“රිතූ........................” පුංචි කෙල්ල මා දිහා බැලුවේ නැහැ. ඒ වෙනුවට බිත්ති කණ්ඩිවල ඇඳපු
“කුරුටුබලි” දිහාවම බලාගෙන උන්නා.
“අම්මයි තාත්තයි”... එක බලි කුරුටුවක එයාගේ ඇස් බෑවුම් වුණා. කවුරුත්ම නොදන්න
“ඇත්ත කතාවක්” හිතේ හිරකරන් ඉන්න එක කොච්චර අමාරුද කියලා එයා දැනගත්තා.
“ටීච..... මාව ගෙදරින් කොහේ හරි එක්කන් යන්න...” ඒකිට ඇඬුම් ආවා. මම ඒකිව මගේ සාරිය අස්සෙ හංඟ ගත්තා.
එතනින් එහා දවස් ගාණකට පස්සේ මම මේ ගොඩනැගිල්ල දිහාවට එනවා, කාටත් හොර රහසේ. ඒකිව භාරහාර කරනවා ටයි කෝට් දාපු මහත්වරුන් කිහිප දෙනෙකුට. දැන් පෑ ගණන් ගත වෙලා. උනුන්ගෙන් එකා දෙන්නා එළියට බහින හැටිත්, මා දිහාවම බලන හැටිත් මම දැක්කා.
“මිස්... පොඩි වෙලාවකට එනවද..?” ඒ, එතැන හිටපු කාන්තා නියෝජනය. (එකම එක්කෙනා මම හිතන්නේ.) රිතූ ඒ ගැහැනියගේ අතේ එල්ලිලා හිටියා. ඊටත් පස්සෙ ඒකි මගේ බාහුවක එල්ලුණා.
“ඔව්....?” මම ප්‍රශ්නාර්ථ බොහෝමයක් අර ගැහැනිය ඉදිරිපිට තැබුවා.
“චුට්ටක් ඉන්න දරුවෝ.. මම මේ ආන්ටී එක්ක කතා කරලා එනකන්... හාද..?”ආයෙම තප්පර ගණනකට පස්සෙ ඒ ගැහැනියේ ඇස්, මගේ දිහාවට හැරුණා. මම කිසිම දෙයක් ගළපගන්න බැරුව ඒ මේ අත බැලුවා.
“මි....ස්....! මේ දරුවා දෙමව්පියන්ට හොරෙන් ගෙනාපු එක හරි.. නමුත්.... මේ දරුවා මුකුත් කියන්නේ නැහැනේ. අපි හැම විදිහකින් උත්සහා කළා ඒ ගැන අහන්න.. තාත්තා අතවර කරපු බවක්වත්, හිරිහැර කරපු බවක්වත් එයා කියන්නේ නෑ... මට තේරෙන් නැහැ ඒකට හේතුව...” ගැහැනිය එහෙම කියද්දි මගේ පපුවේ වේගය වැඩිවුණා. ඒ පුරුදු
“ලබ් ඩබ්” හඬ වෙනස් ස්වරයකින් ඇහෙන්න ගත්තා.
“ලබ්.... ලබ්..............................”“වට්..? අනේ එහෙම වෙන්න විදිහක් නෑ. මේ දරුවා මට කිව්වනේ.. ඒත් ඇයි? අනේ මට තේරෙන් නැහැ...”
“මිස් මට හිතෙන්නේ ළමයා බයවෙලාද දන් නෑ. එක්කෝ එයාව බය කරලා ඇති එයාගේ අම්මලා... හොඳම දේ මිස් මේ සිද්ධියෙන් අයින් වෙලා ඉන්න එක...”“මම කොහොමද අයින් වෙන්නේ.. මම මේ ළමයාගේ ටීච.. අනික මෙයාගේ වෙනසක් තේරුණ නිසයි මම මෙයාව මෙතනට අරගෙන ආවේ, සාධාරණයක් කරන්න. දරුවෙකුට අතවරයක් වෙන එක එහෙම ලේසියෙන් අතඇරලා දාන්න පුළුවන්ද? ඒක මගේ පාසලේ වෙනවා නම් මට මොකක් හරි කරන්න පුළුවන්. නමුත් මේක වෙන්නෙ මේ දරුවාගෙම ගෙදර.. අම්මවත් වගකීමක් ගන්න කැමති නෑ. ඒ මනුස්සයා කියනවා කාටවත් කියන්න එපාලූ... මට තේරෙන් නෑ...”ගැහැනිය මගේ දීර්ඝ කියවීම් ඉස්සරහා අඩපණ වුණා. මම ආපහු වතාවක් ඈතක ඉඳන් උන්නු රිතූගේ මුහුණ දිහා බැලුවා. ඒක පාතට වැටිලා තිබුණා. කවුද ඒ කෙල්ලව බය කළේ...? මට හිතාගන්න බැරිවුණා.
මම අර ගැහැනියට “ස්තුතියි” කියන්නෙවත් නැතුව ආපහු හැරුණා. මට රිතූ වෙනුවෙන් මුකුත්ම කරන්න බැරිවෙයි. දෙයියනේ! මට හීල්ලූණා. ඒකිගේ ඇස්-වලින් කියන්න ගන්න “රහස් කතන්දරය” කොයි තරම් භයානක එකක්ද? අම්මෙකුටවත් ඒකිගේ දුක් අඳෝනා නොදැනෙනකොට, මම කොහොම කියලා ඒකිව කර තියාගෙන යන්නද? දෙයියනේ මම කොයි තරම් අසරණ ගුරුවරියක්ද?
“පුතේ ඇයි ඔයා ඒ අයට බොරු කිව්වේ...?” අන්තිමේ මම ඇහුවා, ආපහු එන අතරේ, රෝද තුන ඇතුළේ ගුලි ගැහිච්ච පුංචි මී පැටික්කියගෙන්.
“තාත්තා මරයි ටීච මාව. එයා මාව විතරක් නෙවෙයි, ටීචවත් මරලා අර මිස්වත් මරලා, අම්මවත් මරලා හිරේ යයි.” පොඩි ඒකි ඇස් දෙක පුංචි කරගෙන, ඒ භයානක
“මන්තරය” කටපාඩමින් කියව්වා.
“දෙයිය.................නේ...!!” මම තවත් තදින් ඒකිව බදාගත්තා.
“ඒත් පුතේ.. ඇයි බයවෙන්නේ...? අපි කොහොම හරි ඔයාව මේකෙන් බේරගන්න එපැයි. ඔයා සද්ද නැතුව හිටියොත් කොහොමද අපි ඒක කරන්නේ...?” මම ඒ කෙල්ලව පපුව මැද්දටම කරගෙන ආයෙම ඇහුවා.
“තාත්තා ටීචව මැරුවොත් මට ටිච කෙනෙක් නෑ. තාත්තා අම්මව මැරුවොත් මට අම්මා කෙනෙකුත් නෑ. එතකොට මම පව් නැද්ද ටීචර්...?” ඒ පුංචි කෙල්ල හුස්ම ගන්නේ අමාරුවෙන් බව මට තේරුණා.
“අනේ පැටියෝ....”- ඉතිරිය හෙට...............By Samitha Lakshan(මෙම සත්‍ය කතාවේ තොරතුරු මා වෙත සපයා දුන් ගීත්මි ඉසුරිකා සොයුරියට බෙහෙවින් ස්තුති වන්ත වන අතර, කතාවේ බොහෝ නම් ගම් ආදිය පුද්ගලිකත්වය තකා වෙනස් කොට ඇති බව කරුණාවෙන් සලකන්න.)අවධානයට:දියණියන් සිටිනා මවුවරුණි, පියවරුණි, මේ ඔබේ අවධානය පිණිසයි !1. ඔබේ දියණියට වැඩිහිටි පිටස්තර පිරිමින්ගේ උකුල උඩ වාඩිවෙන්න දෙන්න එපා, වැළදගන්න දෙන්න එපා, සිපගන්න දෙන්න එපා.2. පිටස්තරයින් ඉදිරිපිටදී කිසිම දියණියකගේ ඇදුම් මාරු කරන්නෙපා.3. මේ මගේ බිරිඳ,මේ මගේ පෙම්වතිය ලෙස විහිළුවටවත් දරුවාව හැදින්වීමට කාටවත් ඉඩදෙන්න එපා.4. පුංචි දියණිය යාලුවොත් එක්ක සෙල්ලම් කරනකොට,ඇය ආශ්‍රය කරන යාලුවෝ ගැන හොදින් සැලකිලිමත් වෙන්න. ඔබ නොදන්නවා උනාට බොහෝ දරුවන් ලිංගිකව අපයෝජන වලට ලක්වී තිබිය හැක. ඔබේ දියණියටද ඔවුන්ගේ අත්දැකීම් වල වැරදි ප්‍රතිපල හිමිවිය හැක.5. දරුවා ප්‍රතික්ෂේප කරන,ගැවසීමට අකමැති,ඇසුරු කරන්න අකමැත්තක් දක්වන වැඩිහිටියන් ලගට යන්න කවදාවත් බල කරන්න එපා.6. බොහොම ක්‍රියාශීලීව,කෙළිදෙලෙන් කාලය ගත කරපු ඔබේ දරුවා ක්ෂණිකව වෙනස් වුනාද? නිහඬද? හැකි ඉක්මනින් දරුවා පිලිබදව අවධානය යොමු කර, දරුවාට ආදරය ලබා දී දරුවා පිලිබදව සොයා බලන්න. ඉවසිලිමත්ව දරුවාගෙන් ඒ පිලිබදව විමසන්න.7. දරුවා නරඹන කාර්ටුන්,චිත්‍රපට සහ පරිඝනක ක්‍රීඩා පිලිබදව විමසිලිමත් වන්න. ඔබද නොදැනුවත්වම ඒ හරහා දරුවා ලිංගික ක්‍රියාවන්ට යොමු විය හැක.8. අන්තර්ජාලයට භාවිතා කර දරුවන් පිවිසෙන වෙබ් අඩවි පිලිබදව සොයා බලන්න.9. දරුවාට තමන්ගේ සිරුරේ අවයව හොදින් පිරිසිදු කරගන්නා ආකාරය හොදින් උගන්වන්න.ගෙදර මෙහෙකරුට හෝ මෙහෙකාරියට දරුවාගේ අවයව අල්ලන්න ඉඩදෙන්න එපා.10. පිරිසක් ඉදිරියේ විනීතව සහ අචාරශීලිව හැසිරෙන හැටි දරුවාට පුරුදු කරන්න,ඇදුම් අදින ආකාරය සහ සියලු දේ.11. ඔයාගේ දරුවා කිසිම විටෙක කිසියම් කෙනෙක් පිලිබදව පැමිණිලි කලොත් නිහඩව ඉන්න එපා. වහාම ඒ පිලිබදව සොයා බලන්න.12. නිහඩව සිටීම යම්කිසි අපරාධයකට දිරිදීමක් විය හැකි අතර එවැන්නක් සිදුවුවොත් එය ඔබේත් දරුවාගේත් මුළු ජීවිත කාලයටම වදදෙන වේදනාවක් පමණක් උරුම කරාවී.(මෙම උපුටා ගැනීම - Rankoth - ශ්‍රී.)