අද දිනයේදී මෙතෙක් වාර්තා වූ ආසාදිතයින් 1097 දෙනා සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 120,521ක්.
ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 18,013ක් වන අතර, සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 101,763 ලෙස දැක්වෙනවා.
මේ අතර, පවතින කොරෝනා අවදානම හමුවේ මුඛ ආවරණ දෙකක් පළඳින ලෙස ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ ජනතාවගෙන් ඉල්ලීමක් කළා.
පවතින කොරෝනා ව්‍යාප්ති අවදානම සැලකිල්ලට ගෙන අද පෙරවරු හයේ සිටත් බස්නාහිර පළාතේ තවත් ග්‍රාම නිලධාරී වසම් 12ක් හුදෙකලා කෙරුණා.
වැලිසර විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයද අද සිට නැවත දැනුම්දෙනතුරු වසා දැමීමටයි පියවර ගත්තේ.
එසේම, පවතින කොරෝනා අවදානම සැලකිල්ලට ගනිමින් එළැඹෙන සති අන්තයේ මුහුදු වෙරළ, ඇලදොල, ගංඟා ආදී ස්ථානවල විනෝදාස්වාදය පිණිස ගත කිරීමට නොපැමිණෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව කළුතර කොට්ඨාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා ඉල්ලීමක් කළා.
කිලිනොච්චිය පොලීසියේ 28 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස තහවුරු වී තිබෙනවා. ඒ දින කිහිපයක් පුරා සිදුකළ කොරෝනා පරීක්ෂණවල වාර්තා අද ලැබීමෙන් අනතුරුවයි.
ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනය සදහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි කිලිනොච්චිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්.සරවනභවන් සඳහන් කළේ.
පොලීසිය සම්පූර්ණයෙන් විෂබීජහරණය කිරීමට පියවර ගෙන ඇති අතර වෙනත් පොලිස් ස්ථානවල නිලධාරීන් යොදවා කිලිනොච්චිය පොලීසියේ රාජකාරී කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට මේ වනවිට පියවර ගෙන තිබෙනවා.
එසේම, දිවයින පුරා සියළුම පාසල්, පෙර පාසල්, විශ්වවිද්‍යාල සහ උපකාරක පන්ති නැවත දැනුම් දෙනතුරු වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළා.
පවතින කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ මෙම තීරණය ගෙන ඇති බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
ගාල්ල නගරයේ අත්‍යවශ්‍ය නොවන වෙළඳසැල් එළැඹෙන 11 වැනිදා සිට දින 14 ක් වසා දමා කොරෝනා ව්‍යාප්තිය පාලනයට සහය වන්නැයි ගාල්ල දිස්ත්‍රික් කර්මාන්ත හා වාණිජ මණ්ඩලය ඉල්ලීමක් කරනවා.
මේ අතර, ශ්‍රී ලංගම සේවකයින්ට නිරෝධායනය වීම සඳහා කළුතර සහ බදුල්ල ප්‍රදේශවල නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් ඉදිකිරීමට කටයුතු කරමින් සිටින බව එහි පාලනාධිකාරිය ප්‍රකාශ කළා.
මේ වනවිට දිවයිනේ විවිධ ප්‍රදේශවල ශ්‍රී ලංගම සේවකයින් 630 දෙනෙකු පමණ නිරෝධායනය වන බව සඳහන්.
කළුතර ප්‍රදේශයේ සිදුකළ කොරෝනා පරීක්ෂණ 200 කින් 48 දෙනෙකු ආසාදිතයන් ලෙස තහවුරු වී තිබෙනවා.
ප්‍රදේශයේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.බී.සිංහබාහු හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ කළුතර, නාගොඩ, කටුකුරුන්ද යන ප්‍රදේශවලින් එම රෝගීන් වාර්තා වී ඇති බවයි.
වාර්තා වූ ආසාදිතයන් අතර නාගොඩ විජිත මාවත ප්‍රදේශයේ පසුගියදා පැවති මංගල උත්සවයකට සහභාගී වූ 12 දෙනෙකුද වන බව ඔහු සඳහන් කළා.
මේ අතර, කොරෝනා වෛරසය සුව කිරීම සම්බන්ධව කිසිදු පර්යේෂණාත්මක තහවුරු කිරීමකින් තොර ඖෂධ වට්ටෝරු භාවිත කිරීම සඳහා මහජනතාව පොළඹවන හා නොමඟ යවන ප්‍රකාශ සිදුකරන තැනැත්තන්ට එරෙහිව අවශ්‍ය විනය හා නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබන බව ආයුර්වේද වෛද්‍ය සභාව පවසනවා.
එහි සභාපතිනී වැඩබලන ආර්යුවේද කොමසාරිස් තාරකා මේධාවී දිසානායක නිවේදනය කළේ නිෂ්චිත වශයෙන් හඳුනා නොගත් ආයුර්වේද ඖෂධ වට්ටෝරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ජනතාව නොමඟ යැවීම වැළැක්වීම සඳහා දැඩි අවධානයෙන් පසුවන බවයි.
VIDEO