ශ්‍රී ලංකාවට බුදු දහමේ උරුමය හිමිවූ පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය වෙනුවෙන් හිරු මාධ්‍ය ජාලය සැදැහැ සිතින් සංවිධාන කරන හිරු ශීල පාරමිතා වැඩසටහන අද අලුයම ආරම්භ වුණා. ඒ, සම්බුදු පා පහසින් පුද ලත් ඓතිහාසික අභයගිරිය රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින්.
අද උදෑසන උවැසි උවැසියන් අෂ්ඨාංග ශීලයේ සමාදන් කරමින් හිරු ශීල පාරමිතාව ආරම්භ වුණා. එම කටයුතු සහ ධර්මානුශාසනාව සිදු කළේ අභයගිරි රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කල්ලන්සියේ රතනසිරි හිමියන්.
උදෑසන 07.30ට ධර්ම දේශනය සිදුකරන්නේ අභිධර්ම කථිකාචාර්ය රාජකීය පණ්ඩිත පූජ්‍ය බලංගොඩ රාධ හිමියන් විසිනුයි.
මීට අමතරව, විශේෂ ධර්ම සාකච්ඡාවක්ද පෙරවරු 08.30 සිට 10.00 දක්වා පැවැත්වෙනවා. ඒ ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිකාරී පූජ්‍ය කොත්මලේ කුමාර කශ්‍යප හිමියන් සහ පූජ්‍ය වල්පොළ ගෝතම හිමියන් විසින්.
ඉන් අනතුරුව, කාව්‍යමය ධර්ම දේශනයක්ද පැවැත්වෙන අතර, එය සිදුකරන්නේ කාව්‍ය විශාරද පූජ්‍ය මාම්පිටියේ සිරිසුමන හිමියන්. අනතුරුව, දහවල් 12.30ට තවත් විශේෂ ධර්ම සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.