සිය දියණියට බරපතළ ලිංගික අපහරණයක් සිදු කළ පියකුට සබරගමුව පළාත් බද කෑගල්ල මහධිකරණ විනිසුරු ජයකී අල්විස් මහත්මිය ඉකුත්දා වසර 15 බරපතළ වැඩ සහිත සිරදඬුවමක් හා පැමිණිලිකාරියට රුපියල් ලක්ෂ 5ක වන්දි මුදලක් ගෙවන ලෙස නියෝග කර තිබෙනවා.
මෙලෙස සිරදඬුවම් හා වන්දි මුදල් ගෙවීමට නියෝග කර ඇත්තේ කෑගල්ල පොලිස් වසමේ තාරකාගම, තලේවල, හෙට්ටිමුල්ලේ පදිංචි 55 හැවිරිදි සේවය පැහැර හැර ඇති හිටපු හමුදා සෙබළකුටයි . ඔහු තිදරු පියෙක්.
2002 දෙසැම්බර් 18 දින හෝ ඊට ආසන්න දිනකදී විත්තිකරුගේ බිරිය බාල දරුවන් දෙදෙනාගේ යම් අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා කෑගල්ල මහ රෝහලට දහවල් කාලයේ ගොස් තිබෙනවා. නිවෙසේ සිට ඇත්තේ විත්තිකරුත්, විත්තිකරුගේ වයෝවෘද්ධ මවත්, සිය 12 හැවිරිදි දියණියත් පමණයි.
වයෝවෘද්ධ මව ළිඳට රෙදි සේදීමට ගිය අවස්ථාවේදී විත්තිකරු සිය 12 හැවිරිදි දියණියට නිවෙසේදී බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කර ඇති අතර පසුව දැරිය සිද්ධිය සම්බන්ධයෙන් රෙදි සෝදාගෙන නිවෙසට ආ මිත්තනියට දන්වා තිබෙනවා.
පසුව මිත්තනිය කෑගල්ල මහ රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට ගිය ලේලිය පැමිණෙන තෙක් මඟ බලා සිට සිද්ධිය සම්බන්ධයෙන් ඇයට දන්වා තිබෙනවා.
පසුව දැරියගේ මව සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල මූලස්ථාන පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
සැකකාර පියා කලක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇප මත මුදා හැර ඇති අතර පසුව කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ ලඝු නොවන නඩු විභාගයකින් අනතුරව නීතිපතිවරයා වෙත යොමු කොට ලිංගික අතවර සිදුකිරීම සම්බන්ධයෙන් එකී චෝදනාවක් යටතේ සබරගමුව පළාත් බද කෑගල්ල මහාධිකරණ වෙත නඩුව යොමු කොට තිබෙනවා.
කෑගල්ල මහාධිකරණයේ නඩුව විභාග වෙමින් තිබෙද්දී සැකකරු අධිකරණය මඟ හැර අනුරාධපුර ප්‍රදේශයට පලා ගොස් තිබෙන බවත් සඳහන්. පසුව මහාධිකරණයට ඉදිරිපත් නොවීම හේතුවෙන් 2012 පෙබරවාරි 12දා විත්තිකරුට එරෙහිව විවෘත වරෙන්තුවක් එවකට සිටි මහාධිකරණ විනිසුරු නිකුත් කර තිබෙනවා.
පලා ගිය විත්තිකරු අනුරාධපුර ප්‍රදේශයට ගොස් වෙනත් කාන්තාවක් සමඟ පවුල්කමින් සිටියදී පුරා වසර 9ට පසුව අනුරාධපුර මූස්ථාන පොලිසිය 2021 ජනවාරි මස දිනක යම් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර පසුව අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා .පසුව කෑගල්ල මහධිකරණය මඟින් නිකුත් කර තිබෙන විවෘත වරෙන්තුවට බන්ධනාගාර විසින් ඉකුත්දා ඔහු කෑගල්ල මහධිකරණයට ඉදිරිපත් කළා.
එහිදී විත්තිකරුට එරෙහිව නඟා තිබූ චෝදනාව කියවා දුන් මහධිකරණ විනිසුරුවරිය පසුව විත්තිකරු වැරදිකරු කරමින් වසර 15ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර රුපියල් 10,000ක දඩ මුදලක් ගෙවන ලෙසත් නියෝග කළා. දඩ මුදල් නොගෙවන්නේ නම් තවත් වසරක සිරදඬුවමක් නියම කළා. ඊට අමතරව සිය දියණියට (වින්දිත දැරියට) රුපියල් ලක්ෂ 5ක වන්දි මුදලක් ගෙවන ලෙසත් වන්දි මුදල් නොගෙවන්නේ වසර දෙකක සිරදඬුවමක්ද නියම කළා.