ඇතෙකුගේ පහරදීමෙන් මියගිය බවට පැවසුණු කලාවැව රක්ෂිතයේ දිවිගෙවූ දීගදන්තු එක ඇතා මියගොස් නොමැති බවට වාර්තාවනවා.
මෙම සත්වයා පසුගිය දින කිහිපයේම රක්ෂිතයේ සැරිසරන අයුරු කිහිපදෙනෙකු විසින් නිරීක්ෂණයට ලක් කර ඇති අතර, ඊයේ දිනයේදී හිරු ප්‍රාදේශීය වාර්තාකරු විසින් ද එම සත්වයා ඡායාරූප ගතකර තිබුණා.
2019 වසරේ අගෝස්තු මාසයේදී කලාවැව රක්ෂිතයේ සියඹලාගස්පිටිය ප්‍රදේශයේ තිබී මියගොස් සති තුනක් පමණ වන ඇතෙකුගේ සිරුරක් සොයා ගැනුනු අතර, එම අවස්ථාවේදී ප්‍රකාශ කෙරුණේ එලෙස මියගොස් ඇත්තේ දීගදන්තු එක ඇතා බවයි.
තවත් ඇතෙකුගේ ප්‍රහාරයකින් එම සත්වයා මියගොස් ඇති බවට පසුව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වුණා.
කෙසේ වෙතත් 2019 වසරේදී එලෙස මියගොස් ඇත්තේ දීගදන්තු දෙක ඇතා බවටයි මේ වනවිට පරිසරවේදීන් සැක පළ කරන්නේ.
එම කාලවකවානුවේ දීගදන්තු එක ඇතා පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා නොවූ අතර, ඒ හේතුවෙනුයි එලෙස මියගොස් ඇත්තේ දීගදන්තු එක බවට පරිසරවේදීන් නිගමනය කර තිබුණේ.
දීගදන්තු එක ඇතා මෙන්ම දීගදන්තු දෙක ඇතාද ප්‍රසිද්ධියට පත්වූයේ විශාල දළ යුගලක් පැවතීම හේතුවෙන්.