“එයාගේ මිනිය ගානට සරම අන්දලා රෙද්දක් පෙරෙව්වා..
පුතාට කතා කරලා ඉස්පිරිතාලෙට අරන් ගියා...”
"මම පාන්දර පහට විතර මහත්තයට තේ එකක් අරගෙන යාගේ කාමරේට ගියා. ගිහින් තේ එක බොන්න කියලා කතා කළාට එයා කතා කළේවත් ඇස් ඇරලා බැලුවේ වත් නෑ. මම ළංවෙලා බලද්දි එයා හුස්ම ගන්නෙ නෑ වගේ තේරුණා. මම දරුවට කතා කරලා ත්‍රීවිල් එකක් ගෙන්නගෙන යටවත්ත ඉස්පිරිතාලෙට අරගෙන ගියා. දොස්තර මහත්වරු බලලා කිව්වා එයා මැරිලා කියලා.."
මාතලේ පොලිස් කොට්ඨාශයේ මහවෙළ පොලිස් වසමේ පොල්වත්ත, සැලගම පදිංචිව සිටින කෝරලේගේ තුෂාර යන අයගේ හදසි මරණය සම්බන්ධයෙන් ඔහුගේ බිරිය මෙලෙස පැවසුවේ පොලිසියට කටඋත්තරයක් දෙමිනුයි.
තුෂාරගේ වයස අවුරුදු 44ක්. රැකියාව වැල්ඩින් වැඩ හා ගොවිතැනයි. දෙදරු පියෙකු වුවත් ඔහු මත්වතුරට ඇබ්බැහි වී සිටියා. එහෙත් පවුලේ අයට අගහිඟයක් ඇති නොවන ලෙසට වග බලා ගත්තා.
වර්තමානයේ කවුරු කෙලෙස මියගියත් කොවිඩ් පරීක්ෂාවට භාජනය කළ යුතුයි. තුෂාරගේ සිරුර රැගෙන යන්නේ කොවිඩ් පරීක්ෂාවටයි. ඒ සමඟම ඔහුගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයකට යොමු කෙරුණා.
දේහය කපා පරීක්ෂා කරන්නේ මාතලේ අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න අප්පුහාමි විසිනුයි. ඔහු පවසන්නේ තුෂාර මියගොස් ඇත්තේ ස්වභාවික හේතුවක් මත නොව ගෙළ සිර කිරීමෙන් බවයි.
තුෂාරගේ ඝාතනය ගැන විමර්ශන ආරම්භ වන්නේ ඉන් අනතුරුවයි.
මාතලේ පොලිසිය පවසන්නේ හැකි ඉක්මණින් අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් දෙමිනුයි.
එම කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුගත් බණ්ඩාර විමර්ශන පටන් ගන්නේ තුෂාරගේ බිරියගෙන් දීර්ඝ ලෙස කටඋත්තරයක් ගනිමිනුයි. එහිදී ඇය පවසන්නේ සිද්ධිය වූ දින උදේ පහට පමණ තමන් තේ එක රැගෙන සැමියාගේ කාමරයට යද්දී ඔහු කතාබහකින් තොරව සිටි බවයි. පොලිසිය ඊළඟට නිවස අඟලක් නෑර පරීක්ෂා කළා.
එනම් නිවසට පිටින් කිසිවෙකු ඇතුළු වී ඇත් ද එලෙස ඇතුළු වීමට ඉඩ ඇද්ද යන්න නිරීක්ෂණය කිරීමේ ඔවුන්ගේ අරමුණ වුණා.
එහෙත් එසේ නොවුනු අතර ඇය පවසා සිටියේ දරු දෙදෙනා සමඟ සැමියා පමණක් නිවසේ සිටි බවත් පිටස්තර කිසිවෙකු නොපැමිණි බවයි.
තුෂාරගේ හිතමිතුරන් කවුද , ඔවුන් මේ නිවසට යනවා ද එනවාද අවසන් වතාවට පැමිණියේ කවුරුන් දැයි සොයා බැලුවත් එවැනි සැකකටයුතු පුද්ගලයකු ගැන කිසිම හෝඩුවාවක් සොයා ගන්නට හැකි වූයේ නැහැ. අවසානයේ විමර්ශන කණ්ඩායමේ සැකය එල්ල වූයේ තුෂාරගේ බිරිය වෙතට යි.
ඊට මුල් වූ කාරණා කිහිපයක්ම තිබුණා. ඉන් එකක් වූයේ සැමියා හුස්ම නොගන්න බව වැටහුණු අවස්ථාවේ ඇය ඔහුට කෘත්‍රීම ශ්වසනය දුන් බව පැවසීමයි. නමුත් ඔහු ඒ අවස්ථාවේ සිට තිබුණේ වම් ඇලයටයි. කෘත්‍රීම ස්වසනය දීමට නම් එම පුද්ගලයා උඩුබැලි අතට සිටිය යුතුයි.
ඇයගෙන් ප්‍රශ්න කිරීම පටන් ගන්නේ ඉන් අනතුරුවයි. මඳ වේලාවක් නිහඬව සිටි ඇය හඬ අවදි කරන්නට වුයේ හැඬුම්බරවයි.
"මේක වුණේ මගේ අතින්.." ඇය එලෙස පවසද්දි දරුවන් පුදුමයට පත් වුණා.
"එදා පාන්දර මම එයාගේ කාමරේට ගිය වෙලාවේ අපි දෙන්න අතර පොඩි ප්‍රශ්නයක් ඇති වුණා. කතාව දුරදිග ගියා. මම එයාව තල්ලු කළා. එයාගේ ඔලුව ඇඳ විට්ටමගේ වැදුණා. ඒ පාර මම එකපාරම පැනලා එයාගේ බෙල්ල මිරිකගෙන හිටියා."
"එයා මැරුණා කියලා මට තේරුණා. ඊට පස්සෙ වම් ඇලයට ඉන්න විදිහට එයාගේ මිනිය ගානට සරම අන්දලා රෙද්දක් පොරවලා පුතාට කතා කරලා ඉස්පිරිතාලෙට අරන් ගියා.."
ඇය එසේ සියල්ල හෙළි කරන්නට වුයේ කිසිම විකල්පයක් නැති තැනයි.
ගෙළ මිරිකා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
දරු දෙදෙනා ඇගේ මවගේ භාරයට පත් කෙරුණා. පුංචි දෙයක් පදනම් විරහිතව දුර දිග යෑමෙන් අසරණ වූයේ තවමත් ළමා වියේ පසු වන දරුවන් දෙදෙනායි.
තක්ෂිලා ජයසේකර විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියක් ඇසුරිනි.