රෝගී ජනතාවට ජීවිත වසන්තය ළඟා කරදීමට අනුපමේය සේවයක් කළ වෛද්‍ය වසන්ත දිසානායක දැන් අවසන් ගමන් ගොසින් හමාරය. මේ සටහන ලියන මොහොත වනවිට අප හදවත්වල කැකෑරෙමින් සංවේදීව ප්‍රශ්න කරන්නේ ඔහුගේ වියෝව මෙතරම් ඉක්මනින් සිදුවූයේ කෙසේද යන්නය.
වෛද්‍ය වසන්ත දිසානායක අපූරුම චරිතයක්. වෛද්‍යවරයකු වුවද ඔහු මනසින් උද්ධච්ච චරිතයක් බවට පත්වී නොසිටියේය. රෝහල් අධ්‍යක්ෂවරයා ලෙස සේවය කළත් ඔහු කිසිවිටෙක ඒ තනතුරින් හිස උදම්මා ගත්තේ නැත.
කලෙක සිටම දිවයින පුරා විවිධ තරාතිරමේ රෝහල් කිහිපයකම සේවය කළ ඔහු අවසන් වරට සේවය කරන්නේ මහරගම අපේක්ෂා රෝහලේය.
“සමන්.....මේ දවස්වල මගේ රෝහලේ පුංචි දරුවෝ විශාල ප්‍රමාණයක් ප්‍රතිකාර ලබනවා. ඒ මේ දරුවෝ මෙහෙම ලෙඩවෙලා දුක් විඳින්නේ ඔවුන් කළ වරදක් නිසා නෙමෙයි. අම්මලා තාත්තලා සහ අපේ රටේ හිතක් පපුවක් නැති බිස්නස්කාරයෝ නිසා. දවසක එන්න. ක්ෂණික කෑම කාලා මේ දරුවෝ ලෙඩ වෙලා ඉන්න හැටි ගැන මිනිසුන්ව දැනුවත් කරන්න. මම ඒ දරුවන්ව පෙන්වන්නම්. හැබැයි පින්තූර ගන්න එපා. දුකයි. රෝස මල් වගේ දරුවන්ට අද වෙලා තියෙන දේ දැක්කම පපුව පැළෙන්න තරම් වේදනයි.”
වෛද්‍ය වසන්ත දිසානායක මේ ඉල්ලීම කළේ මීට සති තුනකට පමණ පෙරදීය.
ඔහු සාමාන්‍යයෙන් අප සමඟ ඉතා කුලුපග ඇසුරක් පවත්වන අපූරුතම මනුස්සයෙකි. කෙනකුගේ දුක හඳුනන, වේදනාව දැනෙන හැබෑ මනුස්සයෙකි. වරක් අප මහරගම අපේක්ෂා රෝහලටම ගියේ කොවිඩ් සමයේ මේ රෝහලේ වැඩ කටයුතු සිදුකෙරෙන්නේ කෙසේද කියා විමසා බලන්නටය. එදා දහවල් අප ඉන්නා තැනට ආ රෝහලේ සුළු සේවිකාවක් ට්‍රේ එකක තබා ගෙන ආවේ බුද්ධ පූජාව සූදානම් කළා සේ පුංචි පුංචි බඳුන්වල තබා තිබූ වෑංජන වර්ග කිහිපයකි. බත් කෝප්පයක්ද එහි තිබෙනු අප දුටුවෙමු.
“මේ රෝහලේ රෝගීන්ට දෙන කෑම හැමදාම මේ විදිහට ගෙන්වාගෙන මම රස බලනවා. අඩුම කුඩුම වැඩිද කියලා බලනවා. මම ඒවා ටිකක් රස බලලා තමයි රෝගීන්ට දෙන්න කියලා නිර්දේශ කරන්නේ. එහෙම නැතිව බැහැනේ. මේ රෝගීන්ට හිතුමතේ කෑම හදලා දෙන්න බැහැ. ලුණු ඇඹුල් වැඩි කරන්න බැහැ. පව්නේ.”
ඒ වෛද්‍ය වසන්ත දිසානායක තම රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් ගැන උනන්දු වන තවත් එක් කතාවක් පමණි.
අප මේ කියුවේ වෛද්‍ය වසන්ත සම්බන්ධව ඇසින් දුටු එක් සාක්ෂියක් පමණි. එහෙත් අප නොදුටු අප නොදන්නා බොහෝ සංවේදී කරුණු කාරණා හා පිළිකා රෝගවලින් පීඩා විඳින විවිධ තරාතිරමේ රෝගීන් සමඟ ඔහුගේ තිබුණේ පුදුමාකාර මානුෂික බැඳීමකි. ඒ කාරණය වරක් ඔහු වැඩසටහනකදී ද මෙලෙස සඳහන් කළේය.
“මම ජීවිතේ කියන්නේ මොකක්ද කියලා අවබෝධ කරගත්තේ පිළිකා රෝහලට ආවට පස්සේ. අවුරුදු 20ක් මම පිළිකා රෝහලේ සේවය කරනවා. අහිංසක රෝගීන් සමඟ කතාබහ කරනවා. දුක අහනවා.”
“ඔබට මේ රෝහල සම්බන්ධයෙන් සංවේදී අත්දැකීම් රාශියක් ඇති.” එම වැඩසටහන මෙහෙයවූ චන්දන තිලකරන්න මහතා එසේ ප්‍රශ්න කළ මොහොතේ වෛද්‍ය වසන්ත දිසානායක මහතා මෙසේ කීවේය.
“එහෙම අත්දැකීම් රාශියක් තිබෙනවා. ඒත් එක දවසක් එක අම්මා කෙනෙක් ඇවිත් මට කිව්ව එක කතාවක් තවමත් මගේ මතකයේ තිබෙනවා.”
හොරොව්පොතාන ප්‍රදේශයේ ජීවත් වූ මේ දුප්පත් මවගේ පළමු දරුවා පිළිකා රෝගයෙන් මිය ගොස් තිබිණි. ඊළඟට ඔවුන්ට සිටි අනෙක් පිරිමි දරුවාද අපේක්ෂා රෝහලේදීම මිය ගියේ සංවේදී කතාවක් නිර්මාණය කරමිනි.
දරුවා මියගිය සැණින් වෛද්‍ය වසන්ත දිසානායක මහතා සොයා ආ මේ මව කඳුළු පිරි දෑසින් ඉල්ලා සිටියේ හද කම්පා කරවන විදිහේ ඉල්ලීමකි.
“සර්. මට මේ දරුවාව ඉටි රෙද්දකින් හරි ඔතාගෙන ගමට අරන් යන්න ක්‍රමයක් හදලා දෙනවද? මම මුලදී හිතුවේ ගමට අරන් යන්නේ නැතිව මහරගම, ගොඩිගමුව කනත්තේම අවසන් කටයුතු කරන්න. ඒත් දැන් මට හිතෙනවා ගමට අරන් යන්න.”
ඇඬූ කඳුළින් ඉල්ලා සිටි මේ දුප්පත් ඉල්ලීම ඉදිරියේ වෛද්‍ය වසන්තගේ හදවත කම්පා විය.
“කීයක් මුදල් වියදම් වෙනවාද ගමට මේ බොඩි එක අරන් යන්න.” ඔහු ප්‍රශ්න කළේය.
“රුපියල් 20,000ක් විතර ඉල්ලනවා. ඒ වගේ මුදලක් දෙන්න මට සල්ලි නැහැ. සර්.”
වෛද්‍ය වසන්ත දිසානායක ඉතා දිගු සුසුමක් ඉහළට ගෙන වාතලයට මුදා හැරියේය.
“ඉන්න ඔය සල්ලි ටික මම හොයලා දෙන්නම්.”
ඔහු ඊළඟ මොහොතේ හිත මිතුරන්ට කතා කොට ඒ මුදල සොයා දුන්නේය. වෛද්‍ය වසන්තගේ හැටි එහෙමය.
අපේ හිතවත් වෛද්‍ය අධ්‍යක්ෂවරයා මහ පුදුමාකාර මානුෂික ගති පැවැතුම්වලින් හෙබි චරිතයකි. ඔහු බොහෝ අවස්ථාවල දුරකථනය ගෙන කතා කරන්නේත්, ඉල්ලා සිටින්නේත් අමුතුම විදිහේ ඉල්ලීම්ය.
“අද මට ලියුකේමියා දරුවෙක් හම්බ වුණා. මේ දරුවාව සනීප කරන්න පුළුවන් මට්ටමක තමයි ඉන්නේ. ඒත් ඒකට ඒ දරු පවුලට මුදල් නැහැ. අවශ්‍ය දේවල් ගන්න තියා ගමන් වියදම්වලටවත් සල්ලි නැහැ.
මම ඒ දරුවගේ අම්මා, තාත්තා යොමු කරන්නම්... දානපතියකුගෙන් සල්ලි ටිකක් සොයා ගන්න උදවු කරන්න පුළුවන්ද? අනේ කරදරයක් කියලා නම් හිතන්න එපා.” ඔහු මේ ආකාරයට කතා කළ අවස්ථා ගණන කොපමණ දැයි සඳහන් කළ නොහැකිය. ඒ තරම්ම වාර ගණනක් කතා කරන්නට ඇත.
“දරුවෝ ලෙඩ වුණාම අහක බලාගෙන ඉන්නේ කොහොමද? කාගේ හරි දරුවෙක්නේ. රටේ දරුවෙක්නේ.”
වෛද්‍ය වසන්ත ප්‍රියමනාප, ආකර්ෂණීය පෞරුවයකින් හෙබි චරිතයකි. ඔහු නිර්භයව අදහස ප්‍රකාශ කරන අන්දම පවා ඇතැමුන්ගේ සතුටට මෙන්ම වේදනාවටද පත්වන අවස්ථා ඇත.
“හොරුන්ට මගෙන් ඉඩක් නැහැ. වංචාකරුවන්ට සමාවක් නැහැ. නමුත් මගේ කාර්ය මණ්ඩලයේ හැමෝම මට සම්පතක්. ඔවුන් මා එක්ක හරිම හිතවත්. කුලුපග ඇසුරක් අප අතර තිබෙනවා. මට වෛද්‍යවරයා, හෙදි සොයුරිය, සාමාන්‍ය සුළු සේවකයා කියලා වෙනසක් නැහැ. ඔවුන් සේරම එකයි. ඔවුන්ගේ ආදරය අපේක්ෂා රෝහලේ හැම රෝගියකුටම ලැබෙන්න ඕන. ඒකට මම නායකත්වය දෙනවා. මඟ පෙන්වනවා.” ඒ වෛද්‍ය වසන්තගේ හඬය.
මේ ආකාරයට මහරගම අපේක්‍ෂා රෝහලේ අභිවෘද්ධිය වෙනුවෙන් අප්‍රමාණ සේවාවක් කළ වෛද්‍ය වසන්ත දිසානායකගේ හදිසි වියෝව පිටුපස ඇති කතන්දරය සැබැවින්ම විශේෂිතය.
ඔහු පිළිකා රෝහල වෙනුවෙන් දරදිය ඇද්දේ නිදන්ගත රෝග කිහිපයකින්ම පීඩා විඳිමින් සිටියදීය. එහෙත් ඒ කිසිදු කාරණාවක් වෘත්තීය ජීවිතයේ හා තමන්ගෙන් සිදුවිය යුතු සේවාවට බාධාවක් කර නොගත්තේය.
“එක අවස්ථාවකදී මට හදිසි හෘදයාබාධයක් ඇවිත් රෝහල්ගත වී සිටියා. ඇත්තටම මම එදා දන්නේ නැහැ මට මොකද වුණේ කියලා. නින්ද යනවා වගේ දැනුණා. සිහිය එද්දි මම හිටියේ රෝහලේ ඇඳක් මත. මට හිතෙන්නේ එදා මම බේරුණේ අපේක්‍ෂා රෝහලේ අහිංසක රෝගීන් වෙනුවෙන්මයි කියලා දැනුත් හිතෙනවා” වෛද්‍ය දිසානායක මහතා වරක් අප සමඟ පැවැසුවේ සරල සැහැල්ලු බවකින් යුතුවය. ඔහු හැමදාම හිතුවේ ‘යන්න තිබෙන වෙලාවට යන්න වෙනවා. එතකම් අපි ඉන්න ඕන’ කියාය.
“මම මේ රෝහලේදී ඕනෑ තරම් මරණ දැක තිබෙනවා. සමහර දවස්වල උදේ වැඩට එද්දී 15 දෙනෙක් විතර මැරිලා. මැරෙන්නෙම රාත්‍රි කාලයේ. මුල් කාලයේදී මට මේ දේවල් දරාගන්න බැරි වුණා. ඒත් අන්තිමට හිතුවා මේ තමයි ජීවිතේ කියලා. කතා කරන වෙලාවට අපි යන්න ඕන.
ඇත්තටම බැලුවොත් පිළිකාව කියන්නේ මිනිස්සුන්ගේ ජීවිත බාල ලන්සුවකට දාන විනාශකාරී රෝගයක්. පවුලක ආර්ථිකය කඩා වැටෙනවා. අසරණ වෙනවා. උන්හිටි තැන් පවා නැති කරනවා.ඇත්තටම කියනවා නම් මුල් කාලේ මගේ ළඟ තිබුණු අහංකාරකම පවා නැති කළේ මේ රෝගීන්. මොකක්ද මේ අහංකාර ජීවිතේ කියලා මට හිතුණා. එදා ඉඳලා මම පන්සලකට ගියත් ප්‍රාර්ථනා කළේ අපේක්‍ෂා රෝහලේ ඉන්න රෝගීන්ට පිහිටක් වෙන්න කියලයි.”
ෙදාස්තර වසන්ත දිසානායක කාරුණික හදවතක් ඇති මිනිසකු බව අපි ඔබට පුල පුලා කීවෙමු. ඒ ඇත්ත ඇති සැටියෙන් ප්‍රදර්ශනය වූ තවත් මොහොතක් ගැන අපි ඔබට මතක් කරන්නෙමු. ඒ ජාතික රූපවාහිනියේ ‘සිහිනයකි රෑ’ වැඩසටහනට පැමිණ එම වැඩසටහන මෙහෙය වූ මහේෂ් නිශ්ශංක පවා සංවේදී කළ අවස්ථාවක් ගැනය. එදා මහේෂ් ඇසූ ප්‍රශ්නයකට උත්තර බඳිමින් ඔහු මෙසේ ප්‍රකාශ කළේය.
“දෙවියෝ මට වරමක් දීලා ඇහුවොත් උඹ හැමදාමත් ජීවත් වෙනවාද? මේ ළමයි ජීවත් කරනවාද කියලා මම ළමයින්ව ජීවත් කරවන්න කියනවා” ඔහු මේ ප්‍රකාශය කළේ හදවතින්මය. ඒ මොහොතේ ඔහුගේ කටහඬ තුළ පවා පැවතුණේ අව්‍යාජ එමෙන්ම සංවේදී ස්වභාවයකි.
මේ ආකාරයට හදවතින් සේවය කළ වෛද්‍ය වසන්ත දිසානායක හදවතේ රෝගයක් නිසාම නොසිතූ නොපැතූ මොහොතක අප අතරින් වෙන්වී යන්නට ගියේය. ඔහු නැති අඩුව ඔහුගේ ආදරණීය බිරියට හා දරුවන්ට මහා දුක් කන්දකි. ඒ කන්ද ඔවුන්ගේ ජීවිත පවතින තුරු පැවැතීම නියතය. එමෙන්ම අපේක්‍ෂා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ටද ඒ දුක, ඒ වේදනාව ලෝකයක් සේ විශාලය. දැන් වෙනදාට සිනාමුසු මුහුණින් කතා කරන ආදරණීය තාත්තා කෙනකුගේ සිනහව දකින්නට නැත.
සමන් ප්‍රියංකර නම්මුනිගේ