඉන්න ගේත් දේපළත් අයිති. ඒ නිසා තමයි මෙයා හිතන්නේ එයාගේ බිරිය මරලා හරි ඒ දේපළ ලබාගන්න. ගෑනුකෙනාට කොවිඩ් හැදුණු නිසා මිනිහා බැලුවා ඒ පිටින්ම මේක කරන්න.”
“අපි සැකකරන විදිහට කොට්ටයක් මූණට තියලා තදකරලා තමයි ඒ ගෑනු කෙනාගේ හුස්ම හිරකරලා ඇත්තේ. සමහරවිට ඒ කොට්ටේ ඇඟිලි සලකුණු වදින්න ඇති කියලා හිතලා ඒවා පිච්චුවද දන්නේ නැහැ.”
“අනික තමයි මේ සැකකරු එයාගේ කසාද බිරිය මරන්නත් කලින් මල් ශාලාවකට ගිහින් බිරියගේ අවසන් කටයුතු කරන්න මිනී පෙට්ටියකටත් සල්ලි බැඳලා තියෙනවා. ඒ වගේම මෙයාගේ බිරිය අසනීපයෙන් ඉන්නකොටත් මේ මනුස්සයා කිසිදු දුකක් නැතිව එයාගේ ව්‍යාපාරික කටයුතු කරගෙන ගිහින් තියෙනවා. මේ ගෑනු කෙනා මැරුවට පස්සේ අර බාලවයස්කාර තරුණියත් එක්ක ජීවත්වෙන්න තමයි මෙයා සැලසුම් කරලා තිබුණේ.”
“සැකකරු මෙයාගේ බිරිය මරන්නට කලියෙන් එයාගේ දුවවයි පුතාවයි බොරුවක් කියලා එයාගේ වාහනයට එක්කගෙන ගිහින් වාහනේ තියෙන වීඩියෝ එකක් දාලා දෙන්නටම ඒක බලන්න කටයුතු කරලා තියෙනවා. ඒ අතරතුරදී පොඩ්ඩක් ඉන්න මම අම්මට වතුර ටිකක් උණුකරලා එන්නම්. මම ටොයිලට් ගිහින් එන්නම් කියලා දරුවන්ට බොරුවක් කිය කියා බිරිය ඉන්න කාමරේට ගිහින් තමයි ඔය දේ කරන්නේ”
විමර්ශන නිලධාරියෙක් කීවේය.
සැකකාර සැමියා බිරිය මරා ඇය කොවිඩ් රෝගයෙන් මරණයට පත්වී ඇති බවට ඒත්තු ගැන්වීමට දැඩි උත්සාහයක් ගෙන ඇතත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී බිරිය මියගොස් ඇත්තේ හුස්ම හිරකිරීමෙන් බව අනාවරණය වීම නිසා ඔහුගේ උත්සාහය ව්‍යර්ථ වී ඇතැයි පොලිසිය කියයි.
“මිනිහා හිතුවා බිරියට කොවිඩ් ආසාදනය වෙලා කියලා දැනගත්තාම රෝහලින් බිරියගේ මිනිය කාටවත් පෙන්නනේ නැතිව එහෙන්මම ආදාහනය කරයි කියලා. එහෙම කළා නම් සේරම ඉවරයිනේ. පස්සේ දවසක සැකයි කියලා මිනිය ගොඩගන්නත් බැහැනේ ආදාහනය කළාම. ඒ සේරම දැනගෙන තමයි මිනිහා ගෑනිට කොවිඩ් හැදිල මැරුණා කියලා පෙන්නන්න හැදුවේ. පශ්චාත් මරණ පරීක්ෂණයක් කරපු නිසා තමයි ගෑනු කෙනා මරලා බව හෙළිවුණේ.”
විමර්ශන නිලධාරියා අනාවරණය කළේය.
සැකකාර සැමියා 47 වියේ පසුවන්නකු වන අතර වාහන අමතර කොටස් විකිණීමේ ආයතනයක් පවත්වාගෙන යන්නෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකරන ලදී.
බස්නාහිර පළාත භාර ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය, නුගේගොඩ කොට්ඨාස භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි චන්දන ලියනගේ, නුගේගොඩ කොට්ඨාස කලාප ඪ ජේයෂ්ඨ පොලිස් අධිකාරි කුමාර රූපසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපති කේ.පී. විජේරත්න, වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තෙන්නකෝන්, අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජනිත් මධුසංඛ මහතා ඇතුළු සැරයන් සමන් (36763), විපුල (51857) හා කොස්තාපල්වරුන් වන අමරසිංහ (68832), ඒකනායක (94121), මාලන් (92525), වීරසිංහ (96878), ජිනදාස (34142), ප්‍රසාද් (92257) හා කාන්තා පොලිස් කොස්තාපල් ඒකනායක (11853) යන කණ්ඩායම මෙම විමර්ශනවලට එක්ව සිටියහ.
කීර්ති මෙන්ඩිස්
මව්බිම