ශ්‍රී ලංකාවේ මාධ්‍යකරණයට ඔහු දැවැන්ත ඡායාරූප ශිල්පියෙක්, කිසිවෙක් වාසනාව හිමි කර නොගත් 96 ලෝක කුසලානයේ විවිධ දසුන් ඔහුගේ තෙවැනි ඇසට හසු කරගන්නට තරම් ඔහු වාසනාවන්තයෙක් වෙනවා. ලෝක කුසලානය දිනු ලංකාව හා ක්‍රීඩකයින් ගැන කතා කරද්දී කාගෙත් හිත්වලට ඔහුගේ මතකයත් නැගෙනවා. ඒ වෙන කවුරුවත් නෙමෙයි ප්‍රසන්න හෙන්නායක. 96 වර්ෂයේ ලෝක කුසලානය අපේ ක්‍රීඩකයින්ගේ දෑතට ගත් මොහොතේ එහි දසුන් ගත් ඔහු වසර 25ක් සපිරෙන ඒ සුබ දවසේ මතක ආවර්ජනය කරන්න අපිත් එක්ක එකතු වුණා. රොයිටර් පුවත් සේවයට එදා බැඳුනු එකම ලාංකික ඡායාරූප ශිල්පීයාත් ඔහුයි. ප්‍රසන්න හෙන්නායක ලෝක කුසලානය දිනූ දා ගැන අද මතක ආවර්ජනය කරන්නේ මෙහෙමයි.
1996 වසර ශ්‍රී ලංකා වාසීන්ට සුබම සුබ වසරක්, මාර්තු 17 කියන්නේ සතුටුදායක දිනයක්. අදට ලෝක කුසලානය හිමි කරගෙන වසර 25ක් ගත වෙනවා. එදිනට කණ්ඩායමේ සිටිය ක්‍රීඩකයින් වගේම ඔබවත් මතකයට නැගෙන දවසක්, ආපස්සට හැරිලා බලද්දී ඒ දවස ගැන ඔබට මොකද හිතෙන්නේ..?
ඒ මොහොතේ තිබුණු තිගැස්ම තවම මට දැනෙනවා. ඒ දවස මුළු ආසියාවටම මතක හිටින දවසක් බවට පත් වුණා. ක්‍රීඩකයින්ට අමතරව පිටියේ හිටපු එකම ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පියා මම. එදා දැනුනු අමුතු හැඟීම අදටත් දැනෙනවා. ආයෙත් හැරිලා ඒ දවස දිහා බලද්දී මතක ගොඩක් එක්ක සතුටක් තමයි දැනෙන්නේ.
96 ලෝක කුසලාන අවසන් මහා තරඟාවලියේ ඡායාරූප ගත කරන්න ඔබ ලාහෝර් යන්නේ ඔබේ පුද්ගලික වියදමින්, කණ්ඩායමේ නායකයා වූ අර්ජුන රණතුංග ඔබේ හොඳ මිතුරෙක් වීම හේතුවෙන්ද ඔබ ඒ ගමන යන්නේ..?
අර්ජුනගේ බිරිඳ සමදරායි මගේ බිරිඳයි හොඳ යාළුවෝ. දෙන්නා පාසලේ එක පංතියේ හිටපු යාළුවො නිසා ඒ හිතවත්කම් පසු කාලයේත් තිබුණා. ඒ නිසා අර්ජුනයි බිරිඳයි නිතරම අපේ ගෙදර යන එනවා. ලෝක කුසලානයට යන්න කලින් දවසක ඒ දෙන්නා අපේ ගෙදර ආවා. අර්ජුන මට කිව්වා මේ පාර ලෝක කුසලානය කොහොම හරි අරගෙන තමයි එන්නේ කියලා. ඒ නිසා අවසන් මහා තරඟයේ ඡායාරූප ගන්න ඔයා ආවානම් මම සතුටු වෙනවා කියලා කිව්වා.
මම වගකිවයුතු නිලධාරීන්ගෙන් අවසරය ඉල්ලුවා මට යන්න අවස්ථාව සලසා දෙන්න කියලා. නමුත් ඔවුන් කිව්වා අපි දිනයිද දන්නේ නැහැනේ ඒ නිසා යන්න අවශ්‍ය නැහැ කියලා. එහෙම ප්‍රතිචාර ලැබුණු නිසා තමයි මම පුද්ගලික වියදමින් යන්න හිතුවේ. ඇත්තටම මම ගියේ අර්ජුනගේ සතුට වෙනුවෙන්. සියලු වියදම් දරමින් මම එදා ලාහෝර් ගිහින් ලෝක කුසලාන අවසන් මහා තරඟයේ සියලු දසුන් ඡායාරූප ගත කළා. මැච් එක සම්පුර්ණයෙන්ම කවර් කළ එකම ශ්‍රී ලංකික ඡායාරූප ශිල්පියා මමයි.
ඒ අවස්ථාව ගන්නත් බොහොම අමාරු වුණා කියලයි කියන්නේ..?
ඔව්.. මම ලාහෝර් ගියාට මැච් එක කවර් කරන්න පාස් එකක් තිබ්බේ නැහැ. ටිකට් එකත් එක්ක මැච් එක බලන්න පාස් එකක් ලැබෙනවා. නමුත් සංවිධානය කළ පුද්ගලයා ඒ පාස් එක වෙන කෙනෙකුට මුදලට විකුණලා. මම මැච් එක කවර් කරන්න යන්නේ කියලා දැනගෙන. ඊට පස්සේ මම ලාහෝර්වලින් බැහැපු ගමන්ම අපේ ක්‍රීඩකයින් නතර වෙලා හිටිය හෝටලය හොයාගෙන ගියා. හෝටලයට ගිහින් අර්ජුනව මුණගැහුණා. මාව දැක්ක ගමන්ම අර්ජුනට හරිම සතුටුයි. ආව එක ගැන සතුටු වෙනවා කිව්වා. මම අර්ජුනට කිව්වා ආවට මට මැච් එක කවර් කරන්න පාස් එකක් නැහැ කියලා. ඒ වෙලාවේ අර්ජුන කිව්වා ක්‍රීඩා පිටියට ක්‍රීඩකයින් රැගෙන යන බස් එකේම යමු කියලා. පිටියට යන්න පාස් ඕන. නැතුව කිසිකෙනෙකුට ඇතුළත් වෙන්න බැහැ. මාවත් දාගෙන ක්‍රීඩකයින් රැගෙන ගිය බස් එකේ පිට්ටනියට ගියා.
ඒ කාලේ රොයිටර් ආයතනයේ ලංකාව නියෝජනය කළ එකම ඡායාරූප ශිල්පියා මම. ඉන් දුන් හැඳුනුම්පත මගේ ළඟ තිබ්බා. මම ඒක පෙන්නලා ඒ වෙලාවේ පාස් එකක් හදා ගත්තා. අර්ජුනගේ උදව්ව තිබ්බ නිසයි එදා මට පිටිය ඇතුළට යන්න පුළුවන් වුණේ.
අවසන් මහා සටන ආරම්භ කරන්න කලින් නායක අර්ජුනට ප්‍රතිවාදීන්ගෙන් ආ බලපෑම් ගැන ඔබ දැනුවත් ඇති නේද..?
ඉම්රාන් හා තවත් කිහිප දෙනෙක් අර්ජුනට කියලා තිබ්බා කාසියේ වාසිය දිනුවොත් මුලින්ම බැට් කරන්න කියලා. කාසියේ වාසිය උරගා බලන්න මොහොතකට කලිනුත් අර්ජුනට ඔවුන් එසේ කියලා තිබ්බා.
නමුත් එදා කණ්ඩායමේ නායකයා වූ අර්ජුන රණතුංග ඒ තීරණය ගත්තේ නැහැ..? එයටත් හේතුවක් තිබ්බා නේද..?
ඊට කලින් දවසේ අවසන් මහා තරගයට අවතීර්ණ වෙන ක්‍රිකට් කණ්ඩායම් දෙකට රාත්‍රී භෝජන සංග්‍රහයක් තිබ්බා. එදා එයට සම්බන්ධ වෙන්න කලින් අර්ජුන හා දුලිප් මෙන්ඩිස් පිටියට ගිහින් පිටිය පරික්ෂා කරලා බලලා තියෙනවා. දුලිප් තමයි ක්‍රිකට් කළමනාකරු හැටියට හිටියේ. මේ දෙන්නා බලද්දී තණතිල්ලේ පින්න තිබිලා. මේ දෙන්නා තීරණය කරලා තියෙනවා ඒ මොහොතේ පසුවදා කාසියේ වාසිය දිනුවත් බැට් කරන්නේ නැහැ ෆීල්ඩ් කරනවා කියලා. ප්‍රතිවාදී කණ්ඩායමවත් වෙනත් කවුරුත් ඔවුන් ඒ කළ කටයුත්ත දැනගෙන හිටියේ නැහැ. අවසන් මහා තරඟයේ කාසියේ වාසිය උරගා බලද්දී අර්ජුන කිව්වා අපි ෆීල්ඩ් කරනවා කියලා. ඒ මොහොතේ ප්‍රතිවාදීන්ගේ බලපෑම්වලට අර්ජුන යටත් නොවී ඔහුගේ තීරණයේ හිටියා. ඒ තීරණය තමයි අවසානයේ ජයග්‍රහණයට බලපෑවේ.
ප්‍රේක්ෂකාගාරයේ ඔල්වසරන් නද නැගුණේ ඕස්ට්‍රේලියාවට, ලංකාවට..?
පකිස්ථානයේ හැමෝම සුබ පැතුවේ ,දිරිගැන්නුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට. මොකද පකිස්ථානයට අවශ්‍ය වුණා එතෙක් දිනූ ලෝක කුසලාන ආසියාව තුළම තියා ගන්න. ඒ නිසා හැමෝම අපි වෙනුවෙන් ප්‍රර්ථනා ගෙනආවා අපි දිනන්න ඕන කියලා. මුල් පිතිකරුවන් දෙන්නා එක ළඟ දැවී ගියත් ප්‍රේක්ෂකයින් දිරි ගැන්නුවේ අපේ රටේ ක්‍රීඩකයින්ට.
ඒ වගේම මතක් කරන්න ඕන එදා කවුරුත් හිතුවේ නැහැ අවසන් මහා සටනට ලංකාව එයි කියලා. ඒ නිසා අපේ ජාතික ගීයවත් වාදනය කරන්න ලෑස්ති කරලා තිබ්බේ නැහැ. අපේ ජාතික ගීය වෙනුවට දකුණු අප්‍රිකාවේ ජාතික ගීය වාදනය වුණා. නමුත් අර්ජුන ඇතුළු අපේ ක්‍රීඩකයින් පිටියට ගියේ නැහැ අපේ ජාතික ගීය වාදනය කරනකල්. විනාඩි කිහිපයක් හිටියත් අපේ ජාතික ගීය වාදනය වුනේ නැහැ. ඊට පස්සේ අපේ ක්‍රීඩකයින් ජාතික ගීය ගායනා කරන්න පටන් ගත්තා. සුළු මොහොතකින් අදාළ බලධාරීන් අපේ ජාතික ගීය හොයාගෙන වාදනය කළා. ඊට පස්සේ අපේ ක්‍රීඩකයින් පිටියට පිවිසෙද්දී පකිස්ථානයේ ආබාධිත ක්‍රීඩා ලෝලියෙක් ඇවිත් අර්ජුනට සුබ පැතුවා. ඔහුගේ ආශීර්වාදයත් අපේ ක්‍රීඩකයින්ට අනිවාර්යෙන්ම හයියක් වෙන්න ඇති.
මුල් පිතිකරුවන් දෙදෙනා අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යද්දී ඔබේ හිතට මොන වගේ හැඟීමක්ද ආවේ, පරාජය වෙයි කියලා හිතුවද..?
පොඩි තිගැස්මක් තිබ්බා. එහෙම තිබ්බේ නැහැ කිව්වොත් බොරුවක්. නමුත් අර්ජුන හිටියේ දැඩි විශ්වාසයෙන් දිනනනවාමයි කියලා. ඒ නිසා ඒ බය ලොකු වෙලාවක් තිබ්බේ නැහැ. මොකද අරවින්ද හා අසංක ගුරුසිංහ ඊළඟ ඉනිම ගොඩ නැගුවා. ඒත් එක්ක මටත් හිතුණා අපිට වැඩි වාසියක් තියෙනවා දිනන්න. ඒ නිසා අර්ජුනගේ බලාපොරොත්තුව ඉටු වෙයි කියලා. ඒ වගේම එදා අපි දිනුවා. ඒ මොහොත ආවරණය කරන්න ලෝකේ වටේට මාධ්‍යකරුවන්, කැමරාකරුවන් ඇවිත් හිටියා. ඒ හැමෝම මාව උස්සලා ඉදිරියෙන්ම තියලා කිව්වා ඔයාගේ රටනේ දිනුවේ ඒ නිසා ඔයාට තමයි ෆොටෝස් ගන්න අවස්ථාව දෙන්න ඕන කියලා. එදා අර්ජුනගේ බිරිඳ සමදරා අතේ තමයි මගේ කැමරාවේ ලෙන්සස් තිබ්බේ. එයා හිටියේ ප්‍රේක්ෂකාගාරයේ.
අපේ ක්‍රීඩකයින්ට ලෝක කුසලානය එක්ක කලින් දවසේ ඡායාරූප ගැනීම අර්ජුන රණතුංගයන් තහනම් කරා කියන කතාවේ ඇත්ත මොකක්ද..?
අවසන් මහා තරඟයට කලින් කණ්ඩායම් දෙකටම දුන් රාත්‍රී භෝජන සංග්‍රහය වෙලාවේ තමයි ඔය සිද්ධිය වුණේ. එදා ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩකයින් කුසලානය ලඟට ගිහින් ෆොටෝස් ගත්තා. අපේ ක්‍රීඩකයෙක් එය ලඟට ගිහින් ෆොටෝස් ගන්න යද්දී අර්ජුන ඔහුට කතා කරලා කිව්වා අපි කවුරුත් ෆොටෝස් ගන්න අවශ්‍ය නැහැ. ලෝක කුසලානය ගන්න පුළුවන් වෙයිද කියලා එයාලට විශ්වාසයක් නැති නිසා තමයි එයාලා අද කුසලානය ලඟට ගිහින් ෆොටෝස් ගන්නේ. ඔය කුසලානේ හෙට ඉදලා අපේ. ඊට පස්සේ ඕන තරම් ෆොටෝස් ගන්න දෙන්නම් කියලා ඒ ක්‍රීඩකයාට ආදරෙන් කිව්වා. අර්ජුනට එතරම් විස්වාසයක් තිබ්බා කුසලානය අපිට හිමි වෙන්නේ කියලා.
එදා ක්‍රිකට් හා ක්‍රීඩකයින්ගේ විනය ගැන ඔබේ අදහස ..?
අපේ ක්‍රීඩකයින්ට විදෙස් ක්‍රීඩකයින්ගෙන් ලැබුනෙම හිරිහැර විතරයි. ඕස්ට්‍රේලියා කණ්ඩායමෙන් පවා මුරලිට හිරිහැර කළා. නමුත් රට වෙනුවෙන් සියලුම ක්‍රීඩකයින් මුරලි එක්ක හිටියා. කණ්ඩායමේ සමගිය එක්ක තමයි විනය හැදුනේ. නායකයාගේ විනය කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයින්ගේ විනයට බලපෑවා. ක්‍රීඩකයින් ඒ නිසා වරදක් කරන්න බය වුණා. වරදක් වුනත් ඒ වරද අර්ජුනට බය නිසාම ඊලග වතාවේ කළේ නැහැ. විනයයි සමගියයි තිබ්බා. අද ක්‍රිකට් ගැන නම් මට තියෙන්නේ පුදුමාකාර දුකක්. ක්‍රීඩකයින්ගේ වරදක් නෙමෙයි තියෙන්නේ. ක්‍රිකට් පරිපාලනයේ, දක්ෂ ක්‍රීඩකයින් ඉන්නවා. ඒ නිසා පරිපාලනය වෙනස් වුනොත් එදා වගේ ක්‍රිකට් ගැන ආයෙමත් ලෝකයම කතා කරන මට්ටමට එයි. ඒ වගේම එදා ක්‍රීඩකයින් මුදලට පුද්ගලික වාසි බලාගෙන ක්‍රීඩා කලේ නැහැ. කණ්ඩායමේ හැඟීම් ඔවුන් ළඟ තිබ්බා.
එදා අවසන් තරඟයට කලින් රාත්‍රී භෝජන සංග්‍රහයට අර්ජුන හා දුලිප් එන්න පරක්කු වුණා. පිට්ටනිය බලන්න ගිය නිසා. එද්දී ක්‍රිකට් ක්‍රීඩකයින් එතන ඉදලා නැහැ. ඔවුන් හොයලා බලද්දී කට්ටියම බසාර් එකට ගිහින් බඩු තොරනවලු. එක ක්‍රීඩකයෙක් ලොකු කාපට් එකක් රෝල් කරලා කරේ තියාගෙන ඉන්නවා දැකලා අර්ජුනට හිනා ගිහින්. පහුවදා තරඟය තිබ්බ නිසා අර්ජුනට නින්ද ගිහින් නැහැ. නමුත් පීඩනය ගැන නොහිතා කණ්ඩායමේ ක්‍රීඩකයින් සැහැල්ලුවෙන් ඉන්නවා දැක්කම අර්ජුනට සතුටු හිටිලා.
96 ලෝක කුසලානයේ අවසන් මහා සටනේ බොහෝ සුන්දර දසුන් ඔබේ කැමරාවේ සටහන් කරගන්න තරම් ඔබ වාසනාවන්ත වුණා..? එහිදී ඔබේ හිතට දැනුනු දසුන් ගැන කිව්වොත්..?
අපේ ක්‍රීඩකයින් ෆීල්ඩ් කරන්න පිටියට එද්දී රෝද පුටුවක ආධාරයෙන් ආ පකිස්ථාන ආබාධිත පුද්ගලයා අර්ජුනගේ අත අල්ලලා සුබ පැතුවා. ඒ දසුන හරිම සංවේදී එකක් වුණා. ඒ වගේම අරවින්ද ද සිල්වා ලකුණු 100ක් රැස් කළ මොහොතේ අර්ජුන දුවගෙන ඇවිත් අරවින්දගේ හිස අත ගෑවා. ඒක ආදරණිය හැඟීමක් ඇති කළ දසුනක් වුනා. ඒ දසුන මගේ කැමරාවේ අපූරුවට සටහන් වෙලා තිබ්බා. ඊට අමතරව ජයග්‍රහණයෙන් අනතුරුව ක්‍රීඩක විවේකාගාරයට ආ ක්‍රීඩකයින් ආගම සිහි කරලා දෙමාපියන් වැද නමස්කාර කළා. ඒක ලස්සන දසුනක්. සංවේදී දසුනක්. මගේ හිතේ අදටත් දැනෙන තව දසුනක් තියෙනවා. ඒ තමයි අර්ජුන පුංචි පුතාව බදාගෙන සතුටට අඬපු දසුන. ඊට අමතරව මම එදා බොහෝ ෂොට්ස් ගත්තා. මට නම් ඒ හැම එකක්ම වටිනවා.
එදා රොයිටර් සේවයට බැඳුනු එකම ශ්‍රී ලාංකිකයා වූ ඔබ මාධ්‍යට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලත් කියමු ..?
මම යොවුන් ජනතා පත්තරයට ලිපි ලියාගෙන යද්දී තමයි ඡායාරූපකරණයට සම්බන්ධ වෙන්නේ. මම ලියූ ලිපි හුඟාක් ජනප්‍රිය වුණා. මේ අතර ත්‍රස්තවාදීන් රත්මලානේ ගුවන්තොටුපොළේ ගුවන් යානයකට පහර දුන්නා. මම ඒ ගැන ලිපියක් ලියන්න ගියා. මම එතැනට යද්දී යානයට එල්ල කළ ප්‍රහාරය නිසා වැටිලා තිබුණු සුන්බුන් එතන හිටපු ආරක්ෂකයෙක් අතුගානවා මම දැක්කා. එතකොට මට හිතුනා මේක ලියනවාට වඩා කැමරාවක් තිබුණානම් කොච්චර හොඳ පින්තූර ගන්න තිබුණද කියලා. පස්සේ මම ඒක ගමගේ මහත්තයටත් කිව්වා. එතුමා එවලෙම මාව ලාල් හෑගොඩ මහතාට සම්බන්ධ කළා. එතැනින් තමයි මම ඡායාරූපකරණය පැත්තට හැරෙන්නේ. 1979 වර්ෂයේ තමයි මම පටන් ගත්තේ මේ වෙද්දී වසර 42ක් ගත වෙලා තියෙනවා.
හර්ෂණී වීරරත්න
ඡායාරූප - ප්‍රසන්න හෙන්නායක