රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණයට ආසන්නතම හේතු සිහිනැති වීම, අවයව ක්‍රියාකාරීත්වය අඩපන වීම හා ගින්නෙන් හටගත් කාබන් මොනොක්සයිඩ් වායුව ආඝ්‍රහණය කිරීම බව කොළඹ හිටපු අධිකරණ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා සිය වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා.
මහාචාර්යවරයා වසීම් තාජුඩින්ගේ මරණය පිළිබඳ අවසන් මරණ පරීක්ෂණ වාර්තාව තැපැල් මාර්ගයෙන් අධිකරණයට යොමු කර තිබෙනවා.
2012 වසරේ මැයි 27 වන දින නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසල සිදුවූ අනතුරකින් රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් මරණයට පත්ව තිබුණා. එම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළේ කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා විසින්.
අධිකරණයට යොමු කර තිබූ අවසන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව රථයේ ගින්න හට ගනිද්දී වසීම් තාජුඩීන් ජීවතුන් අතර සිටි බවත්, එහෙත් සිහිසුන්ව මුළුමනින්ම අකර්මන්‍යව අවසන් හුස්ම හෙළමින් සිටි බවත් සදහන් කර තිබෙනවා.
තාජුඩීන්ගේ රුධිරයේ එතනෝල් අධික ප්‍රමාණයක් තිබූ අතර අනතුරට පැය දෙකකට පමණ පෙර ඔහු මත්පැන් පානය කර ඇති බවත් එම වාර්තාවේ සදහන් කර තිබෙනවා.
තාජුඩීන්ගේ හිසෙහි වූ තුවාල රථය ඇතුළතදී හෝ පිටතදී සිදුවන්නට ඇතැයි ද මොට අවියකින් සිදුකළ පහර දීමකින් ඒවා සිදුවන්නට දෙන්නට ඇතැයි ද මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා තම වාර්තාවේ සදහන් කරනවා.
වසීම් තාජුඩීන් සිය රථය තුළ සිටියදී වෙනත් අයෙකු ඔහු එළියට ඇද දමා හෝ රථයෙන් බිමට ඇද වැටී ඇතැයිද ඔහුගේ වාර්තාවේ සදහන්. යම් කිසි පහරදීමකින් ඔහුගේ අවයව පිපිරීමට ලක්ව ඇතැයි එහි සදහන්.
මරණයට පත් වූ තාජුඩීන්ගේ පපුවෙහි වූ තුවාල මාරක තුවාල නොවූවත් රවුම් උපකරණයකින් තද කිරීමකින් සිදුවූවක් බව පරීක්ෂණ වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙනවා.