ඉන්දියාවේ වසංගත තත්වයේ සීග්‍ර ව්‍යාප්තියත් සමඟ ශ්‍රී ලංකාව ඇතුලු අසල්වැසි රටවල ද කොරෝනා ආසාදිතයන් ඉහළ යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකාවට අමතරව නේපාලයේ ආසාදිත සංඛ්‍යාව පසුගිය සතියේ සියයට 137 කින් වැඩිවී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ සතිපතා වාර්තාව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
නේපාලයෙන් නව ආසාදිතයන් 31,088 ක් වාර්තාවී ඇති අතර, එරට මුළු ආසාදිත සංඛ්‍යාව තුන්ලක්ෂ පන්දහස් එකසියයක් දක්වා මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ද පසුගිය සතියක කාලය තුළ ආසාදිතයන් 12,000 ඉක්මවා වාර්තාවී තිබුණා.
මේ අතර පසුගිය සතියේ ලොව පුරා රටවලින් වාර්තාවූ නව ආසාදිතයන්ගෙන් සියයට 46 ක්ම වාර්තාවී ඇත්තේ ඉන්දියාවෙන් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ.
මේ වන විට ලොව පුරා සෑම කොරෝනා මරණ හතරකින් එකක්ම වාර්තා වන්නේ ඉන්දියාවෙන්.
පසුගිය සතියේ පමණක් ලොව පුරා ආසාදිතයන් මිලියන 5.7 ක් වාර්තාවී ඇති අතර, ඉන් මිලියන 2.6 ක්ම හමුවී ඇත්තේ ඉන්දියාවෙන් වීම විශේෂත්වයක්. පෙර සතිය සමඟ සැසඳීමේදී එය සියයට 20 ක වැඩිවීමක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියා.
මේ අතර, ජී - හත සමුළුවට සහභාගිවීම සඳහා ලන්ඩනයට ගොස් සිටින ඉන්දීය දූත කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය තිබෙනවා.
ඒ හේතුවෙන් ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් මාර්ගගත ක්‍රමය ඔස්සේ සමුළුවට එක්වීමට තීරණය කර තිබෙනවා.
මේ වනවිට අදාළ දූත පිරිසේ සෙසු සාමාජිකයන් ස්වයං නිරෝධායනයට ලක් වන අතර, බි්රතාන්යය, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය සහ ඇමරිකාව යන රටවල් නියෝජනය කරන ජී හත සමුළුවට ඉන්දියාව සහභාගිවී ඇත්තේ ආරාධිත රටක් ලෙසයි.
මේ අතර, කොරෝනා වසංගතය හමුවේ පැවති ඉන්දීය ප්‍රාන්ත මැතිවරණයෙන් පසු බටහිර බෙංගාල් ප්‍රාන්තයේ ඇතිවූ ගැටුම්වලින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.