බංග්ලාදේශ කණ්ඩායම සමඟ පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති දෙවන ටෙස්ට් තරඟය ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද (03) සමත් වුණා.
බංග්ලාදේශය පරාජය කරමින් ශ්‍රී ලංකාව මෙම තරඟය ජය ගත්තේ ලකුණු 209කින්.
තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිළ සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 07ක් දැවී 493ක් රැස්කිරීමට සමත් වුණා.
එහිදී දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමාන්න ශතක රැස් කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ශක්තිමත් කළා.
සිය පළමු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ පිතිකරුවන් ලකුණු 251කට සීමා කරන්නට නවක ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නට හැකියාව ලැබුණා.
එහිදී ප්‍රවීන් ජයවික්‍රම බංග්ලාදේශ පළමු ඉනිමේ කඩුලු 06ක් බිඳ හෙලීමට සමත් වුණා.
ලකුණු 248ක වාසියක් ද සමඟ සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 09ක් දැවී ලකුණු 194ක් රැස්කරගෙන සිටියදී සිය ඉනිම අත්හිටුවා දෙවන ඉනිම ක්‍රීඩා කිරීමට බංග්ලාදේශ පිලට ආරාධනා කළා.
ඒ අනුව ජයග්‍රහණය වෙනුවෙන් බංග්ලාදේශ පිළට ලකුණු 487ක ඉලක්කයක් හිමි වුණා.
එම ඉලක්කය හඹා ගිය බංග්ලාදේශ පිතිකරුවන්ට සියල්ලන් දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 227ක් පමණයි.
යළිත් වරක් ක්‍රියාත්මක වූ මෙම තරඟයේදී ටෙස්ට් වරම් හිමිකරගත් ප්‍රවීන් ජයවික්‍රම බංග්ලාදේශ දෙවන ඉනිම සුණු විසුනු කළේ කඩුලු 05ක් දවා ගනිමින්.
අනෙක් අන්තයෙන් ඔහුට අනගි සහයක් ලබාදුන් රමේෂ් මෙන්ඩිස් බංග්ලාදේශ දෙවන ඉනිමේ කඩුලු 04ක් බිද දැමුවා.
නවක ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම වාර්තා පොත් අතරට එක් වුණේ මංගල ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු සංඛ්‍යාවක් ලබාගත් පන්දු යවන්නා බවට පත් වෙමින්.
පළමු ඉනිමේ කඩුලු 06ක් සහ දෙවන ඉනිමේ කඩුලු 05ක් බිඳ දමමින් ප්‍රවීන් බිඳ හෙලූ කඩුලු සංඛ්‍යාව 11ක්.
ඒ අනුව දෙරට අතර පැවති තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය තරඟ එකට බිංදුවක් ලෙස ජය ගන්නට ශ්‍රී ලංකා පිළ සමත් වුණා.
තරඟයේ වීරයා ලෙස ප්‍රවීන් ජයවික්‍රම සම්මාන ලැබූ අතර දිමුත් කරුණාරත්න තරඟාවලියේ වීරයා බවට පත් වුණා.
තරගයේ වීරයා ලෙස සම්මාන ලැබු ප්‍රවීන් ජයවික්‍රම මෙලෙස අදහස් දක්වා සිටියා..
"මේ අවස්ථාව ලැබුණ එක ගැන සතුටුයි.. පොඩි ප්‍රශර් එකක් තිබුණා.. කණ්ඩායමේ අය කිව්වේ, මල්ලි ඔයාට පුළුවන් දේ හරි විදිහට කරන්න අපි උදව් කරන්නම් කියලා..."