පාස්කු ඉරිදාව මෙරට ජන සමාජය තුල ඇති කරන්නේ කම්පනයක්. ඒ මීට වසර දෙකකට පෙර රටම පමණක් නොව ලොවම කම්පනයට පත් කරමින් සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාවක් හේතුවෙන්.
පාස්කු ඉරිදා මෙරට ජන සමාජය කම්පනයට පත් කල පළමු අවස්ථාව මෙය නොවේ.
අදින් වසර 79ට පෙර හරියටම 1942 අප්‍රියෙල් 5 වන පාස්කු ඉරු දින හිමිදිරියේ මෙරට වැසියන් බියෙන් සලිත කරන්නට ජපන් නාවික හමුදාවේ ගුවන් යානා පෙළක් එල්ල කල බෝම්බ ප්‍රහාරයක් සමත් වුනා.
ජපනුන්ගේ මෙම ප්‍රහාරයේ අරමුණ වුයේ ඉන්දියානු සාගරයේ කේන්ද්‍රස්ථානය වන කොළඹ වරාය තුළ ස්ථාපිත කර තිබු බ්‍රිතාන්‍ය නැගෙනහිර නාවික බලඇණිය විනාශ කිරීමයි.
කෙසේ වෙතත් බුද්ධි අංශවල පූර්ව අනතුරු ඇඟවීම සහ ගුවන් ඔත්තු බැලීම් හේතුවෙන් බ්‍රිතාන්‍යයන් ප්‍රහාරයට පෙර වරායෙන් නැව් විසුරුවා ඉවත් කර තිබුනද ඉන් සිදුවූ හානිය අවම කර ගැනීමට නොහැකි වුනා.
ජපන් ප්‍රහාරයට මුහුණ දීම සඳහා එයාර් වයිස් මාෂල් ජෝන් ඩී ඇල්බියාක් විසින් අණ දුන් රාජකීය ගුවන් හමුදාවේ 222 ඛණ්ඩයේ ගුවන් භටයින් සහ රාජකීය නාවික හමුදාවේ ගුවන් ආරක්ෂණ ඒකකය ගුවන් යානා නාශක කාලතුවක්කු පිරිවරාගෙන සැරසී සිටියා.
මෙම ප්‍රහාරයෙන් කොළඹ වරාය පහසුකම් වලට හානි සිදු වූ අතර පිටත වරායේ වරායේ විසුරුවා හැර තිබූ නැව් මුහුදේ ගිලී ගිය අතර බ්‍රිතාන්‍ය නැගෙනහිර බලඇණියේ නෞකා වැඩි කොටසක් අතුරුදන්ව තිබුනා.
මෙම ප්‍රහාරයත් සමග ලංකාවට ඇති අවදානම පෙන්නුම් කෙරුනු අතර බ්‍රිතාන්‍යයන් තවදුරටත් ජපාන ගුවන් ප්‍රහාරවලට මුහුණ දීමට සූදානම් නොවීය
මේ නිසා කොළඹ වරායේ ස්ථාපිත කර තිබූ නැඟෙනහිර නාවික මුලස්ථාන කඳවුර නැගෙනහිර අප්‍රිකාවට ගෙන ගියා.
කෙසේ වෙතත් 1942 පෙබරවාරියේදී සිංගප්පූරුව අහිමි වීමත් සමඟ බ්‍රිතාන්‍ය හමුදාවන්ට ඉන්දියානු සාගරයේ මිත්‍ර පාක්ෂික බලය තහවුරු කර ගැනීම සහ ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකාව අත්‍යවශ්‍ය බව හඳුනා ගත්තා.
1941 දෙසැම්බරයේ ඕස්ට්‍රේලියාවේ පර්ල් වරාය ප්‍රහාරය සහ 1942 පෙබරවාරියේ ඩාවින් වරාය ප්‍රහාර අත්දැකීම් වලින් ජපන් ගුවන් බලයේ තරම හඳුනා ගන්නට මිත්‍ර පාක්ෂිකයින්ට හැකි වුනා.
1942 මුල් කාර්තුවේදී මෙරට ගුවන් ආරක්ෂාව ශක්තිමත් කරනු පිණිස හෝකර් හරිකේන් යානා 136ක් අලුතින් එක් කල අතර ඊට අමතරව ෆේරි ෆුල්මාර් වර්ගයේ බ්‍රිතාන්‍ය ප්‍රහාරක යානා 44ක් ද ගෙන ආවා.
මෙයට අමතරව 1942 අප්‍රේල් 4 වනදා වන විට ගුවන් යානා නාශක තුවක්කු 144 රටේ ආරක්ෂක මරමස්තානවල ස්ථාන ගත කොට තිබුනා.
222 ඛණ්ඩයට පීබීවයි කැටලිනා ජලකර ප්‍රහාරක යානා සමුහයක්ද ලැබී තිබූ අතර එය ජපන් ප්‍රහාරය මුලින්ම හඳුනා ගත් නිරීක්ෂණ යානා සමූහය විය.
ජපාන නාවික හමුදා අද්මිරාල් චයිචි නගුමෝ විසින් අණ දෙන ලද ජපන් ප්‍රහාරකයින් පෙළ කොළඹ වරාය ඉලක්ක කර ඉන්දුනීසියාවේ සොලවෙසි දිවයිනේ සිට පිටත්ව යාමට සැලසුම් කර තිබුනා.
ජපානයේ මෙම සූදානම මිත්‍රපාර්ශවික බුද්ධි අංශ විසින් අනාවරණය කර ගත අතර බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ බලාපොරොත්තු වුයේ අප්‍රේල් 1 වන මෙම ප්‍රහාරය එල්ල වනු ඇති බවටයි.
මේ හේතුවෙන් මෙරට බ්‍රිතාන්‍ය හමුදා දැඩි සෙවිල්ලෙන් සිටි අතර වයිස් අද්මිරාල් ශ්‍රීමත් ජේම්ස් සොමර්විල්ගේ නායකත්වයෙන් යුත් නැගෙනහිර බලඇණිය මාර්තු 30 වන දින සිට දිවයිනට කි.මී. 160 පමණ දකුණින් මුර සංචාර සඳහා යොදවා තිබුනා.
එමෙන්ම දිවයිනේ ගිනිකොන දෙසින් ගුවන් නිරීක්ෂණ සිදු කෙරුණු අතර ජපනුන්ගේ පැමිණීම මෙම කණ්ඩායම් වල නිරීක්ෂණයට ලක් වුනා.
1942 අප්‍රේල් 5වන දින හිමිදිරියේ ඈත අහසේ ජපන් බත්කූරන් රෑන මුලින්ම නෙත ගැටුනේ කැටලිනා යානයක නැගී නිරීක්ෂණ කටයුතු කල බලගණ නායක ලෙනාඩ් බර්චල්ටයි.
කොළඹ වරාය සුනු විසුනු කිරීම සඳහා අවි අමෝරා පැමිණි ජපාන ගුවන් බල ඇණිය බෝම්බ ප්‍රහාරක යානා 91ක් සහ ප්‍රහාරක යානා 36ක් ඇතුලත්ව තිබුනා.
මෙම ප්‍රහාරයන් හමුවේ එච්.එම්.එස්. ටෙනෙඩෝස් නෞකාව ගිලී ගිය අතර බෙන්ලෙඩි නමැති වෙළඳ නෞකාවට ද හානි සිදුවුනා.
ඊට අමතරව, නෝර්වීජියානු නෞකාවක් සහ බ්‍රිතාන්‍යයේ නැව් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වන ක්ලාන් මර්ඩොක් නෞකාවටත් හානි වුනා.
මෙම ප්‍රහාරයේදී බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවට හරිකේන් ගුවන් යානා 16ක් අහිමි වූ අතර ගුවන් නියමුවන් 10දෙනෙකු මියගොස් තවත් සිව් දෙනෙක් තුවාල ලැබුවා.
එමෙන්ම ෆුල්මාර් යානා හතරක් වෙඩි තබා බිම හෙලූ ජපනුන් ගුවන් නියමුවන් තිදෙනෙකු මරා දැමුවා.
788 නාවික ගුවන් බල ඇණියට අයත් Sward Fish යානා 6ක්ද මෙම ප්‍රහාරයේදී වෙඩි තබා බිම හෙලුවා.
ජපනුන්ගේ ප්‍රහාරය හරි අඩකින් පමණ අඩපන කල ඔවුන්ගේ පැමිණීම කැටලිනා QL-A යානාවක නැගී නිරීක්ෂණය කොට එම තොරතුරු සැපයූ බලගණ නායක ලෙනාඩ් බර්චල්ට දෙවන ලෝක යුද්ධයෙන් පසු අනබිබවනීය විශිෂ්ට පියාසර කුරුසය ප්‍රදානය කරන ලද අතර කැනේඩියානු මාධ්‍ය විසින් ඔහු හැදින්වුයේ “ලංකාවේ ගැලවුම්කරුවා” ලෙසිනුයි.