පවුලක ජිවනාලය වෙන්නේ දරුවෙක් උපද්දවන මවයි පියයි. මව පියා කියන සුසංයෝගය නැති නම් ඒ දරුවන් සමාජය ඉදිරියේ අසරණ වෙනවා. ඒ විදිහට දෙමාපියන් හිටි හැටියේම නැතිවුණු නිසා අසරණ වුණු දරුවන් තිදෙනෙක් ගැන තොරතුරු මේ දිනවල සමාජ මධ්‍යයේ සංසරණය වෙනවා. ඒ පසුගියදා පස්සර මාරක අනතුරට බිලි වූ දෙමාපියන් යුවළකගේ දරුවන් තිදෙනෙක් ගැන. මවයි පියයි නැතිව අසරණ වුණු මේ දරු පැටව් තුන්දෙනා තමන්ගේම දරුවන් ලෙස හදාගන්න මේ වෙද්දී වෛද්‍යවරයෙක් ඉදිරිපත් වෙලා ඉන්නවා. ඒ අම්පාර වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වජිර රාජපක්ෂයි. මේ සිදුවීම ගැන හිරු අපි ඔහුගෙන් විමසීමක් කළා. ඒ උත්තුංග කටයුත්තට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න වෛද්‍ය වජිර අපිත් එක්ක කතා කළේ මෙලෙසිනුයි.
මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ වගේම මාධ්‍ය ඔස්සේත් ඔබ ගැන තමයි වැඩිපුර කතා කරන්නේ , පස්සර මාරක බස් රථ අනතුර නිසා දෙමාපියන් අහිමි වූ දරුවන් හදා ගන්න ඔබ බලාපොරොත්තුවෙන් ඉන්නවා, ඒ නිසා ඔබ ගැන මුලින්ම අපි කියලා මේ කතාබහට ප්‍රවිශ්ඨයක් ගනිමු..?
මගේ ගෙවල් තියෙන්නේ බදුල්ල. ඉගෙන ගත්තේ බදුල්ල කැන්දගොල්ල විද්‍යාලයේ,ඌව විද්‍යා විද්‍යාලය හා බදුල්ල මධ්‍යම මහා විද්‍යාලයෙන්. පසුව කොළඹ වෛද්‍ය පීඨයට ඇතුළත් වෙලා එහි අධ්‍යාපනය අවසන් වූ පසුව වෛද්‍යවරයෙක් හැටියට අම්පාර රෝහලට එනවා 2007 වර්ෂයේ. අවුරුදු 4කට පස්සේ අම්පාර මහා රෝහලේ ශල්‍ය වෛද්‍යවරයෙක් හැටියට කටයුතු කරලා දිස්ත්‍රික් ක්ෂය රෝග අංශයේ සේවය කළා. පසුව තමයි වසංගත රෝග සම්බන්ධයෙන් කටයුතු කරන්නේ. මේ පැත්තේ කොරෝනා තත්වය ගැන බලන්නේ මම.
ඔබේ බිරිඳත් වෛද්‍යවරියක්ද..?
නැහැ. මගේ බිරිඳ ගුරුවරියක්. අපිට අවුරුදු තුනයි මාස පහක පුතෙකුත් ඉන්නවා. පුතාගේ නම යොනාල් රාජපක්ෂ.
පස්සර බස් රථ අනතුරෙන් දෙමාපියන් අහිමි වූ දරුවන් තිදෙනාගේ අසරණකම ඔබට අහන්න ලැබෙන්නේ සමාජ මාධ්‍ය ඔස්සේද..?
ඔව්. ෆේස් බුක් එකේ පොස්ට් එකක් හුවමාරු වුණා පස්සර අනතුරට බිලි වෙලා දෙමාපියන් අහිමි වුනු දරුපැටව් තුන්දෙනෙක් ගැන. අසරණ වෙලා ඉන්න දරුවන්ට උදව් කරන්න කෙනෙක් අවශ්‍ය නිසානේ ඒ විදිහට පොස්ට් එකක් පළ කරලා තියෙන්නේ. ඒක මම දැක්කේ 24 වැනිදා රෑ. ඒක කියවලා පව් කියලා මට හිතුණා. නමුත් මම මගේ බිරිඳටවත් ඒ ගැන කිව්වේ නැහැ. ඒ වෙලාවේ කිසිම සිතුවිල්ලක් හිතේ නොතිබ්බ නිසා. මම රෑ නිදාගෙන උදේ නැගිට්ටා. මගේ බිරිඳ ඒ පොස්ට් එක දැකලා සිද්ධිය ගැන මට කියලා කම්පා වුණා. මගේ බිරිඳ මට එකපාරටම කිව්වා මේ බබාලා තුන්දෙනා තනිවෙලා ඉන්නේ අපි හදාගන්න ගමුද කියලා. ඒත් එක්කම මම අර දරුවන්ගේ ෆොටෝ එක ඩව්න්ලෝඩ් කරලා නැවත බැලුවා. ඒක දැක්කම මට ඒ දරුවන් ගැන අනුකම්පාවක් නෙමෙයි ආදරයක් ඉපදුණා. දරුවෝ හරිම හුරුබුහුටියි. ඒ මොහොතේ තමයි මම තීරණය කළේ ඒ දරුවන් හදාවඩාගෙන ඒ දරුවන්ට අපි දෙමාපියන් වුණොත් හොඳයි කියලා.
ඔබට දරුවෙක් ඉන්නවා, පිට දරුවන් තිදෙනෙක් හදා ගන්නවා කියන්නේ වඟකීමක්..?
මේ දරුවෝ හදාගන්න ඕන කියන සිතුවිල්ල ආ ගමන්ම මම තීරණය කරලා ඉවරයි අවසර ලැබුණොත් හා දරුවන්ගේ කැමැත්ත තිබ්බොත් මම දරුවන්ව හදාගන්නවා කියලා. මගේ බිරිඳ නීතිමය පැත්තෙන් අපිට අවසර ලැබෙයිද දන්නේ නැහැ නේද කියලා මගෙන් ඇහුවා . එතකොට වෙලාව උදේ 6,15 විතර ඇති. මම ඒ වෙලාවේම පොලිසියට කතා කළා. පසුව අම්පාර දිසාපතිතුමාට කතා කළා. එතුමා මගේ ඇමතුමට ඒ වෙලාවේ සම්බන්ධ වුනේ නැහැ. විනාඩි 15 විතර පස්සේ එතුමා මට කෝල් කළා. මම මගේ අදහස එතුමාට කතා කරලා අවශ්‍ය පසුබිම හදලා දෙන්න කියලා එතුමාගෙන් ඉල්ලීමක් කළා. මේ වෙද්දී ඊට අවශ්‍ය පසුබිම සකස් වෙමින් තියෙනවා. මට දරුවෙක් ඉන්නවා. දරුවෝ හදාගන්න ඕන කියලා කලින් හිතලා තිබ්බේ නැහැ දරුවෙක් ඉන්න නිසා. නමුත් මේ දරුවන්ට පිහිට වෙන්න ඕන කියලා හිතුනා. ඒක වගකීමක් තමයි. නමුත් ඒ වගකීම ඉටු කරන්න මට හැකියාව තියෙනවා. ඒ නිසයි ඒ වගකීම මම භාර ගන්න සුදානමින් ඉන්නේ.
ඔබ ඒ ගැන සඳහන් කරමින් මුහුණු පොතේ සටහනක් තබන්නේ කාගේත් අවධානය ඔබ වෙත නැඹුරු කරගන්නද..?
අවධානය ගන්න කිසිම හේතුවක් නැහැ. අවධානයක් මොකටද. නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්නය මතු වුනා නම් සමාජ මාධ්‍ය ඔස්සේම තමයි උත්තර තියන්නත් ඕන. ඒ නිසා තමයි මගේ කැමැත්ත කියලා මම ෆේස්බුක් එකේ සටහනක් තිබ්බේ. ඊට බොහෝ දෙනෙක් ප්‍රතිචාර දක්වලා තිබ්බා. බොහෝ දෙනෙක් කතා කරලා උදව් කරන්නම් කිව්වා.
ඒ දරුවන්ව වෙන් වෙන් වශයෙන් හදාගන්න හැකි බවට පවසමින් ඔබට ඇමතුම් ආවා කියන කතාව ඇත්තද..?
ඔව්. මගේ ෆේස්බුක් පොස්ට් එක දැකලා බොහෝ දෙනෙක් ප්‍රසංසා කරලා තිබ්බා. ඒ වගේම කිහිපදෙනෙක් කතා කළා එක දරුවෙක්ව හදා ගන්න දෙන්න පුලුවන්ද කියලා. මම ඒකට විරුද්ධයි. මොකද දරුවෝ තුන්දෙනා එකට ඉන්න ඕන. එකට හැදී වැඩෙන්න ඕන. ඒ අරමුණ නිසයි මම දරුවන්ව භාර ගන්න තීරණය කළේ. දෙමාපියන් නැතුව අසරණ වෙලා ඉන්න දරුවන්ව වෙන් කරන එක අපරාධයක්, පවක්. දෙමාපියන් නැති අඩුව අඩු තරමින් අඩු වෙයි දරුවෝ තුන්දෙනා එකට හිටියොත්. ඒ නිසා දරුවෝ හදා ගන්නවා නම් මමම තුන්දෙනවම හදාගන්නවා. උදව් කරන්න නම් බොහෝ දෙනෙක් ඉදිරිපත් වුණා.
අද සමාජයේ අහන්න දකින්න ලැබෙනවා හදාගන්න දරුවෝ උස්මහත් වුනහම වෙනස් වෙනවා කියන කරණය හා හදාවඩා ගන්න දෙමාපියෝ පවා පසු කාලයේ වෙනස් වෙනවා කියන කරණය..?
මම මේ දරුවෝ තුන්දෙනා හදා ගන්න ගත්තොත් සම්පුර්ණ වගකීම මම ගන්නවා. අතරමගදී දරුවන්ට කරදරයක් වෙන්නේ නැහැ. දරුවෝ උස්මහත් වෙලා තනිතිරණ ගන්න වයසක් එනකල් මට බලාගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ නිසයි මම දරුවන්ගේ භාරකාරත්වය ගන්නේ.ඒක සත්භාවයෙන් කරන කටයුත්තක්. දරුවෝ වෙනස් වෙනවා නම් වෙනස් වෙන්නේ ලොකු වෙනකොටනේ. එතකොට අපේ යුතුකම් ඉටු වෙලා තියෙයි. මගේ පැත්ත ගැන මම වගකියනවා.
ඔබේ කාර්යබහුලකම දරුකමට හරස් වෙන්නේ නැද්ද..?
ඉස්සර මම රෑ 11, 12 වෙනකල් වැඩ කළා. කාර්යබහුලයි. නමුත් දැන් මම එතරම් කාර්යබහුල නැහැ. මගේ බිරිඳ 2 වෙද්දී ගෙදර එනවා. ඒ වගේම කියන්න ඕන කාර්යබහුලකම කියන්නේ අපි හදාගත්ත එකක් කියන එක. මට ඒවා ප්‍රශ්න නෙමෙයි.
ඔබ අද දරුවන් බලන්න කිලෝ මීටර 106ක් පමණ දුර ගෙවාගෙන යනවා, දරුවන් ඔබව ප්‍රතික්ෂේප කළොත්..?
දරුවන්ව බලන්න මමයි බිරිඳයි අද යනවා. දරුවන්ගේ කැමැත්ත මත තමයි අපි ඔවුන්ව අපේ ලඟට ගන්නේ. ඔවුන් ආච්චි එක්ක හැදී වැඩෙනවා කිව්වොත් ඒ දරුවන්ට අවශ්‍ය සියලුම පහසුකම් මම හදලා දෙනවා. වෙනම නිවසක් හදලා දරුවන් ස්වාධින වෙනකල් ඒ දරුවන්ව බලාගන්නවා. අපේ පවුල් පසුබිම එක්ක අපේ ආදරේ එක්ක ඒ දරුවෝ අපි ලගට එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. කැමති වුණොත් නීතිමය විදිහට අපි ලගට අරගෙන ඔවුන්ට අපි දෙමාපියන් වෙනවා. අපේ ආදරේ එයාලා එක්ක අපි බෙදා ගන්නවා. ඔවුන් අපි ලඟට ආවේ නැහැ කියලා ගැටලුවක් කරගන්නේ නැහැ. ඒත් ඔවුන්ට උදව් කරනවා.
හර්ෂණී වීරරත්න