මව සතු ඉඩම් කිහිපයක් තම පුතා සහ දියණියන් දෙදෙනාට නීත්‍යනුකූලව ලියා දීමෙන් පසුව මවට අයිතිව තිබූ තවත් ඉඩමක් තමාට ලියාදෙන ලෙස පුතා කළ ඉල්ලීම, මව නොසලකා හැරීම නිසා කෝපයට පත් එම පුතා පොල් කඩන පිහියකින් මවගේ බෙල්ල කපා මරා දැමීමේ දුක්මුසු පුවතක් පඬුවස්නුවර ආසනයේ බරම්පොල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ හෙට්ටිපොල පොලිස් වසමට අයත් බරම්පොල ප්‍රදේශයේ පදිංචිව සිටි අප්පුහාමි ආරච්චිලාගේ සුමනාවතී මැණිකේ නමැති හැටඅට හැවිරිදි (68) තිදරු මවක්. ඝාතනය සිදු කළ පුතා ඔහුගේ බිරිඳ හා දරුවකු ද සමග මවගේ බරම්පොල නිවසේම පදිංචිව සිටි අතර, ඉතිරිව ඇති ඉඩම ද තමන්ට ලියා දෙන ලෙස පුතා නිතරම මවට බලපෑම් කර මව සමඟ ආරවුල් ඇතිකරගෙන ඇයට පහරදීම් පවා සිදුකර තිබෙන බවට පොලිසිය සිදුකර ඇති පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
තම සැමියා පොල් කඩමින් ජීවත්වන බවත් මෙම ඝාතනය සිදුවූ දින රාත්‍රියේ ඔහු මව සමඟ ඉඩම මුල් කරගෙන බහින්බස් වූ බවත් ඔහුගේ බිරිඳගෙන් කළ ප්‍රශ්නකිරීමේදී අනාවරණය වු බව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත ගුණවර්ධන පවසනවා. 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් මත හෙට්ටිපොල පොලිසිය මගින් මෛහි පරීක්‍ෂණ කටයුතු සිදුකර මියගිය කාන්තාවගේ මළ සිරුර මෙම නිවස තුළම තිබියදී සොයාගෙන තිබෙනවා. සැකකාර පුතා මෙම නිවස තුළ නිදාගෙන සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම ඝාතනය පිළිබඳව හෙට්ටිපොල පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව හෙට්ටිපොල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතවයි. මෙම මරණය පිළිබඳව මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය හෙට්ටිපොල මහෙස්ත්‍රාත් දුලංගිකා ජයසිංහ විසින් සිදු කරනු ලැබුවා.