හිටපු නීතිපති දප්පුල ද ලිවේරා නැවතත් නීතිඥයකු ලෙස ඊයේ මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියා.
ඒ මීගමුව තලාදූව ප්‍රදේශයේ අලුතින් ඉදිකෙරෙන අවමංගල්‍ය සමාගමක ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් මතු කළ විරෝධතාවක් පිළිබඳ නඩුවකට පෙනී සිටීම සඳහායි.
මෙම නඩුව ගොනුකර තිබුණේ දප්පුල ද ලිවේරා නීතිපති ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ මාධ්‍ය ප්‍රකාශිකාව ලෙස කටයුතු කළ නිශාරා ජයරත්නගේ පියාට අයත් සමාගමකට එරෙහිවයි.
මෙහි විශේෂත්වය වන්නේ අදාල නඩුවේ විත්ති පාර්ශවයේ නීති නීතිඥවරයා ලෙස හිටපු නීතිපතිවරයා පෙනී සිටීමයි.
එහිදී පැමිණිළිකාර පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥවරයා කියා සිටියේ ජනාකීර්ණ ප්‍රදේශයක සිදුකෙරෙන මෙම අවමංගල්‍ය ශාලාවේ ඉදිකිරීම් හරහා ජනතාවට මහජන පීඩාවක් ඇති කෙරෙන බවයි.
එහිදී එයට එරෙහිව විත්තිකාර පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වූ හිටපු නීතිපති දප්ප්පුල ද ලිවේරා කියා සිටියේ තවමත් ඉදිකිරීම් කටයුතු පවා අවසන් නොකළ ගොඩනැගිල්ලක් වෙනුවෙන් මේ ආකාරයේ විරෝධතා දැක්වීම සහ එයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කිසිදු නෛතික ප්‍රතිපාදනයක් නොමැති බවයි.
එබැවින් අදාළ පැමිණිල්ල වැඩිදුර විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන ලෙස හිටපු නීතිපතිවරයා මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
අදාල පැමිණිල්ල වැඩිදුර විභාගය කටයුතු අද දක්වා කල් දැමුණු අතර අද දිනයේ අදාළ පැමිණිල්ල විභාගයට ගත් මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ටී.එන්.එල්. මහවත්ත විසින් අදාළ පැමිණිල්ල වැඩිදුර විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඒ එම නඩුව අද විභාගයට ගැනුන අවස්ථාවේදී විත්තිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි හිටපු නීතිපති දප්පුලද ලිවේරා විසින් මෙම නඩුවට අදාළ ඉදිකිරීම් වැලක්වීමේ තීන්දුවක් ලබා දීමට මහේස්ත්‍රාත් අධිකරණයට නෛතික බලයක් නොමැති බව පෙන්වා දීමෙන් අනතුරුවයි.