හදිසි අසනීපයක් හේතුවෙන් මීගමුව මහරෝහලට ඇතුලත් කළ රෝගියෙකු මියගිය බව සලකා වෛද්‍යවරයෙකු විසින් මෘත ශරීරාගාරය වෙත යොමු කිරීමේ පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.
කෙසේවෙතත් පසුව අනාවරණය වී ඇත්තේ එම රෝගියා මිය ගොස් නොමැති බවටයි.
මීගමුව මැදපිටිපන ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකු හදිසි අසනීපයක් නිසා ඔහුගේ බිරිඳ විසින් ඊයේ (09) අලුයම මීගමුව මහ රෝහලේ මූලික ප්‍රතිකාර අංශයට ඇතුලත් කර තිබෙනවා.
පසුව එහි රාජකාරී කළ වෛද්‍යවරයෙකු විසින් මෙම රෝගියා පරීක්ෂාකර බලා දැනුම් දී ඇත්තේ ඔහු මිය ගොස් ඇති බවයි.
පසුව රෝගියා මෘත ශරීරාගාරය වෙතද යොමු කර තිබෙනවා.
ඒ අතරතුර ඥාතීන්ට පෙනී ගොස් ඇත්තේ මිය ගිය බව කියූ රෝගියාගේ අතක් චලනය වන ආකාරයයි.
එය දුටු ඥාතීන් වහා රෝහල් කාර්ය මණ්ඩලය ගෙන්වා රෝගියා එම රෝහලේ 04 වන වාට්ටුවට ඇතුලත් කර තිබෙනවා.
මොහු රෝගී තත්වයට පත්ව ඇත්තේ රුධිරයේ සීනි මට්ටම අඩුවීම නිසා බවටයි වාර්තා වන්නේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට රෝහල් පාලන අධිකාරිය තීරණය කර තිබෙනවා.
මීගමුව මහ රෝහලේ අධ්‍යක්ෂිකා නිර්මලා ලෝගනාදන් ප්‍රකාශ කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් ඊයේ (09) දිනයේම සෞඛ්‍ය අමාත්‍යංශය හරහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කල බවයි.
මීට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන්ද විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඇය කියා සිටියා.