මම ජීවත් වෙන්නේ මගේ පුතා, ලේලි සහ මගේ මුනුපුරා සමඟ නිවෙසටම වෙලා, බොහොම සැහැල්ලුවෙන් සතුටෙන් සෞඛ්‍යාරක්ෂිතව ජීවත් වෙනවා.
මෑතකදී නිර්මාණවලට සම්බන්ධ වුණේ නැහැ නේද?
අවුරුදු දෙකකින් පමණ චිත්‍රපටයකට සම්බන්ධ වුණේ නැහැ. අවසානයට සම්බන්ධ වුණේ මහේෂ් මුණසිංහගේ චිත්‍රපටයකට. 2017න් පසුව ටෙලිනාට්‍ය සඳහා සම්බන්ධ වුණේම නැහැ. එක් වෙළෙඳ දැන්වීමකට සහභාගි වුණා මෑතකදි. එපමණයි.
ඔබ ගණන් කරන්න බැරි තරම් නිර්මාණ සංඛ්‍යාවකට දායක වූ කෙනෙක් නොවෙයි?
ඔව්. මම චිත්‍රපට විශාල ප්‍රමාණයක රඟපෑවේ නැහැ. චිත්‍රපට 27ක පමණ රඟපාලා තිබෙනවා. ඒ අතරින් චිත්‍රපට 10ක් පමණ උසස් ගණයේ ඒවා. මේකෙන් රඟපාලා අරකට දුවනවා වගේ ඒ කාලයේ දැන් තරම් කලබල නැහැ.
ඔබව වැඩිපුර දකින්න ලැබුණේ ගාමිණී ෆොන්සේකා මහත්මයා සමඟ. ඒ අත්දැකීම් මතක් කරමු?
මම ඔහුට ඒ කාලෙ හරි බයයි. ඔහුව මුලින්ම දකින්නේ මට අවුරුදු 16දී පමණ. මුලින්ම ලෙස්ටර් මහත්මයාගේ නිවෙසේදී ගම්පෙරළිය චිත්‍රපටය සඳහා වන තිර පරීක්ෂණයේදී මට දෙබස් කියන්න ලැබුණේ ඔහුත් සමඟ. ඊට පසුව නැවත චණ්ඩියා චිත්‍රපටයේදී ඔහුත් සමඟ රඟපාන්න අවස්ථාව ලැබුණා. ඔහු සහෝදරයෙක් වගේ අවවාද අනුශාසනා ලබා දුන්නා අපට.
රසිකයන්ගේ ආදරය වැඩිපුරම ලැබුණේ ගොළු හදවතේ දම්මිට නේද?
ඔව්. මොකද ඒක බොහෝ දෙනාගෙ අත්දැකීමක්. ඒ නිසාම තරුණ අයගෙත් ආකර්ෂණය ඒ චිත්‍රපටයට ලැබුණා. අපිත් ඒ දවස්වල ගොළු හදවත පොත කියෙව්වා. හැබයි ඒ කාලේ හිතුවේ නෑ ගොළු හදවත චිත්‍රපටයේ රඟපාන්න ලැබෙයි කියලා. මම නාට්‍ය බලන්න ගියපු අවස්ථාවක කරුණාසේන ජයලත් මහත්මයාගේ බිරියගේ නැඟනිය මාව දැකලා ඔහුට පෙන්නලා "අන්න අයියේ ඔයාගෙ ගොළු හදවතේ දම්මි ඉන්නවා" කියලා ඒක මතක තබාගෙන ඉඳලා ලෙස්ටර් මහත්මයටත් ඒ බව කියලා තමයි ඔවුන් මාව ඒ චරිතයට තෝරාගෙන තිබෙන්නේ. ඒ චරිතය කරන්න ලැබීම ගැන ඇත්තටම සතුටුයි. චිත්‍රපට කීයක් කළත් දම්මිට තමයි හැමෝම කැමැති. චණ්ඩියා චිත්‍රපටයටත් ප්‍රේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාර ලැබුණා.
ඔබ රඟපෑ චිත්‍රපට අතරින් ඔබ කැමැතිම චිත්‍රපටය කුමක්ද?
මම කැමැතිම දයානන්ද ගුණවර්ධන මහත්මයාගේ බක් මහ අකුණු නාට්‍ය ඇසුරෙන් කරපු බක් මහ දීගේ චිත්‍රපටයට.
ඉතාම අඩු වයසකදී පරසතු මල් වැනි චිත්‍රපටයක රඟපෑම ඒ කාලයේ අභියෝගයක් වුණේ නැද්ද?
ඒ කාලයේ එවැනි චරිතයක් කරන එක ලේසි පහසු නෑ. ඒක අමාරු චරිතයක්. එතකොට මට අවුරුදු 18යි. මට අත්දැකීම් නැහැ. ගාමිණී ෆොන්සේකා මහත්මයා ඒ චිත්‍රපටය කරන විට ඔහුගේ බිරියට දරුවා ලැබිලා. ඉතින් ඔහුගේ අත්දැකීම් එක්ක ඔහු මට ගොඩක් දේවල් කියලා දුන්නා. ඔහුගේ කැපවීම නිසයි මට චරිතය සාර්ථක කරගන්න හැකිවුණේ. එහි මංගල දර්ශනයට පැමිණි අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මැතිතුමා මා ළඟටම ඇවිත් මට ප්‍රශංසා කළා.
එදා සිට අද දක්වා ලාංකේය සිනමා වංශ කතාවේ නොමැකෙන චරිත සමඟ ඔබට කටයුතු කරන්න අවස්ථාව ලැබුණා?
ඔව්. හිතන්න බැරි දෙයක් ලැබුණු කෙනෙක් හැටියට මම දෛවය විශ්වාස කරනවා. හේතුව මේ දේවල් මම හොයාගෙන ගිහින් ලබා ගත්තේ නැහැ. අවස්ථාව මාව හොයාගෙන ආවා. මම රංගනය පටන් ගත්තේ ලංකාවේ විශිෂ්ටතම අධ්‍යක්ෂකවරයා සමඟ. ඒ වගේම රුක්මණී දේවි සමඟ මම චිත්‍රපට දෙකක් රඟපෑවා. ගාමිණී ෆොන්සේකා මහත්මයා, ටයිටස් තොටවත්ත මහත්මයා, දයානන්ද ගුණවර්ධන මහත්මයා ආදී ක්‍ෂේත්‍රයේ පතාක යෝධයන් සමඟ කටයුතු කරන්න මට අවස්ථාව ලැබුණා. ඔවුන් සමඟ වැඩ කිරීම රංගන පාසලකට ඇතුළත් වුණා හා සමානයි.
ඔබේ ස්වාමිපුරුෂයා මුණගැහෙන්නේත් දෛවෝපගත විදිහට?
1962දී දවස රූප සුන්දරිය තරගයේදී මට ඔහුව මුණගැහුණේ. එතැන තමයි, මගේ ජීවිතේ පටන් ගැන්ම. එම තරගයේ ඡායාරූප සුමිත්‍රා පීරිස් මහත්මිය සහ තිස්ස අබේසේකර මහත්මයා දැකලා පසුව ඒවා ලෙස්ටර් මහත්මයාට පෙන්නලා තමයි ගම්පෙරළිය චරිතය සඳහා මාව තෝරා ගත්තේ. ඔවුන් පසුව දවස පත්තරේට ඇවිත් මා ගැන ඇහුවම පත්තරේ අය ඔය ඉන්නේ අයිතිකාරයා කියලා පෙන්නලා තිබෙන්නේ ඔහුව. ඒ වෙන විට අපි අතර සම්බන්ධයක් තිබුණේ නැහැ. නමුත් අපි හඳුනනවා. ඔහු තමයි මගේ ඡායාරූප ගත්තේ. ඔහු තමයි මගේ ලිපිනය ඒ සඳහා මූලික වෙලා කටයුතු කරලා තිබෙන්නේ. 1967 ගොළු හදවත රූගත කළා. 1968 අපි විවාහ වුණා.
ඔබේ කාලයේ සිනමා තරුවල තිබූ තරු ගුණය අද වන විට දකින්නට නොලැබෙන්නේ ඇයි?
අපේ කාලයේ සිනමා තරුවල රූප සහ පෝස්ටර කාමරයේ, අල්මාරියේ අලවනවා. කැලැන්ඩරවල පළවන රූප අරගෙන තියා ගන්නවා. දැන් කාලයේ එහෙම නැහැ. දැන් නළු නිළියෝ සාමාන්‍ය වෙලා. අදටත් මගේ රසිකයන් පරණ චිත්‍රපටයක් රූපවාහිනියේ විකාශය වන විට දුරකථන ඇමැතුම් බොහෝ ප්‍රමාණයක් එනවා. අපි හරි වාසනාවන්තයි. අපිට රසිකයන්ගෙන් විශාල ආදරයක් ලැබුණා. දැන් ළමයින්ට එහෙම නෑ. අද කාලේ ඉන්න අය එනවා යනවා. මෙහෙම වෙලා තිබෙන්නේ ඇයි කියන්න දන්නේ නැහැ. කාර්යබහුලත්වය එක්ක බොහෝ දෙනෙක් සිනමා ශාලාවකට ගොස් චිත්‍රපටයක් බලන්නේ නැහැ. ප්‍රේක්ෂකයන්ගේ අවධානයත් යම් තරමක් සිනමාවෙන් අෑත් වී තිබෙනවා. මිනිසුන්ගේ ජීවන රටාවත් එක්ක සියල්ලම වෙනස් වෙලා.
ඔබට ප්‍රේක්ෂකයන්ගේ ආදරය අමතක නොවන විදිහට ලැබුණු සිදුවීමක් මතක් කළොත්?
මගේ ස්වාමිපුරුෂයාගේ ගම මාතර. අපි විවාහයෙන් දින කිහිපයකට පසුව මාතර ෆිල්ම් හෝල් එකකින් මම රඟපාපු පුංචි බබා චිත්‍රපටය නැරඹුවා. චිත්‍රපටය අවසන් වෙලා මම හෝල් එකේ උඩ ඉඳන් පහළට බහින විට මුළු හෝල් එකේම සෙනඟ එක් රැස් වෙලා ඔවුන් මාත් සමඟ කතා කළා. ඒ වගේම ගොළු හදවත පෙන්වලා මසෙකින් පමණ ජපන් තනාපති කාර්යාලයේ පවත්වපු උත්සවයකදී ජපන් මහත්මයෙක් සිංහල මහත්මයෙක්ගෙන් මාව පෙන්නලා සිංහලෙන් ඇහුවා මෙයාව දන්නවාද කියලා. දන්නේ නැත්නම් වැඩක් නෑ. මේ අනුලා කරුණාතිලක. ගොළු හදවතේ දම්මි කියලා කිව්වා. ඒ සිද්ධිය මට අමතක වෙන්නේ නැහැ.
අලුත් පරම්පරාව ගැන මොකද හිතන්නේ?
අලුත් පරම්පරාවේ සිටින දරුවන්ට මම ආදරෙයි. තරුණ හිත් රිදවන්න හොඳ නෑ. අපි දන්නවා රඟපාන එක කොතරම් අමාරුද කියලා. දැන් මේක ව්‍යාපාරයක් වීම නිසා ඔවුන්ට තෝරා ගැනීම් කරන්න බැහැ. අනෙක අපිට පුහුණු වෙන්න කාලයක් තිබුණා. කතා බහ කරන්න වෙලාවක් තිබුණා. නමුත් දැන් එහෙම නෑ. සෙට් එකට ගියාම කොළයක් දෙනවා බලාගන්න. ඊට පස්සෙ ඇක්ට් කරන්න ඕනෑ. ළමයි දක්ෂයි. නමුත් හැමෝම කතා කරන විදිහ, රඟපාන විදිහ එකයි. බොහෝ දෙනෙක්ට තමන්ගෙම කියලා අනන්‍යතාවක් නැහැ.
ආපස්සට හැරිලා බැලුවම ජීවිතේ ගැන මොකද හිතෙන්නේ?
සතුටුයි. හොඳ චිත්‍රපට කිහිපයක වගේම හොඳ ටෙලිනාට්‍ය කිහිපයකම මට රඟපාන්න අවස්ථාව ලැබුණා. මම මේ රංගන ක්‍ෂේත්‍රයට පිවිසෙන්නේ අවුරුදු 16න්. දැන් මට වයස අවුරුදු 75ක් වෙනවා. පාසල් යන කාලයේ සිටම රංගනයට පිවිසුණා. විවාහ වුණා. දරුවෝ හැදුවා. දැන් අත්තම්මා කෙනෙක් විදිහට ජීවිතේ අගභාගය සතුටින් සැහැල්ලුවෙන් ගෙවනවා.