මෙරට එන්නත්කරණ වැඩසටහන කඩිනම් කිරීම සදහා විසි හතර පැය පුරා ක්‍රියාත්මක එන්නත්කරණ මධ්‍යස්ථාන දෙකක් බත්තරමුල්ල දියත උයනේ සහ විහාරමහාදේවි උද්‍යානයේ ස්ථාපිත කර තිබෙනවා.
දිවයිනේ තවත් ස්ථාන කිහිපයකදීම එන්නත්කරණ කටයුතු අදත් සිදුකෙරුණු අතර ඊයේ දිනය තුළ පමණක් මෙරට එන්නත්කරණයට ලක් කර ඇති සංඛ්‍යාව 297,314ක්.
මේ අතර, ගිරිඋල්ල - පුස්කොලදෙනිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙකුගේ නිවසට රාජකාරී සදහා ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙළගැසීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් පුද්ගලයා ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.
ඒ, සැකකරු අද පස්වරුවේ කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
48 හැවිරිදි වියේ පසුවන මෙම පුද්ගලයාගේ පුත්‍රයා කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇති අතර, ඔහු පිළිබඳව විමසීම සඳහා නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයට අනුයුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු නිවසට ගොස් තිබෙනවා.
එම අවස්ථාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ රාජකාරියට බාධා කළ සැකකරු බීමතින් සිට ඇති බවටයි ගිරිඋල්ල පොලීසිය කළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
අද දිනයේ මේ දක්වා කාලය තුළ අලුතින් කොරෝනා ආසාදිතයින් 1720 දෙනෙකු හදුනා ගැනීමත් සමග සමස්ත ආසාදිත සංඛ්‍යාව 317,914 දක්වා ඉහළ ගියා.
එමෙන්ම, කොරෝනා ආසාදිතව සිටි 1754 දෙනෙකු අද සුවය ලැබීමත් සමග සුවය ලැබූ මුළු සංඛ්‍යාව දැක්වෙන්නේ 284,524 ක් ලෙසයි.
මේ අතර, කරාපිටිය රෝහලේ කොරෝනා ආසාදිතයින්ගේ වැඩිවීමක් පෙන්නුම් කිරීම සහ රෝහල් කාර්ය මණ්ඩලය තුළින් ද ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වන තත්ත්වයක් උද්ගතව ඇති බැවින් කොරෝනා ප්‍රතිකාර සදහා වෙන් කර ඇති වාට්ටුවල ධාරිතාව ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ හේතුවෙන් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා විසින් අද සිට එම රෝහල තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, රෝහල්වල ඇඳන් ධාරිතාව ඉක්මවා ඇති බවට පළ වූ වාර්තා සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි අද රාගම රෝහල් හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.
මේ අතර රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ රාජ්‍ය සේවයේ සියලුදෙනා සේවයට කැඳවමින් පසුගියදා නිකුත් කළ චක්‍රලේඛයට විරෝධය පළ කරමින් හෙට උදෑසන හයේ සිට දහවල් 12 දක්වා දිවයිනේ සියලු රෝහල්වල සමස්ත කාර්ය මණ්ඩලය සේවයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවයි.
මීට අමතරව මෙරට දී පැවැත්වීමට නියමිතව තිබූ 2021 ලෝක විවාහක රූ රැජිණ තරගාවලිය ඇමරිකාවේ ලාස් වේගාස් හිදී පැවැත්වීමට තරඟ සංවිධායකයින් තීරණය කර තිබෙනවා. පවතින කොරෝනා තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම තරගාවලිය ලබන වසරේ ජනවාරි 9 වන දා සිට 16 වන දා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
VIDEO