Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
14
එදා කුණු ගොඩට විසි කළ ළදරුවා අද ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක් වූ හැටි - Photos

- එදා කුණු ගොඩට විසි කළ ළදරුවා අද ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක් වූ හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

127 Views
ෆ්‍රෙඩී ෆිගර්ස් ට මුලින්ම පරිගණකයක් ලැබෙන විට ඔහුගේ වයස අවුරුදු නවයකි. එය ක්‍රියා නොකරන පැරණි පරිගණකයක් වී නමුදු පරිගණක තාක්ෂණයට බැඳි ප්‍රථම ප්‍රේමයේ ආරම්භය ඉන් සනිටුහන් විය. ඔහු නවෝත්පාදකයෙකු, ව්‍යවසායකයෙකු සහ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු බවට පත් කිරීමේ පළමු පියවර එය විය.

නමුත් ඔහුගේ කුඩා අවධිය අතිශය දුෂ්කර වූවකි. ෆ්‍රෙඩි මිලියනපතියෙකු වේයැයි එකල කිසිවෙකු නොසිතන්නට ඇත.
 
"ඔබ කවුරුන්ද යන්න තීරණය කිරීමට ඔබේ තත්ත්වයට ඉඩ නොතබන්න."
 
31 හැවිරිදි ෆ්‍රෙඩී ෆිගර්ස් දෙන එකම උපදේශය එයයි.
 
තමන්ගේ උපත පිළිබඳව විස්තර තම පියාගෙන් විමසූ අට හැවිරිදි කුඩා ෆ්‍රෙඩීට ලැබුණේ කිසිදා අමතක නොවන පිළිතුරකි.
 
"ඔහු මට කිව්වා, 'මේ අහන්න ෆ්‍රෙඩ්, මම ඒ ගැන ඔයාට කෙලින්ම කියනවා. ඔයාගේ ඇත්ත අම්මා ඔයාව විසි කරලා දැම්මා. ඒත් ඔයාව ළමා නිවාසයකට දෙන්න මටයි බෙටීටයි (Betty Mae) අවශ්‍ය වුණේ නැහැ. අපි ඔයාව භාරකාරත්වයට අරගෙන හදාගත්තා. දැන් ඔයා මගේ පුතා.'"
 
ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පිටිසර පෙදෙසක අලුත උපන් ළදරුවෙකු, විශාල කුණු බක්කියක් අසල අතහැර දමා තිබියදී හමුවිය. ඒ ෆ්‍රෙඩී ෆිගර්ස් ය.
 
"මගේ තාත්තා, නේතන් (Nathan Figgers) එහෙම කියද්දී මට දැනුණේ 'මම හැමෝටම එපා වුණු කුණු ගොඩක්' විදියට. ඒත් එයා මගේ උරහිස්වලින් අල්ලලා කිව්වා 'මේ අහපන්, කිසිම දවසක ඒක උඹට ප්‍රශ්නයක් වෙන්න දෙන්න එපා' කියල."
 
නේතන් ෆිගර්ස්, නඩත්තු කටයුතුවල නියැලෙන බාස් කෙනෙකි. බෙටී ෆිගර්ස්, ගොවිපලක කම්කරු රැකියාවක් කළාය. ෆ්‍රෙඩී උපන්නේ 1989 දීය. ඒ වන විට මේ ෆිගර්ස් යුවල පනස්විය ඉක්මවා සිටියෝය. ඔවුන් ජීවත් වූයේ උතුරු ෆ්ලොරීඩාවේ පිටිසර ගමකය.
 
ඒ වනවිටත් ෆිගර්ස් යුවල දරුවන් කීපදෙනෙකු භාරකාරත්වයට ගෙන හදාවඩා ගනිමින් සිටියහ. දින දෙකක් වයසැති ෆ්‍රෙඩී හමුවූයේ මේ අතරතුරදී ය. ඔහුද තමන්ගේ ම දරුවෙකු ලෙස හදා ගැනීමට ඔවුහු තීරණය කළහ.
 
දරුවෙකු ලෙස බලාපොරොත්තු විය හැකි උපරිම ආදරය ඔවුන්ගෙන් ලැබුණු බව ෆ්‍රෙඩී පවසයි. නමුත් ගම්මානයේ සිටි අනෙක් ළමුන් ඇතැම් විට තමන්ට සාහසික වූ බව ෆ්‍රෙඩී පැවසීය.
 
"ළමයි මට ඔච්චම් කළා. ඔවුන් මට කතා කළේ 'කුණු ගොඩේ බබා, කුණු බක්කියේ ළමයා' කියල. 'උඹව කාටවත් ඕන නැහැ, උඹ ජරාවක්' කියල ළමයි කිව්වා." ෆ්‍රෙඩී අතීතය සිහිපත් කළේය.
 
"මට මතකයි සමහර දවස්වල පාසල් බස් රථයෙන් බැහැල ගෙදර එනකොට ළමයි එකතුවෙලා මාව උස්සල කුණුබක්කියට විසි කරලා හිනාවෙන හැටි."
 
මෙම සිදුවීම් නේතන්ට සැලවිය. පාසල නිමවී ෆ්‍රෙඩී පැමිණෙන තුරු දිනපතා බස්නැවතුම්පල අසලට වී බලා සිටීම නේතන් පුරුද්දක් කර ගත්තේ ඉන් අනතුරුවය. ෆ්‍රෙඩී දැන් බසයෙන් බැස නිවස කරා පියමනින්නේ සිය පියා සමඟය. නමුත් නේතන් ද ළමුන්ගේ ඔච්චමට භාජනය විය.
 
තම මව සහ පියා වීරයන් බවත් පරමාදර්ශී චරිත බවත් ෆ්‍රෙඩී පවසයි.
 
"මගේ තාත්තා මිනිස්සුන්ට හරියට උදව් කරනවා. පාරේ යනකොට නාඳුනන කෙනෙකුට වුනත් උදව් කරනවා. මහමග ඉන්න දුප්පත් මිනිස්සුන්ට කන්න දෙනවා. එයා අදහන්න වටිනා මිනිහෙක්. කවද හරි මටත් ඕන එයා වගේ වෙන්න." ෆ්‍රෙඩී පැවසීය.
 
සති අන්තයේදී කසල බහාලුම් සොයා රිය පැදවීම නේතන්ගේ පුරුද්දක් විය. ෆ්‍රෙඩී ද ඒ ගමනට එක් වේ. විසිකර දැමූ කසල අතර ප්‍රයෝජනයට ගත හැකි යමක් වේදැයි සොයා බැලීම ඒ ගමනේ අරමුණ විය. ෆ්‍රෙඩී විශේෂයෙන් ඇස ගසා ගෙන සිටින්නේ කොම්පියුටරයක් සොයා ගැනීමටය.
 
"පැරණි කියමනක් තියෙනවා, 'කෙනෙකුගේ කසල තව කෙනෙකුගේ නිධානයක්' කියල. ('One man's trash is another man's treasure') මම කවදත් පරිගණකවලට ඇලුම් කළා. මමආසාවෙන් හිටියා හොඳ කොම්පියුටරයක් ගන්න. ඒත් ඒ දවස්වල අපිට ඒ තරම් වියදමක් දරන්න බැහැ."
 
අවසානයේ නේතන් සහ 9 හැවිරිදි ෆ්‍රෙඩී, පරණ බඩු අලෙවි සලකට ගොඩ වූහ. පාවිච්චි කොට ඉවත ලූ Macintosh පරිගණකයක් එහි තිබුණි.
 
"අපි එහි මිල අඩුකර ගැනීමට පෙරැත්ත කළා. අන්තිමට ඒක ඩොලර් 24කට දුන්නා. අපි ඒකත් අරන් ගෙදර ආවා. මම හිටියේ සතුටින් ඉපිල ගිහින්." ෆ්‍රෙඩී පැවසීය.
 
ඒ වන විට නේතන් සතුව කැඩුණු බිඳුණු ගුවන්විදුලි යන්ත්‍ර, ඔරලෝසු සහ වීඩියෝ කැසට් යන්ත්‍ර වැනි දෑ එක්රැස් වී තිබුණි. ඔහු ඒවා අලුත්වැඩියා කිරීමට උත්සාහ කරමින් සිටියේය. දැන් ඔහුගේ අවධානය සම්පුර්ණයෙන්ම යොමු වී ඇත්තේ පරණ මැකින්ටොෂ් පරිගණකය වෙතටය.
 
"ගෙදර ඇවිත් බලනකොට මේ කොම්පියුටරය වැඩ කරන්නේ නැහැ. මම ඒක කෑලිවලට ගැලෙව්වා."
 
"මම ඒක පරීක්ෂා කරමින් ඉන්න කොට දැක්ක ඒකෙ 'කැපෑසිටර්' එකක් කැඩිලා තියෙන බව. කැඩිච්ච රේඩියෝ, ඔරලෝසු වගේ දේවල් ගෙදර තිබුණා. තාත්තගේ කැඩිච්ච රේඩියෝවකින් කෑලි ගලවල කොම්පියුටරේ සර්කිට් එකට පෑස්සුව." ෆ්‍රෙඩී විස්තර කළේය.
 
පනස් වතාවක් පමණ නැවත නැවත උත්සාහ කිරීමෙන් අනතුරුව අවසානයේ දී පරිගණකය පණ ගැන්වුණු බව ෆ්‍රෙඩී පැවසීය. තාක්ෂණය සමඟ ජීවිතය ගත කළයුතු බව ඔහුට දැනුණේ ඒ මොහොතේය.
 
"ඔච්චම්, සරදම් නිසා හිතේ ගොඩ ගැහිලා තිබුණු වේදනා සියල්ලම ඒ කොම්පියුටරය නිසා නැතිවෙලා ගියා." ෆ්‍රෙඩී පැවසීය.
 
"ඉස්කෝලේ ගිය සෑම දවසකම ඉවසිල්ලක් නැහැ ගෙදර ඇවිත් ඒ කොම්පියුටරය ළඟ ඉඳ ගන්නකල්."
 
ඔහුගේ මේ විශේෂ කුසලතාව අන් අයගේ අවධානයට ලක්වූයේ ෆ්‍රෙඩී 12 වැනි වියේ පසුවන විටදී ය. පාසල් කාලයෙන් පසුව අනෙක් ළමුන් පිට්ටනියේ ක්‍රීඩා කරමින් සිටින අතරතුර ෆ්‍රෙඩී පාසලේ කැඩුණු පරිගණක අලුත්වැඩියා කළේය.
 
කැඩුණු පරිගණකවලට පණ දෙන ෆ්‍රෙඩී ගැන පළාතේ නගරාධිපතිනියගේ ද අවධානය යොමු විය. දෙමාපියන් සමඟ නගර ශාලාවට පැමිණෙන ලෙස ඇය ෆ්‍රෙඩී ට දැනුම් දුන්නාය.
 
"නගර ශාලාවට ගියාම ඇය මට පෙන්නුවා කැඩිච්ච කොම්පියුටර් 100ක් විතර ගොඩ ගහල තියෙනවා. 'මට මේ ඔක්කොම අලුත්වැඩියා කර ගන්න ඕන' කියල එයා කිව්වා."
 
එතැන් පටන් ෆ්‍රෙඩී පාසල නිමවූ සැනින් යන්නේ මේ කොම්පියුටර් තොගය වෙතටය. ඒවා අලුත්වැඩියා කිරීම වෙනුවෙන් පැයකට ඩොලර් 12ක් බැගින් ඔහුට ගතමනාවක් ලැබිණ.
 
"ඇත්තටම මේක මම කළේ සල්ලි නිසාම නෙමෙයි. මම කැමතිම දේ කරන්න මට අවස්ථාවක් ලැබුණා. ඒක මට ලොකු ආශ්වාදයක් වුණා."
 
දෙවසරක් පමණ ගත විය. පළාතේ නල ජලයේ පීඩනය මැන බැලීම සඳහා පරිගණක පද්ධතියක අවශ්‍යතාව නගර සභාවට මතු විය. ඒ සඳහා කිසියම් සමාගමක් විසින් දෙන ලද ඇස්තමේන්තුව ඩොලර් 600,000කි. මෙය ෆ්‍රෙඩී ට අනගි අවස්ථාවක් විය.
 
නගර සභාවේ කළමනාකරුවෙකු හඬනගා කියූ දෙයක් ෆ්‍රෙඩී ට තවමත් මතකය. "ෆ්‍රෙඩී හොඳ කොම්පියුටර්කාරයෙක්නෙ. සමහර විට එයාට පුළුවන් වෙයි අපිට උදව් කරන්න."
 
"ඉතින් ඒ නිසා මම කිව්වා, 'සර්, ඔබ මට අවස්ථාවක් දුන්නොත් මට පුළුවන් වෙයි ඒ ප්‍රෝග්‍රෑම් එක හදන්න,' කියල. ඔහු මට අවස්ථාව දුන්නා. ඔවුන්ට අවශ්‍ය ආකාරයටම මම ඒ පද්ධතිය හැදුව. මට ඩොලර් ලක්‍ෂ හයක් ගෙව්වේ නැහැ. මම මගේ සාමාන්‍ය වැටුප අරගෙන ගෙදර ගියා."
 
මෙය ෆ්‍රෙඩී ගේ ජීවිතයේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යය විය. ඔහු එවක 15 හැවිරිදිය. නමුත් පාසලට ආයුබෝවන් කියා තමන්ගේ ම පරිගණක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඔහු දැන් සුදානම් ය. එය දෙමාපියන්ට නම් සිත කළඹන පුවතක් විය.
 
"ඔවුන් විශ්වාස කළේ අධ්‍යාපනය, රස්සාව සහ විශ්‍රාම යාම කියන දිවි පැවැත්ම. ඒත් මට ඕන වුණා මේ දාමය බිඳින්න. වෙනස් දෙයක් කරන්නයි මට උවමනා වුණේ." ෆ්‍රෙඩී පැවසීය.
 
ෆ්‍රෙඩී ගේ ව්‍යාපාරය දිනෙන් දින ශක්තිමත් වෙමින් පැවතිණි. දෙවසරක් ඇවෑමෙන් සිය පියා, අල්සයිමර්ස් (Alzheimer's) රෝගයෙන් පෙළෙන්නට පටන් ගත්තේය.
 
මෙම රෝගයේ ලක්ෂණයක් වන්නේ රෝගියා රෑ මැදියමේ අවදි වී, තමන් දිවා කාලයේ රුපවාහිනියේ දුටු යම් සිද්ධියක් සත්‍යයක් ලෙස වටහා ගනිමින් ඊට අනුකූලව ක්‍රියා කිරීමය. නේතන් ද මේ අයුරින් ක්‍රියා කරන්නට පටන් ගත්තේය. මෙය තමන් මුහුණදුන් ත්‍රාසජනක ම අත්දැකීම බව ෆ්‍රෙඩී පවසයි.
 
"එදා පාන්දර දෙකට විතර ඇති. තාත්ත ප්‍රිය කරන චිත්‍රපටියක ප්‍රධාන චරිතයට එයා ආරුඩ වෙලා. රයිෆලයක් අතේ තියාගෙන මගේ කාමරයට ඇවිත් කිව්වා මේ නගරයෙන් පිටවෙලා යන්න කියල."
 
පියාගේ අතේ තිබූ රයිෆලය උදුරා ගැනීමට ෆ්‍රෙඩී සමත් විය. නැවතත් පියා කාමරයට ගෙන ගොස් නින්දට දැම්මේය. නමුත් උදෑසන අවදිවී බලද්දී නේතන් නිවසින් පිටව ගොස් සිටියේය.
 
මෙය ද අල්සයිමර්ස් රෝගයේ ලක්ෂණයකි. එවන් රෝගියෙකු නිවසින් පිටව ගිය පසු නැවත නිවසට පැමිණීමට ඔවුනට මග සොයා ගැනීමට නොහැකිය.
 
ෆ්‍රෙඩී පියාගේ සපත්තුවට කුඩා පරිගණක පද්ධතියක් සවි කළේය. එය තමන්ගේ ලැප්ටොප් පරිගණකයට සම්බන්ධතාවක් පවතී. ඉන්පසුව, GPS තාක්ෂණය ඔස්සේ පියා සිටින තැන සොයා ගැනීම එතරම් අපහසු නොවීය.
 
නේතන් ගේ රෝගී තත්ත්වය එන්න එන්නම නරක අතට හැරුණි. ඔහුගේ පවුලේ ඇතැම් සාමාජිකයන් යෝජනා කළේ නේතන් වැඩිහිටි නිවාසයක නතර කළ යුතු බවය. නමුත් ෆ්‍රෙඩී ඊට එකඟ නොවීය. තම ව්‍යාපාරික කටයුතු හෝ රැස්වීම් සඳහා ෆ්‍රෙඩී නිවසින් පිටව යද්දී පියා ද ඒ ගමනට එක් කර ගැනීමට ෆ්‍රෙඩී තීරණය කළේය.
 
"ඔහු මාව තනිකළේ නැහැ. ඒ නිසා මමත් ඔහුව තනි කළේ නැහැ." ෆ්‍රෙඩී පැවසීය.
 
81 වසරක් ආයු වළඳා නේතන් මිය යන විට ෆ්‍රෙඩී 24 හැවිරිදි ය; ඒ 2014 වසරේ ජනේරුවේදී ය.
 
"ඇත්තටම එදා මගේ හිත කඩා වැටුණා. මොකද, මගේ එකම අරමුණ වුණේ තාත්තාව සතුටින් තැබීම."
 
සිය පියාගේ සපත්තුවට සවි කළ කුඩා පරිගණක පද්ධතිය නවෝත්පාදනයකි. පියා මිය ගිය පසුව එම තාක්ෂණික නිර්මාණය ඩොලර් මිලියන 2.2කට අලෙවි කිරීමට ෆ්‍රෙඩී ට හැකිවිය.
 
"මුදල් කියන්නේ හැම දෙයක්ම නොවෙයි. මගේ තාත්ත සල්ලි කාරයෙක් නොවෙයි. ඒත් ඔහු ගොඩක් ජීවිතවලට මතක හිටින යමක් කළා. මිනිසුන්ට හරියට උදව් කළා. මමත් හමුවන හැම දෙනාගේම ජීවිත වඩා යහපත් කිරීමට කැප වෙනවා." ෆ්‍රෙඩී පැවසීය.
 
ෆ්‍රෙඩී ගේ මවගේ මාමා කෙනෙකු ජෝර්ජියාවේ ජීවත් විය. ඔහු බැහැදැකීම සඳහා යාමට ෆ්‍රෙඩී ට අවස්ථාවක් ලැබුණි. එවක ෆ්‍රෙඩී ගේ වයස අවුරුදු අටකි. මේ ගමන තවත් නවෝත්පාදනයක ප්‍රථම පියවර විය.
 
"අපි ඒ ගෙදරට ගියා. තාත්තයි අම්මයි සෑහෙන වෙලාවක් දොරට තට්ටු කළා. ඒත් ඔහු දොර ඇරියේ නැහැ. ඒ නිසා තාත්තා මට කිව්වා ජනේලෙන් රිංගල ගිහිං දොර අරින්න කියල." ෆ්‍රෙඩී ඒ සිදුවීම ආවර්ජනය කළේය.
 
ෆ්‍රෙඩී නිවස තුළට රිංගා ගොස් දොර විවර කළේය. තම වැඩිහිටි ඥාතියා පුටුවක වාඩිගෙන සිටිනු ෆ්‍රෙඩී දුටුවේය.
 
"මගේ තාත්තා එයා ළඟට ගියා. හදිසියේම අම්මට කතා කරලා තාත්තා කියපු දේ මට තාම මතකයි. 'බෙටී, එයා මැරිලා,' කියල තාත්තා කිව්වා."
 
දියවැඩියාවෙන් පෙළුණු වැඩිහිටි ඥාතියා කෝමා තත්ත්වයට පත්වී මිය ගොස් සිටියේය.
 
"දියවැඩියාවෙන් පෙලෙන කෙනෙක් නම් තමන්ගේ රුධිරය පරීක්ෂා කරලා සීනි ප්‍රමාණය දිනපතා සටහන් කරගත යුතු වෙනවා. නමුත් ඈත පිටිසර තනිවම ජීවත් වන කෙනෙකුගේ මේ වාර්තාව බලන්න කෙනෙක් නැහැනේ." ෆ්‍රෙඩී පැවසීය.
 
වයස අවුරුදු 22 වන විට, නවීන පන්නයේ සුහුරු ග්ලූකෝමීටරයක් (රුධිරයේ ඇති සීනි ප්‍රමාණය පරීක්ෂා කිරීමේ උපකරණයක්) නිපදවීමට ෆ්‍රෙඩී සමත් විය. එම උපකරණය මගින් රෝගියාගේ ළඟම ඥාතියෙකු වෙත ක්‍ෂණිකවම ප්‍රතිඵලය ස්වයංක්‍රීයව නිකුත් වනු ඇත. එය වෛද්‍යවරයෙකුගේ නිරීක්ෂණයට ලක් කළ හැකිය. රෝගියාගේ රුධිරයේ සීනි සාන්ද්‍රණය අසාමාන්‍ය තත්ත්වයක පවතීනම් ක්‍ෂණිකවම අනතුරු ඇඟවීමේ සඥාවක් නිකුත් වේ.
 
මේ අතරතුර ෆ්‍රෙඩී මහා පරිමාන ව්‍යාපෘතියක් ද ආරම්භ කළේය. ඇමරිකාවේ පිටිසර බද ප්‍රදේශවලට 2G හෝ 3G තාක්ෂණය සහිත අන්තර්ජාල පහසුකම් නොමැති බව ඔහු දැන සිටියේය. තමන් ගේ ගම්මානයේ තත්ත්වය ද එසේමය.
 
ගම්බද ප්‍රජාවට නවීන සන්නිවේදන තාක්ෂණය සහිත ටෙලිකොම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගැනීමට ෆ්‍රෙඩී ඉල්ලුම් පත්‍රයක් පිරවූයේ 2008 දීය. ඒ ඔහුගේ ප්‍රථම ටෙලිකොම් ඉල්ලුම් පත්‍රයයි. මේ වන විට ඔහු ටෙලිකොම් සමාගම් කීපයක හිමිකරුවෙකි.
 
"ජනගහනය 1000කට වඩා අඩු ගම්බද ප්‍රදේශවලට ඇවිත් තමන්ගේ සේවාව ලබා දීම සඳහා දැවැන්ත සමාගම් ආයෝජනය කරන්නේ නැහැ." ෆ්‍රෙඩී පැවසීය.
 
බලපත්‍රය ලැබුන ද ෆ්‍රෙඩී අතගැසූ ව්‍යාපෘතිය එතරම් පහසු දෙයක් නොවීය. අවශ්‍ය ඉදිකිරීම් සහ උපකරණ සඳහා විශාල මුදලක් වැයවිය. සාර්ථක සේවාවක් සැපයිය හැකි වූයේ 394 වතාවක් උත්සාහ කිරීමෙන් අනතුරුවය.
 
කෙසේ නමුත් 2011 වසරේදී, ඇමරිකා එක්සත් ජනපදයේ සිටින ලාබාලම, ටෙලිකොම් සමාගම් හිමිකරුවා බවට පත්වීමට 21 හැවිරිදි ෆ්‍රෙඩී ට හැකිවිය. NBC පුවත් සේවය පවසන පරිදි එරට ටෙලිකොම් සමාගම් හිමිකරුවන් අතර සිටින එකම කලු ජාතිකයා වන්නේ ද ෆ්‍රෙඩී ය.
 
මෙම ටෙලිකොම් ව්‍යාපෘතියේ මුල් වකවානුව ඉතා දුෂ්කර විය. බොහෝ දේ කරන්නට සිදු වූයේ ෆ්‍රෙඩී ගේ දෑතින්ම ය. පළමු දුරකථන කුළුන සිටවීම සඳහා අවශ්‍ය කොංක්‍රීට් දැමීමේ පටන් ඊට අවශ්‍ය ෆයිබර් ඔප්ටික් රැහැන් ඇදීම දක්වා බොහෝ දේ ෆ්‍රෙඩී ගේ දෑතින් ම සිදුවිය.
 
ඔහුගේ ටෙලිකොම් ව්‍යාපෘති රටේ පිටිසරබද පලාත්වල දිනෙන් දින සාර්ථකව වැඩෙන්නට පටන් ගත්තේය.
 
2014 දී ෆ්‍රෙඩී, විශේෂිත වූ ජංගම දුරකතනයක් - Figgers F1 - ලොවට හඳුන්වා දුන්නේය. පැයට සැතපුම් 10කට වඩා වැඩි වේගයකින් ධාවනය වන වාහනයක් තුළ දී මෙම දුරකථනය "ආරක්‍ෂිත තත්ත්වයකට" පත්වේ. වාහනයක් පදවන අතරතුර ජංගම දුරකථනයක් භාවිත කිරීම එමගින් වැළකෙනු ඇත.
 
මෙම ජංගම දුරකතනයේ තවත් මාදිලියක් - Figgers F3 - නවීන තාක්ෂණික උපාංගයක් සහිතව වෙළෙඳපොළට පැමිණියේ 2019දී ය. එහි බැටරිය ආරෝපණය කිරීම සඳහා චාජරයට සම්බන්ධ කළයුතු නැත. චාජරය පවතින ස්ථානයේ සිට මීටර් පහක් ඇතුළත දුරකින් දුරකථනය වේනම් එහි බැටරිය ආරෝපණය වේ.
 
ෆ්‍රෙඩී ගේ මව දැන් 83 හැවිරිදිය. ඇය ද මේ වනවිට අල්සයිමර්ස් රෝගයෙන් පීඩා විඳින්නීය. ෆ්‍රෙඩී ගේ පියා වෙනුවෙන් සහ මවගේ මාමණ්ඩිය නිසා බිහිවූ නවෝත්පාදන දැන් ෆ්‍රෙඩී ගේ මවට ද ප්‍රයෝජනවත් ය.
 
ෆ්‍රෙඩී විවාහ දිවියට පය තැබුවේ 2015දී ය. ඔහුගේ බිරිඳ නැට්ලී නීතිඥවරියකි. දෙදෙනා දැන් කුඩා දියණියකගේ සුරතල් බලති. තම ව්‍යාපාරය පමණක් නොව; අසරණ පවුල්වල දරුවන්ගේ සෞඛ්‍යය සහ අධ්‍යාපනය නගා සිටුවීම සඳහා පදනමක් ද පවත්වාගෙන යති.
 
"කිසිම දවසක බලාපොරොත්තු අතහරින්න එපා. ලෝකය කෙතරම් දුෂ්කර වුවත් තමන්ට හමුවන හැම කෙනෙකුගේම ජීවිතයට ධානාත්මක බලපෑමක් කරන්නට කැප වන්න." තමන්ගේ දියණියට දෙන වැදගත්ම උපදේශය මෙය බව ෆ්‍රෙඩී පවසයි. ෆ්‍රෙඩී ගේ පියා - නේතන් - ජීවතුන් අතර සිටියානම් ඔහු ද ඊට සපුරා එකඟ වන බව නම් නොඅනුමානය.
 
උපුටා ගැනීම සිංහල බීබීසි වෙබ් පිටුවෙන්.... 

 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top