ඌරු බොක්ක, කීරිපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු නිවෙසට ජලය ලබා ගන්නා ළිදේ ලණුවකින් ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන ඇතැයි ඌරුබොක්ක පොලිසිය පවසනවා.
මෙසේ සිය දිවි හානිකරගෙන ඇත්තේ ඌරුබොක්ක, කීරිපිටිය පදිංචි 30 හැවිරිදි ආර්.ඩී. පුෂ්ප කුමාර නමැති එක්දරු පියකු බවට පොලිසිය පවසනවා.
මෙම පුද්ගලයා සියදිවි හානි කරගෙන ඇත්තේ ඉකුත් 13 දින අලුයම් කාලයේදී වන අතර සිය පදිංචි නිවෙසට මෝටරයක් ආධාරයෙන් ජලය ලබාගෙන තිබෙන ළිදේ වතුර උඩට ගැනීම සඳහා ලණුව ගැට ගැසීමට හරහට දමා ඇති පරාලයේ ලණුවක් ගැට ගසා ගෙල වැලලාගෙන ළිඳට පැන බවයි සඳහන් වන්නේ.
ගෙල වැලලාගෙන මිය ගිය පුද්ගලයා හැටන් ප්‍රදේශයේ දමිළ තරුණියක සමඟ විවාහ වී ඇති අතර වයස අවුරුදු 01යි මාස 2ක දරුවකු සිටින බවටත් මවුපියන් ඇතුළු පවුලේ සහෝදර, සහෝදරියන් දමිළ තරුණියක විවාහ කර ගැනීම නිසා අමනාපව සිටින බවත් දැනට පදිංචිව සිටින නිවෙස සිය සහෝදරියට අයත් නිවෙසක් බැවින් එම නිවෙසින්ද අයින් වන ලෙසට සහෝදරිය නිතර නිතර ආරවුල් කිරීම හේතුවෙන් මියගිය පුද්ගලයා සිත්තැවුලෙන් සිටි බවට අසල්වැසියෝ පවසනවා.
මියගිය පුද්ගලයාගේ හදිසි මරණ පරීක්‍ෂණය ඌරුබොක්ක හදිසි මරණ පරීක්‍ෂක ඉන්දික මහතා විසින් පැවැත්වීමෙන් අනතුරුව මළ සිරුර ඌරුබොක්ක, හීගොඩ ප්‍රාදේශීය රෝහලට ගෙන ඒමෙන් පසු පශ්චාත් මරණ පරීක්‍ෂණය හීගොඩ ප්‍රදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය ඒකනායක මහතා විසින් පැවැත්වූ අතර ගෙල වැලලා ගැනීමෙන් සිදුවූ මරණයක් බවට පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වී තිබෙන බවත් සඳහන්.